සංස්කෘතික සෝදාපාළුව
සිංහල බෞද්ධ සංස්කෘතියට පහර පිට පහර වදිනවා. ඇතැමුන් කියන්නේ ඒ ගැන බිය නොවිය යුතු බවයි. ඔවුන්ගේ පඬි මතය නම් අවුරුදු හාරසිය පනහක යටත්විජිතවාදයකින් පසුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති නොවී නම් දැන් බිය වීමට කරුණක් නොමැති බවයි. ඒ කරුණු නොදැන කරන ප්‍රකාශයක්. 1948න් පසුව විශේෂයෙන් ම 1977න් පසුව රටේ සිදු වී තිබෙන විපර්යාසය ගැනත් එයට පසුබිම් වූ ලෝක දේශපාලනය ගැනත් ඔවුන්ට වැටහීමක් නැහැ.
අද ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් බව අප නොයෙක් වර පවසා තිබෙනවා. මේ ආධිපත්‍යය එක් රටක් හෝ රටවල් කිහිපයක් හෝ අනෙක් රටවල් මත ඇති කරන්නක් නො වෙයි. විශේෂයෙන් ම ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල්වලට උඩින් ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයක් ගොඩ නැගුණා. එයට විරුද්ධව කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදයක් තිබුණා. මේ කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය ඇති වුනේ මාක්ස්ගේ කාලයේ සිට ම. ලෝකයේ කම්කරුවනි එක්වව් යන වියුක්ත සටන් පාඨය මුල් කරගෙන ලෝකයේ කොහේවත් නොතිබූ කම්කරු පංතියක් වටා මේ ජාත්‍යන්තරය ගොඩ නැගීමට මාක්ස් ද පසුව දෙවැනි ජාත්‍යන්තරයේ උදවිය ද උත්සාහ කළා. ඒ දෙක ම අසාර්ථක වුනා. පසුව ස්ටැලින්ගේ නායකත්වයෙන් තුන්වැනි ජාත්‍යන්තරය ගොඩ නැගුණා. එය සමාජවාදී විප්ලවය පාවා දුන්නේ යැයි කියා ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැගුවා. එය හතර වරක් හතරකට කැඩුණා. ලංකාවේ ද හතරවැනි ජාත්‍යන්තරයේ විහිළු ශාඛා කිහිපයක් ම තිබුණා. අද ඒවා දකින්නටවත් නැහැ.
නැති කම්කරු පංතියක ජාත්‍යන්තර ගොඩ නගන්නේ කොහොම ද? කම්කරු පංති විඥානයක් නැතිව ගොඩ නැගිය හැකි කම්කරු පංති ජාත්‍යන්තරයක් නැහැ. එහෙත් රාජ්‍ය බලය හේතුකොටගෙන ස්ටැලින්ගේ තුන්වැනි ජාත්‍යන්තරය කලක් ශක්තිිමත් ව තිබුණා. බර්ලින් තාප්පය කැඩීමත් සමග ඊනියා කම්කරු පංති ජාත්‍යන්තරයත් සමාජවාදී රටවලුත් ඉතිහාසයේ කුණු කූඩයට විසි වුණා. එහෙත් යුදෙවු ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය දිනෙන් දින තව තවත් ශක්තිමත් වුනා. ඒ සුපිරි ව්‍ය්‍රුහයට බටහිර විද්‍යාඥයන්, තාක්‍ෂණ ශිල්පීන්, බටහිර රටවල විදේශ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු , ඔත්තු සේවා, විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන, ජනමාධ්‍ය ආදිය අයත් වුනා. එහි දර්ශන වූයේ ඉන්ද්‍රියානුභූතවාදය හා යථාර්ථවාදය හා ඒවාහි විවිධ ප්‍රභේදයි. එහි න්‍යාය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායයි. ඉන්ද්‍රියානුභූතවාදය (පොසිටිවිසම්) හා යථාර්ථවාදය (රියැලිසම්) එකිනෙකට පරස්පර බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ලංකවේ පඬියන්ට නම් එ ගැන වගේ වගක් නැහැ. ඒ බටහිර සුපිරි ව්‍යුහයෙහි අප රටවල නියෝජිතයන් වූයේ ඊනියා සිවිල් සාමාජිකයන්, රාජ්‍ය නොවන ආයතන, විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආදියයි. එක් අයකුට දෙදෙනකුට හැරෙන්න විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයෙහි ඉන්නේ පුහු පඬියන් පමණයි.
ටික කලක සිට ලෝකය පාලනය කෙරෙන්නේ මේ සුපිරි ව්‍යුහය මගින්. එහෙත් තිස් ගණන්වල සිට ඒ සුපිරි ව්‍යුහය ක්‍රමයෙන් කඩා වැටෙමින් පවතිනවා. දැන් එය දේශපාලනයටත් ඇවිත්. බටහිර රටවල ජනයා එයට අභියෝග කරනවා. ට්‍රම්ප්, බ්‍රෙක්සිට් නියෝජනය කරන්නේ මේ අභියෝගයයි. මේ ප්‍රවණතාව තවමත් ලංකාවට ඇවිත් නැහැ. සිංහලයන් ලොවේ සිටින ජාතීන් දෙකෙන් එකක් පමණක් වීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් වීමත් නිසා අපට බටහිර රටවල යටත්විජීතවාදයට මුහුණ දෙන්න පුළුවන් වුනා. එහෙත් මේ සුපිරි ව්‍යුහය එසේ මෙසේ එකක් නො වේ. විශේෂයෙන් ම අධ්‍යාපනය හා ජනමාධ්‍ය මගින් එය තම ආධිපත්‍යය පතුරවනවා. එය බටහිර බිඳ වැටෙන තෙක් අපට ඇති තර්ජනය අති මහත්.
මෙරට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අප සියල්ලන්ට ම පාහේ පෞද්ගලික ව සමාජයේ ඉහළට ගමන් කරන්න පුළුවන් වුනා. ඒත් මේ සමාජය කියන්නේ බටහිර යටත්විජිතවාදය හා පසුව ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය විසින් ඇති කරන ලද සමාජයක්. ඒ සමාජය ම සිංහල බෞද්ධ විරෝධීයි. දෙමළ ජාතිවාදය ද බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවයි. පෞද්ගලික ව අප ඉහළට ගියේ පොදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව බිහි කෙරුණු සමාජයකයි. අද එහි ප්‍රතිඵල පේන්න තිබෙනවා. සිංහල බෞද්ධ පවුල්වල ම ඉපදුණු පඬියන් අද ජනමාධ්‍යයෙහි බඩ පිනුම් ගහනවා. ජනමාධ්‍ය ඒ සියල්ලට ඉඩ දෙනවා. අද ඊනියා රියැලිටි ෂෝ මගින් ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවා.
සිංහලයන් ප්‍රසිද්ධියේ කුණු හරුප නොකී අය නොවෙයි. ඔවුන් කුහක වික්ටෝරියානු සුචරිතයක ගිලී සිටි අයත් නො වෙයි. බටහිරයන් වික්ටෝරියානු සුචරිතවාදයට එරෙහි ව ප්‍රතික්‍රියා කළ අයුරින් ක්‍රියා කිරීමට අපට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එහෙත් මෙරට අනුකාරක පඬියන් බටහිරයන් අනුකරණය කරමින් වික්ටෝරියානු සුචරිතවාදයට එරෙහිව ගියේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙමින්. සිංහලයන් එකල කුණුහරුප කීවේ වෙන ම සන්දර්භයක. ඒ බොරු වීරයන් වීමට නොවෙයි. අද පඬියන් කුණුහරුප කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව තරුණ සිත් දූෂ්‍ය කර පුහු වීරයන් වීමටත් මුදල් ගරා ගැනීමටත්. පේරාදෙණි සාහිත්‍යය ගොඩ නැගුණේත් මහරගම සමන් මුද්‍රණාලය ඇති කෙළේත් මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කුණුහරුප කීමට. විද්‍යුත් ජනමාධ්‍ය කුණුහරුප කියන්නේ ඇගයීම් (රේටින්) වැඩි කරගෙන මුදල් ඉපයීමට. අද මේ කසිකබල් ජනමාධ්‍ය නිදන කාමරය විසිත්ත කාමරයට ගෙනැල්ලා. එකල අපට නිදන කාමර හා විසිත්ත කාමර තිබුණේ නැහැයි කියා පඬියකු කීමට පුළුවන්. ඒත් අපේ ජීවිතවල පිළිවෙළක් තිබුණා. ඒ පිළිවෙළ අද නැති කරලා.
සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම යනු එහි අනන්‍යතාව රැකගැනීමයි. අනිත්‍ය වූ ලෝකයක කිසිවක් සදාකාලික නොවන බව පඬියන් සිංහල බෞද්ධයනට අමුතුවෙන් කියන්න ඕන නැහැ. සංස්කෘතික අනන්‍යතාවක් නැතිව අපට කිසි නිර්මාණයක් කරන්න බැහැ. අප බාහිරින් එන දේ අවශෝෂණය නොකළ යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් යමක් අවශෝෂණය කිරීමට අපට සංස්කෘතික මුල් තිබිය යුතුයි. අද කෙරෙන්නේ මේ සංස්කෘතික මුල් කපා දැමීමක්.
මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 ජනවාරි 05