Main Logo

Saturday 14 January 2017

දකුණු පළාත් සභාවට ලණුවක්

දකුණු පළාත් සභාවට ලණුවක්



දකුණු පළාත් සභාවට ලණුවක් දීමට නීති විශාරදයන් යැයි කියන කිහිප දෙනකු ඉදිරිපත් වෙලා තියෙන බව පේනවා. ඔවුන් හම්බන්තොටින් ඉඩම් අක්කර පහළොස්දාහක්  චීන සමාගමට අවුරුදු එකසිය අනූඅටකට බදු දීමට විරුද්ධව පියවර ගන්න හදනවා. බැලූ බැල්මට කෙනකුට හිතෙන්න පුළුවන් දකුණු පළාත් සභාව හොඳ වැඩක් කරන්න සූදානම් වෙනවා කියා. ඒත් ඇත්තට ම ඔවුන් කරන්න යන්නේ දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දීමක්.

දකුණු පළාත් සභාවට නීති උපදෙස් දෙන නීතිඥයන් එසේ කරන්නේ සත්භාවයෙන් වෙන්න පුළුවන්. ඇතැම් විට දකුණු පළාත් සභාව මගින් බළලුන් ලවා කොස් ඇට බෑවීමක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් දකුණු පළාත් සභාව ක්‍රියා කරන්න යන්නේ අවසාන වශයෙන් ගත් කල සන්ධීය රාජ්‍යය තවත් තහවුරු කිරීමට. දකුණු පළාත් සභාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මහින්ද රාජපක්‍ෂ මේ කරන්න යන දෙයෙහි භයානක කම වටහා දෙනවා නම් හොඳයි.

හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දීමට අප විරුද්ධයි. මේ ඇති කරන්න යන්නේ නිදහස් වෙළෙඳ කලාපයක් නො වෙයි. නිදහස් වෙළෙඳ කලාපයක ආයෝජන කිරීමේ දී ඒ ආයෝජන මණ්ඩලය මගින් කළ යුතුයි. ආයෝජන මණ්ඩලය අනුමත කරන කර්මාන්ත පමණක් නිදහස් වෙළෙඳ කලාපයක ඉදි කළ හැකියි. එහෙත් හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දුන් පසු ඒ ඉඩම්වල කර්මාන්ත හා වෙනත් ඉදිකිරීමේ කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ඒ සමාගම විසින්. ඒ සමාගමට තමයි ඉදිකරන්නේ කිනම් කර්මාන්ත ශාලා ද යන්න මූලික වශයෙන් තීරණය කරන්න හැකි වන්නේ.

අද චීනයට කරුණු කිහිපයක් අවශ්‍ය වී තිබෙනවා. එකක් සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කර මාගම් පුර වරාය එහි ප්‍රධාන වරායක් බවට පත් කර ධනය ඉපයීම. දෙවැන්නක් තමයි චීන කර්මාන්ත හැකිතාක් පිටරට පැටවීම. චීනය, විශේෂයෙන් ම බෙයිජිං නගරය පරිසර දූෂණයෙන් ලොවේ ඉහළ ම තැනක් ලබා ගන්නවා. අද බෙයිජිං නගරයේ ඇවිදින විට පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කරන විට මුකවාඩම් බැඳීමට සිදු වෙලා. එබැවින් පරිසර දුෂණයත් අපනයනය කිරීමට චීනයට අවශ්‍යයි. ඔවුන් ඒ කරන්නේ කර්මාන්ත පිටරට පවත්වාගෙන යෑමෙන්. ලංකාවට ඔය කියන තරම් රැකියා ලැබෙන්නේ නැහැ. චීන කම්කරුවන් මෙහි සේවය කිරීමට පැමිණේවි. ලාභයෙන් 80%ක් චීනය ගෙන යාවි. මෙරට පරිසරය නම් දූෂණය වේවි. අපට ලැබෙන ලාභය එයයි. ආණ්ඩුව රැකියා සිහිනයක් පමණක් ජනතාවට දෙනවා. මෙය රනිල්ගේ බ්‍රෙස්ලට් පොරොන්දුව වැනියි. ඔහු රැකියා පෙන්නලා දෙමළ ජාතිවාදයට රට පාවා දෙනවා.

චීන සමාගමට ඉඩම් බදු දීමට විරුද්ධ විය යුතුයි. එහෙත් එහි දී මුහුණ සමග තරහට නහය කපා නොදැමිය යුතුයි. දකුණු පළාත් සභාව ඉඩම් බදු දීමට විරුද්ධ වීමට යන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කර ගනිමින්. ඔවුන් කියන්නේ ඉඩම් බලතල පළාත් සභාවලට හිමි බැවින් දකුණු පළාත් සභාවෙන් නොවිමසා ආණ්ඩුවට ඉඩම් බදු දිය නොහැකි බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් දකුණු පළාත් සභාව කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල පළාත් සභාවලට පවරා ඇති බැවින් තම අවසරයක් නොමැති ව හම්බන්තොට හෝ දකුණු පළාතේ වෙනත් ප්‍රදේශයක හෝ ඉඩම් බදු දිය නොහැකි බවයි. දකුණු පළාත් සභාව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වෙනවා.

වත්මන් රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. එය ලිහිල් සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතැම් ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවට යම් පමණකින් වුවත් නැති වෙලා. අද කළ යුත්තේ පාර්ලිමේන්තුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමයි. අප දන්නා හැටියට පසුගිය ආණ්ඩුව එසේ කිරීමට ගිය අවස්ථාවේ දී ජී එල් පීරිස්, රාජිත, තිස්ස විතාරණ ආදී ඇමතිවරුන් එයට ඉඩ දී නැහැ. මේ අයගෙන් යම් ප්‍රමාණයක් අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂයට නව ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි විරුද්ධතාවකට ඒමට බාධා කරන්නේ ඒ අය ද? ව්‍යවස්ථාව පිළිබඳ ඊනියා අනුකමිටු වාර්තා හය ප්‍රතික්‍ෂෙප කිරීමටවත් තවමත් විපක්‍ෂය කටයුතු කර නැත්තේ ඇයි? පසුගිය දිනවල සමගාමී ලැයිස්තුව ඉවත් කරවීමට ලිපි  ඉදිරිපත් කළ අය හෙට අනිද්දා කුමක් කරාවි ද? අප ඒකාබද්ධ විපක්‍ෂයේ මොවුන්ට ඉතා දැඩි ලෙස විරුද්ධ විය යුතුයි. ඔවුන් යම් යහපත් දෙයක් කළ පමණින් දේශප්‍රේමීන් වන්නේ නැහැ. ජී එල් පිරිස්ට ජාතික සංවිධාන කැඳවුම්කරු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම කුමක් ද?

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල යම් ප්‍රමාණයක් පළාත් සභාවලට පවරා දී තිබෙනවා. ඒත් තවමත් ඒ ක්‍රියාත්මක වන්නේ නැහැ. දකුණු පළාත් සභාව සූදානම් වන්නේ ඒ බලතල ක්‍රියාත්මක කරවීමටයි. ඒ අතර අප අමතක නොකළ යුතු කරුණක් නම් ඉඩම් පවරා දීම පිළිබඳ බලතල ඇත්තේ ජනාධිපතිට පමණක් බවට අධිකරණ තීන්දුවක් තිබෙන බවයි. අවුරුදු එකසිය අනූඅටකට ඉඩම් බදු දීමට බලතල ඇත්තේ කාට ද? අගමැතිට ද? යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ මෙරට ප්‍රධාන නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ ඊනියා තිරසර සංවර්ධනයක් ගැන කතාකරමින් සුපිරි ඇමතිවරයකු ලෙස බලතල අතට ගන්න සූදානම් වන්නේ මෛත්‍රිපාලට විවෘත කිරීම් පමණක් භාර දී ඔහු උත්සවවලට සීමා කිරීමටයි. 2020 ජනාධිපති වීමට බලාපොරොත්තු වන්නන් මේ කරුණු සිහියේ තබා ගන්නවා නම් හොඳයි. 

රනිල්ට අවශ්‍ය තමා විධායක අගමැතිවරයා වී දෙමළ ජාතිවාදීන්ට බලතල ලබා දීමටයි. දකුණු පළාත් සභාව පණින රිලවුන්ට ඉණිමං බඳිනවා.



මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2017 ජනවාරි 14