Main Logo

Friday 6 January 2017

ඒකීය රාජ්‍යයක් යනු කුමක් ද?

ඒකීය රාජ්‍යයක් යනු කුමක් ද?


අද දේශපාලන පඬියන්ගේ නිර්වචන ගෙනහැර දක්වමින් සිංහල විරෝධී රනිල් ජයම්පති සුමන්තිරන් හා වෙනත් අය ඒකීය රාජ්‍යයක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමක්, බෙදීමක් ගැන කතාකරනවා. මේ දේශපාලන පඬියන් හෙවත් දේශපාලන විද්‍යාඥයන් ලෙස සැලකෙන්නේ බටහිර උගතුන්. බටහිර උගතුන් දැනුම නිර්මාණය කිරීමේ කාර්යයෙහි නිරත විය හැකි, නිරත විය යුතු පුද්ගලයන් ලෙස සැලකෙනවා. අපේ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ අපට බටහිරයන් නිර්මාණය කරන දැනුමට, ඔවුන්ගේ සංකල්පවලට, ප්‍රවාදවලට වඳින්න පුදන්න හුරුකිරීමයි. පඬියකු කියන්න පුළුවන් තමන් ඔවුන්ගේ දැනුමට වඳින්නේ නැහැ කියා. තමන් කරන්නේ ඒ දැනුම විචාරශීලී ව පිළිගන්න එක පමණක් ය කියා.


එහෙත් එය පඬියන් තමන් රවටා ගැනීමට කියන කතාවක් පමණයි. බටහිර නොවන අයගේ දැනුම් කොපමණ මේ පඬියන් ඉගෙන ගන්නවා ද? එසේ ඉගෙන ගත්තත් ඒ බටහිර නොවන්නන් ඉතා සුළු පිරිසත් තම දැනුම් නිර්මාණය කර ඇත්තේ බොහෝ විට බටහිර විශ්වවිද්‍යාලයක නො වේ ද? ලංකාවේ උගතකුගේ, ඊනියා දේශපාලන විද්‍යාඥයකුගේ සංකල්පයක්, ප්‍රවාදයක් ගැන පඬියන්ට කිව හැකි ද? එසේ කීමට නොහැකි නම් එයින් කියැවෙන්නේ පඬියන්ගේ බැරි කම ද? මෝඩ කම ද?

බටහිර විද්‍යාඥයන් ද ඇතුළු බටහිර උගතුන් මා කියන බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ සාමාජිකයන්. ඔවුන් කරන්නේ තම දැනුම අනෙක් ලෝකයා මත බලයෙන් පැටවීම පමණයි. ඔවුන් බහුජාතික සමාගම්වලින් වෙනස් වන්නේ නැහැ. බහුජාතික සමාගම් ද මේ සුපිරි ව්‍යුහයේ සාමාජිකයන්. ඔවුන් කරන්නේ තම වෙළෙඳ ආධිපත්‍යය අප මත පැටවීමයි. බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය විසිනුයි අප පාලනය කෙරෙන්නේ. බටහිර ඔත්තු සේවා ද, බටහිර රටවල විදේශ අමාත්‍යාංශ (දෙපාර්තමේන්තු) ද මේ සුපිරි ව්‍යුහයට අයත්.

මෙරට දෙමළ ජාතිවාදය පරාජය වී ඇති නමුත් එය තවමත් පවත්වාගෙන යනු ලබන්නේ බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය විසින්. එහි දී අපට නන්දිකඩාල් හි දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමෙන් ලැබූ ජයග්‍රහණය නීති පොතට, ව්‍යවස්ථාවට, ඇතුළත් කිරීමට නොහැකි වූයේ ද මේ සුපිරි ව්‍යුහය නිසා. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ද ඔවුන්ගේ රෝ ඔත්තු සේවය ද මේ සුපිරි ව්‍යුහයට අයත්.  බටහිර උගතුන්, ඔත්තු සේවා ඇතුළු සුපිරි ව්‍යුහය දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමේ දී ඊනියා විසඳුමක් ලෙස ඒකීය රාජ්‍යයක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීම යන කුණුහරුපය අපට කියා දෙනවා. මෙරට සිටින පුහු පඬියන් තමන් විචාරශීලි යැයි කියමින්, ඊනියා ප්‍රබුද්ධයන්, නිදහස් චින්තකයන් ලෙස හඳුන්වා ගනිමින්, ඊනියා ප්‍රමාණික දේශපාලන විද්‍යාඥයන් නීතිඥයන් ඉතිහාසඥයන් ආදීන් ලෙස කියා ගනිමින් කරන්නේ බටහිර සුපිරි ව්‍යුහයේ උගතුන්ගේ මත ගිරා පෝතකයන් මෙන් පුනරුච්චාරණය කිරීම පමණයි.

සිංහලයන් කියන්නේ ලෝකයේ ඉන්න ජාතීන් දෙකෙන් එක් ජාතියක්. අපට අවුරුදු දෙදහස් දෙසියයකට වැඩි ගණනක එක්සේසත් රාජ්‍යයක් තිබුණා. ගැමුණු රජතුමාගේ කාලයේ සිට 1987 වන තුරු ම මෙරට තිබුණේ එක්සේසත් හෝ ඒකීය රාජ්‍යයක්. ඒකීය රාජ්‍යය යන්න අපට නිර්වචනය කර ගැනීමට හැකි විය යුතුයි. අප ඒකීය රාජ්‍යය යන්න නිර්වචනය කරන්නේ මුළු රටටමත් රටේ කොටසකටවත් රටේ කොටස්වලටවත් බලපාන ලෙස නීති සම්පානය කළ හැකි ව්‍යවස්ථාදායක බලය හිමි එක ම එක ආයතනයක් පමණක් ඇති රාජ්‍යයක්. විවිධ ඒකීය රාජ්‍ය තිබෙන්න බැහැ. ඒකීය රාජ්‍ය ඇත්තේ එක ම එක වර්ගයක පමණයි. ඒකීය රාජ්‍යයක බලය උපරිම වශයෙන් නොව අබමල් රේණුවකින්වත් බෙදන්න බැහැ. විමධ්‍යගත කිරීම යන්න ම පරස්පරයක්, කුණුහරුපයක්.

අප ඒකීය නොවන රාජ්‍යයක් සන්ධීය රාජ්‍යයක් යනුවෙන් නිර්වචනය කරනවා. සන්ධීය රාජ්‍ය විවිධ වර්ගවලට අයත් වන්න පුළුවන්. සන්ධීය රාජ්‍යයක ව්‍යවස්ථාදායක බලය හිමි ආයතන එකකට වඩා තිබෙනවා. ඉන් ඇතැම් ආයතනයකට ව්‍යවස්ථාදායක බලය ඇත්තේ රටේ එක් ප්‍රදේශයකට පමණක් සීමා වන ලෙස ඇතැම් ක්‍ෂෙත්‍රවල පමණක් නීති සම්පාදනය කිරීම විය හැකියි. එහෙත් එවැනි ආයතනයක්, ඒ කිනම් නමකින් හැඳින්වුවත්, ඇති රාජ්‍යයක් සන්ධීය රාජ්‍යයක්. ඇතැම් සන්ධීය රාජ්‍යයක් රාජ්‍ය කිහිපයක ඉතා ලිහිල් සංධානයක් විය හැකියි. එවැන්නක් සහසන්ධීය රාජ්‍යයක් (කොන්ෆෙඩරේෂන්) ලෙස හැඳින්වෙනවා. එවැනි රාජ්‍යයක නාමික වශයෙන් ඊනියා මධ්‍යම රාජ්‍යයක් පවතිනවා. සහසන්ධීය රාජ්‍යයක් දෙකට තුනට හතරට ඉතා ලෙහෙසියෙන් කැඩෙන්න පුළුවන්.

අදත් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවෙයි. එය ලිහිල් සන්ධීය රාජ්‍යයක්. පළාත් සභාවලට ඒ ඒ පළාත්වල ඇතැම් ක්‍ෂෙත්‍රවල නීති සම්පාදනය කිරීමේ ව්‍යවස්ථාදායක බලය තිබෙනවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට සන්ධීය වන බව එදා ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනකු තීරණය කළා. දහතුන්වැනි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ ඉතා කූට මෙන් ම අධිපතිවාදී ආකාරයකට. ඒ පිළිබඳ පසුව කතා කරමු. අද අප ජීවත්වන්නේ සන්ධීය රාජ්‍යයක බව සුපිරි ඇමති පනත පළාත් සභාවලට යොමු කිරීමෙන් ද පැහැදිලි වෙනවා. ඇතැම් අවස්ථාවල පනතක් සම්මත කර ගැනීමේ දී පාර්ලිමේන්තුවට පමණක් ඒ කළ නොහැකි බව  පැහැදිලියි.

අද අප ජීවත්වන්නේ ලිහිල් සන්ධීය රාජ්‍යයක නම් සන්ධීය ව්‍යවස්ථාවක ඇති වරද කුමක් දැයි පඬියකුට ඇසිය හැකියි. ලිහිල් සන්ධීය රාජ්‍යයක ද පාර්ලිමේන්තුවට රිසි සේ පනත් සම්මත කර ගැනීමේ ව්‍යවස්ථාදායක බලය ඇතැම් අවස්ථාවල නැති වන්නේ නම් සන්ධීය බලය (වර්ගය) වැඩිවත් ම සිදුවිය හැකි දේ පිළිබඳ අදහසක් ලබාගත හැකි වෙනවා. අද මේ ආණ්ඩුව ඇති කරන්න යන්නේ සහසන්ධීය රාජ්‍යයක්. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හයෙන් වුනත් ඒ බව පැහැදිලි වෙනවා. උරුලෑවාගේ ගඳ දැනගන්න ඌ දකින්න වුවමනාවක් නැහැ. කල්තියාම කියන්න පුළුවන් මේ එන්නේ උරුලෑවකු කියා. අප කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නොව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පනතක් ගෙන ඒමයි.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා

2016 ජනවාරි 06