Main Logo

Thursday 19 January 2017

ජාතික සංවිධානවලට වචනයක්

ජාතික සංවිධානවලට වචනයක්


අද ජාතික ව්‍යාපාරය ඇත්තේ සන්ධිස්ථානයක. ආණ්ඩුව දෙමළ ජාතිවාදය සනසමින් සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීමට යනවා. තවමත් ජනතාවට ඒ පිළිබඳ හැඟීමක් නැහැ. ඔවුන් වැඩියෙන් ම කල්පනා කරන්නේ ජීවන වියදම දරාගැනීමට නොහැකි වීම ගැන. එයට ඔවුන්ට දොස් කියන්න බැහැ. රෝගීන් බෙහෙත් ගන්නේ ඉතාමත් සීමිත ව. දෙමවුපියන්  ළමුන් පාසල් යවන්නේ ඉතා අමාරුවෙන්. පන්සලට ලැබෙන දානයත් අඩු මට්ටමකින් ලැබෙන්නේ. ඒත් අපට සැනසෙන්න පුළුවන්. ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති ඉන්නේ අපේ රටේ. ආඩම්බරය අර බෙහෙත් නොගන්නා රෝගීන්ටයි. දෙමළ ජනයාට යමක් දිය යුතු යැයි විවිධ දේශපාලනඥයන් පවසනවා. අප ඔවුන්ට අභියෝග කරනවා යමක් දිය යුත්තේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි කියන ලෙස. අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ අප මේ ප්‍රශ්නය විවිධ ස්වරුපවලින් අසා තිබෙනවා. ඒත් කිසිවකු මේ වන තුරු එයට පිළිතුරක් දී නැහැ. ජාතික ව්‍යාපාරයේ බොහෝ අයටත් ප්‍රශ්නය ගැන එතරම් තේරුමක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ගැන කියනුම කවරේ ද? ජාතික ව්‍යාපාරය කිනම් දිශාවකට හැරෙන්නේ ද යන්න තීරණය වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගන්නා ආකාරය අනුව.


මෙරට දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුරක් ජාතික සංවිධානවල අය දිය යුතුයි. පිළිතුර ප්‍රශ්නයක් නැතැයි කීම වෙන්නත් පුළුවන්. ජාතික සංවිධාන දැනගත යුතු ප්‍රධාන ම කරුණ නම් නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නේ දෙමළ ජාතිවාදයට ඇතැයි කියන ප්‍රශ්නවලට විසඳුම් දීමට බවයි. මේ ආණ්ඩුව බලයට පත් කෙරුණ් ප්‍රධාන වශයෙන්මත් ඒ සඳහායි. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කෙළේත් ඒ සඳහායි. ඒ සියල්ල කෙළේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය මිස ඊනියා යුග පෙරළි කාරයන් නො වෙයි. යුග පෙරළි කාරයන් කෙළේ බටහිර ඔත්තු සේවාවලට දාසකම් කිරීමත් රෝ ඒජන්තයන් සමග කටයුතු කිරීමත්, ඔවුන්ට ගමනාගමන පහසුකම් හා නවාතැන් සැපයීමත් පමණයි.

නව ව්‍යවස්ථාව පරාජය කිරීමට ජාතික සංවිධාන එකතු විය යුතුයි. ඒ ගැන මතභේදයක් නැහැ. එහෙත් ජාතික සංවිධාන යනු මොනවා දැයි පළමුව හඳුනාගත යුතුයි. මා මේ අසමගියක් ඇති කිරීමට කටයුතු කරනවා නො වෙයි. ජාතික සංවිධාන එකතුවක සංවිධාන මිස පුද්ගලයන් සිටින්න බැහැ. එවැනි පුද්ගලයන් ඒක පුද්ගල සංවිධානවල සාමාජිකයන් විය හැකි නමුත් කෙතරම් ප්‍රබලයකු වුව ද පුද්ගලයකු ලෙස පමණක් ජාතික සංවිධාන එකතුවක ඉන්න බැහැ. අපට පළමුව සංවිධානයක් යනු කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි නම් ජාතික සංවිධාන එකතු කිරීම යනු විහිළුවක් වෙනවා. මේ එකතුවක රැ්ස්වීමකට මට ආරාධනය කළ අවස්ථාවේ මා පැවසුවේ මා සහභාගි වන්නේ චින්තන පර්ෂදයේ සාමාජිකයකු ලෙස පමණක් බවයි. එයට අනුමැතියක් ලැබුණා. ඒ ගැන මා සතුටු වෙනවා. මෑතක දී බිහි වූ ජාතික සංවිධාන අවුරුදු තිහක් පමණ කටයුතු කර ඇති චින්තන පර්ෂදය ගැරඬි හැවක් මෙන් ඉවත දමා තිබිය දී එකී ආරාධනය ලැබීම ගැන වඩාත් සතුටු වුනා. එහෙත් තවමත් චින්තන පර්ෂදය ඒ එකමුතුවේ රැස්වීමකට සහභාගි වී නැහැ. අපට පළමුව නිරවුල් කරගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. 

ජාතික සංවිධාන එකතුවක දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සිටීමට බැහැ. ජාතික සංවිධාන ද කරන්නේ දේශපාලනයක්. මා එය නැතැයි කියන්නේ නැහැ. ඇතැම් ජාතික සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන දේශපාලන පක්‍ෂ විසින් මෙහෙයවනු ලබන බවත් මා දන්නවා. ඒත් අපට ඒ බව පිළිගැන්වීමට නො හැකියි. එබැවින් දැනුවත් ව වුවත් එවැනි සංවිධාන සහභාගි කර ගැනීමට සිදු වෙනවා. එහෙත් අපට කිසි ලෙසකින්වත් වෘත්තීය සමිති ජාතික සංවිධාන ලෙස පිළිගැනීමට බැහැ. වෘත්තීය සමිතිවල අරමුණ වෙනස්. යම්කිසි දවසක ව්‍යවස්ථාවට විරුද්ධ ජාතික සංවිධාන, වෘත්තීය සමිති ආදිය රැස් කරන්නේ නම් එවිට එවැනි එකමුතුවක් ගැන සිතිය හැකියි. 

ජාතික සංවිධානවලට ඇත්තේ දේශපාලන හෝ වෘත්තීය අපේක්‍ෂා නො වෙයි. ජාතික සංවිධානවලට තිබිය හැක්කේ ජාතික න්‍යාය පත්‍රයක් පමණයි. දේශපාලන බලය ලබා ගැනීම හෝ එසේ බලය ලබාගැනීමට ක්‍රියා කරන පක්‍ෂයකට ආධාර කිරීම හෝ ජාතික සංවිධානයක කර්තව්‍ය නොවිය යුතුයි. අද ඇතැම් සංවිධාන ක්‍රියා කරන්නේ ඒ ඒ පුද්ගලයන් හෝ ඒ ඒ පක්‍ෂ හෝ බලයට පත්කිරීම සඳහායි. අප එවැනි සංවිධාන හඳුනාගත යුතුයි. එවැනි සංවිධානවලට ජාතික සංවිධාන එකතුවේ ඉඩක් නොදිය යුතුයි.

ජාතික සංවිධානවලට පුළුවන් තමන්ට වඩා කිට්ටු දේශපාලන පක්‍ෂ හඳුනාගෙන තම අදහස් ඔවුන්ට දැනුම් දීමට. ඒ තමන් දේශපාලන බලය ලබාගැනීමට කරන වෑයමක් නොව තම අරමුණු උචිත දේශපාලන පක්‍ෂයක් ලවා කර ගැනීමක්. ජාතික සංවිධානවලට බලය අත්පත් කර ගැනීමේ අපේක්‍ෂාවක් නොතිබිය යුතු නමුත් තම අරමුණ සාක්‍ෂාත් කර ගැනීමේ වැඩ පිළිවෙළක් තිබිය හැකියි. අද දේශපාලන පක්‍ෂවලට පමණයි ව්‍යවස්ථාදායක බලය හැසිරවිය හැක්කේ. එබැවින් ඔවුන් සමග කටයුතු කිරීමට සිදුවෙනවා. එහෙත් එසේ කටයුතු කිරීම යනු ඔවුන් ජාතික සංවිධානවල සාකච්ඡාවලට සහභාගි කරවා ගැනීම නො වෙයි.

මා මේ කරුණු මෙසේ ඉදිරිපත් කරන්නේ රට මුහුණ පා ඇති ඉංගිරිසින්ගේ දෙමළ ජාතිවාදය ප්‍රශ්නයට නිසි ආකාරයෙන් මුහුණ දීමටයි. අප 1833 දී බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය නන්දිකඩාල් කලපුවේ දී පරාජය කළත් ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් නැවතත් හිස එසවීමට උත්සාහ කරනවා. ඒ කියන්නේ අප දැන් ප්‍රශ්නයේ මුලට ආපසු යා යුතුය කීම නො වෙයි. එසේ සිතන අය ඒකාබද්ධ විපක්‍ෂයේ ද සිටිනවා. දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පසු විසඳීමට ප්‍රශ්නයක් නැහැ. අද අපට කිරීමට ඇත්තේ අප නන්දකඩාල් කලපුවේ දුන් දේශපාලන විසඳුම, දෙමළ ජාතිවාදයට අප මෙහෙයුම්වලින් දුන් දේශපාලන විසඳුම,  හැරෙන්න වෙනත් විසඳුම් දෙන්නේ නැත යන්න ව්‍යවස්ථාවට ඇතුල් කිරීම පමණයි. වෙනත් වචනවලින් කිවහොත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහොසි කිරීම පමණයි. දෙමළ ජාතිවාදයක් ඇතිවෙමින් පවතී යැයි කියා ඊනියා විසඳුම් ඉදිරිපත් කිරීම සිය දිවි දුන්, අවයව නැති කරගත් රණවිරුවන් පාවාදීමක්. ඊනියා විසඳුම් ගැන කතාකිරීම ම පාවාදෙන්නන්ගේ කටයුත්තක්. දෙමළ ජනයාට මොකක්වත් දීමට අවශ්‍ය නැහැ. ඔවුන්ට විශේෂිත වූ ප්‍රශ්නයක් නැහැ.  හැකි නම් ප්‍රශ්නය කුමක් දැයි කියන්න. මහින්ද දහතුනට එහා ගිය විසඳුම් දෙනවා යැයි කියා ඇත්නම් ඒ එකක්වත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු වලංගු වෙන්නේ නැහැ.

අප ඉහත සඳහන් කරුණු ගැන නිරවුල් විය යුතුයි. අපට ගිවිසුම් ගැන එතරම් අවබෝධයක් නැහැ. අප නිරවුල් ව කල්පනා කරන්නේ නැහැ. 1506 ගෙරිහම් ගිවිසුමේ සිට ඉන්දු ලංකා ගිවිසුම දක්වා අප පරාජය වී තිබෙනවා. මානව හිමිකම් සවිධානවල රැස්වීම්වල අප පරදිනවා. අප ගිවිසුම්වල යටි අරුත කියවන්න දන්නේ නැහැ. දෙමළ ජනයාට යමක් දිය යුතුය යන මතය පරාජය කිරීම අපේ ක්‍ෂණික කටයුත්තක් වෙලා තියෙනවා. සිංහල කොමිසමෙන් අප ලත් අත්දැකීම්් තිබෙනවා. එහි වාර්තාවෙන් සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කළා! ජාතික සංවිධාන නව ව්‍යවස්ථාව සංශෝධන ඇතිව හෝ නැතිව හෝ  සම්මත කර ගැනීමට විරුද්ධ විය යුතුයි. සංශෝධන කර පනත් සම්මත කර ගැනීමට රනිල් දක්‍ෂයි. ඔහුගේ සංශෝධනවල, ඇත්තට ම සුපිරිව්‍යුහයේ සංශෝධනවල, රඟ දැන ගැනීමට හැකි වන්නේ පනත් ක්‍රියාත්මක වන විටයි.


මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2017 ජනවාරි 19