Main Logo

Tuesday 17 January 2017

රතන හිමියනි ආපසු වඩිනු මැනවි!

රතන හිමියනි ආපසු වඩිනු මැනවි!

රතන හිමි ස්වාධීන වන්න තීරණය කරලා. උන්වහන්සේ  එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක්. තවමත් ජාතික හෙළ උරුමයෙන් අස් වී නැහැ. ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා. ජාතික ලැයිස්තුවෙන් පත් වුනු මන්ත්‍රී හිමිනමක් ලෙස උන්වහන්සේ දැන් ස්වාධීන ව ක්‍රියා කරනවා. එක්සත් ජාතික පෙරමුණෙන් හරි ජාතික හෙළ උරුමයෙන් හරි උන්වහන්සේ අස් කරනු ඇතැයි සිතන්න බැහැ. උන්වහන්සේ ස්වාධීන ව කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක ලෙස වැඩ ඉන්න ගමන්. එය ඉතා වැදගත්. බොහෝ දෙනාට ඒ බව මතක් වන්නේ නැහැ. රතන හිමියන් ද ඒ අය ගැන නොදන්නවා නො වෙයි.


රතන හිමි පවසන්නේ උන්වහන්සේ හා චම්පක අතර මූලික මතභේද නැති බවයි. ආර්ථික කටයුතු පිළිබඳ පොඩි වෙනස්කම් කිහිපයක් පමණක් ඇති බව  උන්වහන්සේ පවසනවා. අපි එය පිළිගනිමු. උන්වහන්සේ මුසාවාද පවසන්නේ නැහැ. උන්වහන්සේ කෝටියක් සංවර ශීලය රකිනවා. චම්පකත් උන්වහන්සේ අනුව යමින් නුදුරු අනාගතයේ දී ස්වාධීන වේවි ද? එහෙම වුනොත් ජාතික ව්‍යාපාරයට විශාල පාඩුවක් වේවි. අප මෙතෙක් සිත සනසා ගෙන සිටියේ රතන හිමිත් චම්පකත් ආණ්ඩුවේ සිටින තෙක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට, කිසිම අසාධාරණයක් සිදු නොවන නිසයි. ඒ බව ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් අපට කියා තිබුණා. රතන හිමි අනුව චම්පකත් ස්වාධීන වුනොත් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රකින්නේ කවු ද?

රතන හිමි පසුගිය දිනවල නිශ්ශබ්ද ව වැඩ විසු බැවින් අප සිතා සිටියේ සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රැකීමට උන්වහන්සේ රනිල් සමග අරගල කරන බවයි. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් අපට පවසා තිබූ ආකාරයට නම් මේ අරගලවලින් රනිල් පැරදිය යුතුයි. රතන හිමිගේ හා චම්පකගේ දක්‍ෂතා හමුවේ රනිල් පරදින බව නියත යැයි ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් කියා තිබුණා. රතන හිමි ස්වාධීන වන බව ඇසූ විට මා හිතුවේ රනිල් පැරදී ස්විට්සර්ලන්තයට යන්න ඇති කියා. මෛත්‍රිපාල චම්පක අගමැති කරාවි ද කියාත් මා කල්පනා කළා.

එහෙත් රතන හිමි ස්වාධීන වී පවසන්නේ වෙන ම කතාවක්. උන්වහන්සේ ආණ්ඩුවේ දොස් දකිනවා. අප නම් තවමත් ව්‍යවස්ථාවේ කෙටුම්පත දැක නැහැ. අප ව්‍යවස්ථාව ගැන කියන්නේ අපේ ප්‍රවාද ඇසුරෙන්. මේ ආණ්ඩුව බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ ඕනෑ එපාකම් ඉටු කරන බව අප දැන සිටියා. උරුලෑවා එන බව අපට කල්තියා කියන්න පුළුවන්කම තිබුණා. රතන හිමි හා චම්පක එසේ නො වෙයි. උරුලෑ ගඳ ඉවසමින් ඌ පරාජය කිරීමට රතන හිමිටත් චම්පකටත් හැකි බව අපට ජාතික හෙළ උරුමයේ යුග පෙරළි කාරයන් කියා දී තිබුණා. රතන හිමි ව්‍යවස්ථා කෙටුම්පත ගැන පැවසුවා. ඒ කියන්නේ උන්වහන්සේ අප මෙන් නොව ව්‍යවස්ථා කෙටුම්පත දැක ඇති බවයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී හිමි නමක ලෙස උන්වහන්සේට ව්‍යවස්ථා කෙටුම්පතක් ලැබී ඇති. රනිල් නම් කියන්නේ තවම ව්‍යවස්ථාව කෙටුම්පත් කර නැති බවයි. මල්වතු මහානාහිමියන් ද ඒ බව වදාරනවා. ඒත් රතන හිමියන් මුසාවාද පවසන්නේ නැහැ.

රතන හිමි ව්‍යවස්ථාවෙන් ඒකීය බවට පහර වදින බව පවසනවා. බුදුසසුන රැකීමට නවවැනි වගන්තියට තවත් වගන්ති එකතු විය යුතු බව පවසනවා. රතන හිමි ඒ අතර මහින්ද රාජපක්‍ෂට දොස් කියනවා. මහින්දට ආණ්ඩු පෙරළන්න බැරි යැයි පවසනවා. ඒ මහින්දට නැවත ජනාධිපති වීමට නොහැකි බවට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියැවෙන නිසා. මහින්දට ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති වීම අනිවාර්ය අවශ්‍යතාවක් ද? කොහොමටත් ආණ්ඩු පෙරළීම හා ආණ්ඩු පිහිටුවීම එක ම ක්‍රියාවලියක් නො වෙයි. රතන හිමි ඒ බව නො දන්නවා කියා හිතන්න බැහැ. ඒත් රතන හිමි මුසාවාද පවසන්නේ නැහැ. මහින්දට ආණ්ඩු පෙරළන්න බැහැ කියන එක ඇත්ත වෙන්න ඕන.

අනෙක් අතට රතන හිමියන්ට මහින්දට එකතුවන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට අයෝමය ශක්තියක් තියෙනවා. එහෙත් රතන හිමි පවතින ආණ්ඩුව පෙරළන්න කටයුතු කරන්නෙත් නැහැ. උන්වහන්සේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව පැහැදිලියි. ආණ්ඩුව පෙරළීමට අදහසක් ඇත්තේත් නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට ආධාර කරන්නේත් නැත්නම් රතන හිමි මින් ඉදිරියට කුමක් කරන්නේ ද? ආණ්ඩුවේ වැරදි හදාගෙන ඉදිරියට යෑම උන්වහන්සේගේ අරමුණ බව පෙනී යනවා. එහෙම නම් ස්වාධීන වුනේ අහවල් එහෙකට ද කියා අප අසන්නේ නැහැ.

ඒත් අපට ප්‍රශ්නයක් තිබෙනවා. උන්වහන්සේට පෙර පරිදි ම පාර්ලිමේන්තුවේ සිංහලයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට කටයුතු කළ හැකි ද? උන්වහන්සේ මෙතෙක් ආණ්ඩුවේ වැඩ හිඳිමින් මොන තරමක් සිංහල බෞද්ධ අයිතිවාසිකම් රැක ගත්සේක් ද? රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණය සිංහලයන්ට මහත් පහරක්. චම්පකත් ස්වාධීන වුනොත් සිංහලයන්ට කාගේ සරණක් ද? සිදු ටෙලි නාට්‍යයේ සරණයාවත් අපට සරණ වෙයි ද? රතන හිමි වගේ ම ඇත්ත කියන හීන්බබා සීයගෙන් අහන්න ඕන.

අපට රතන හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ එකම දෙයයි. හිමියනි, සිංහලයන්ගේ සුබ සිද්ධිය සඳහා ආපසු ආණ්ඩුවට වැඩිය මැනවි. එසේ නොකළොත් සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට ලිපියක් දුන් ජී එල් පීරිස් ජාතික සංවිධානවල ජාතික සංවිධායක බවට පත් වේවි. ජාතික ව්‍යාපාරයේ නායකත්වය දෙමළ ජනයාට යම් යම් දේ දීමට අවශ්‍ය යැයි කියන ජී එල් දැනටමත් අතට අරගෙන. මේ ගැන පසුව ලියන්න ඕන. රතන හිමි හා චම්පක වෙනුවට ජී එල් සිංහලයන්ගේ ගැලවුම්කරු වේවි!

ඈත අතීතයේ ජාතික ඒකාබද්ධ කමිටුවේ රතන හිමි ක්‍රියා කළ ආකාරය අපට මතකයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ හා මා කමිටුවෙන් පළවා හැරුණා. ඒ කමිටුව පත්කළ සිංහල කොමිසම සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කළා! ජී එල්ගේ ජාතික ව්‍යාපාරය යන්නේ කොතනකට ද කියා මට හිතා ගන්න පුළුවන්. ජී එල් සමග සන්සන්දනය කළ විට සිංහල කොමිසම ඒ තරම් නරක නැහැ. රතන හිමිත් ජී එල්ට එකතු වෙන්නත් බැරි නැහැ.  දැන් සිංහලයන්ට කීමට ඇත්තේ අප යන්නේ කොයි පාරේ, සිංහල කොමිසම ගිය පාරේ කියා ද? එහෙමත් නැත්නම් රතන හිමි වඩින පාරේ කියා ද? ජී එල් යන පාරේ කියා ද? ඔහු ඉන්නේ නම් කිරුළ පාරේ!



මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 17