Main Logo

Wednesday 18 January 2017

පිළිගැනීම හා පළිගැනීම

පිළිගැනීම හා පළිගැනීම

ආණ්ඩුව හා දේශපාලනය ගැන ලිවීමෙන් සිදු වන්නේ විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, සාහිත්‍යය ආදී විෂය ගැන ලිවීමට ඇති අවස්ථා නැති වීමයි. ඒත් මේ විෂය ගැන ලිවීමට රටක් තියෙන්න ඕන. මට ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ දාසයකු වීමට කිසිම අදහසක් නැහැ. රට ගැන ලියන විට බටහිර දැනුමට පහර ගැසීමට සිදු වනවා. එසේ වන්නේ අද අප පාලනය කෙරෙන්නේ සුපිරිව්‍යුහය විසින් නිපදවෙන දැනුම ආධාරයෙන් නිසා. එහි දී බටහිර විද්‍යාව ප්‍රධාන වෙනවා. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ න්‍යාය වූ ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යායට අනුව චලිතයක් තිබෙන්න බැහැ. සීනෝගේ විරුද්ධාභාසයෙන් නැත්නම් පරස්පරයෙන් කියැවෙන්නේ එයයි. රසල්ගේ විරුද්ධාභාසයේත් පදනම එකී න්‍යායයි. ත්‍රිකෝටික න්‍යායෙහි පරස්පර නැහැ. එහෙත් ඒ ගැන කතා කරන්න පළමුව ඊනියා ජාත්‍යන්තරය විසින් අප පිළිගනු ලැබීම ගැන සඳහන් කළ යුතුයි.


මෛත්‍රිපාලත් රනිලුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුත් කියන්න හදන්නේ ඔවුන් යටතේ ලංකාව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී ඇති බවයි. මේ පිළිගැනීම් ගැන අප දන්නවා. මේ පිළිගැනීම් බොහොමයක් පසුපස ඇත්තේ පළිගැනීම්. මේ ඊනියා පිළිගැනීම් ලැබෙන්නේ වෙනත් අයගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් ලෙස. මේ පිළිගැනීම් කෙරෙන්නේ ජා්‍යන්තරවාදී සුපිරිව්‍යුහයෙන්. එහි දී සුපිරිව්‍යුහයේ ආයතන ක්‍රියාත්මක වෙනවා. අද රවි කරුණානායක ආසියා ශාන්තිකරයේ හොඳ ම මුදල් ඇමති ලෙස පිළිගැනී සම්මානයට පාත්‍ර වෙලා. ඔහුට මෙරට ඇති පිළිගැනීම කුමක් ද? ඒක ලොතරැයි අලෙවි කරන්නන්ගෙන්, ත්‍රිරෝද රියැදුරන්ගෙන්, ඒ සැමට වඩා ගෘහිණියන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ සමග හම්බන්තොට දී පහර කෑමට ලක් වූ භික්‍ෂූන් වහන්සේගෙන් ද දැන ගැනීමට පුළුවන්. ඔහුගේ ආගම කුමක් ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඔහු ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ නියෝජිතයකු බවත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි බවත් මා දන්නවා. රවි කරුණානායක එලෙස හොඳ ම මුදල් ඇමති ලෙස පිළිගැනෙද්දී හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ පළිගැනීමකට ලක් වෙනවා.

මෙරට සිටින ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් සම්මානයට පාත්‍ර වීමේදී ද මේ සුපිරිව්‍යුහයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපානවා. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහන, රණවිරුවන් අපකීර්තියට ලක් කරන චිත්‍රපටිවලට ඕනෑ තරම් සම්මාන ලැබෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිෂ්පාදනය වන චිත්‍රපටි පළිගැනීමට ලක් වෙනවා. එවැනි අධ්‍යක්‍ෂවරුන්ට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. එවැනි චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීමට ලබා දෙන ඉඩකඩත් බොහෝ ම අඩුයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ වටිනාකම ගැන කියැවෙන ගීත දෙස බලන්නේ වපර ඇහෙන්.

මෙරට සාහිත්‍ය හා කලා විචාරයේ ආධිපත්‍ය දරන්නේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ දාසයන්. ඔවුන්ට ප්‍රබුද්ධ විචාරකයන් කියා කියනවා. ඔවුන් කරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය, විශේෂයෙන් ම එහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංරචකය අනුව පුහු විචාරයක් කිරීමයි. මෙරට සංස්කෘතියට අපහාස කරන කෘති සම්මානයට ලක් වෙනවා. ගීතවලින් කොටස් අයින් කෙරෙනවා. ඊනියා ප්‍රබුද්ධ ගීත රචකයන් හා ගායිකාවක් මේ සම්බන්ධයෙන් නම් දරණවා.

මේ ආණ්ඩුව පිළිගැනීමට ලක් වන්නේත් මේ සමස්ත ක්‍රියාදාමය තුළයි. ආණ්ඩුවේ නිවටකම නිසයි. ආණ්ඩුව ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට දාසකම් කරන නිසයි. ආණ්ඩුව ජනතාව මර්දනය කරන්නේ භික්‍ෂූන් වහන්සේට පහර දෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටත් ව සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට. ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙමින් ජනතාව මත භීෂණය ක්‍රමයෙන් පටවමින් ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට දණ නමනවා.

මේ ආණ්ඩුවට සුපිරිව්‍යුහයෙන් පිළිගැනීමක් ලැබීම ගැන පුදුම වීමට අවශ්‍ය නැහැ. සුපිරිව්‍යුහය ආණ්ඩුව පත්කර ගත්තේ ම ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව රට පාලනය කිරීමට. මේ ආණ්ඩුූව බලයට පත්කර ගත්තේ රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට දඩයම් කිරීමට හා දෙමළ ජාතිවාදයට කප්පන් දෙමින් දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ පිනවීමට. අප ඒ බව ඒ දවස්වල ම කිවුවා. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය යන සංකල්පය ඒ දිනවල සංස්කරණය කරගෙන තිබුණේ නැහැ. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය ආදී සංකල්ප යොදා ගත්තා. අවාසනාවකට සංධානයවත් අප කී දේ පිළිගත්තේ නැහැ. අදත් පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ නායකත්වය දරණ ඇතැමුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ නැහැ. එසේ සිටියා නම් නුගේගොඩ පැවැත්වෙන පළමු රැස්වීම මාසෙ පොහොය දා, විසිහත්වැනි දා පවත්වන්නේ නැහැ.

ඊනියා ජී එස් පී + සහනය, ආදිය ලැබෙන්නේ මේ ආණ්ඩුවේ විශේෂ හැකියාවක් නිසා නො වෙයි. නිවටකම නිසයි. යුරෝපා සංගමය කියන්නේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ මෙවළමක් පමණයි. එංගලන්තය එහි ආධිපත්‍යයෙන් මිදෙන්න තීරණයක් අරගෙන. යුරෝපා සංගමය තම ලියකියවිලිවල කියන්නේ නැහැ ආණ්ඩුව සමග ඇති කර ගත් ගිවිසුම ගැන. එසේ සඳහන් කිරීම ඔවුන්ගේ පිළිවෙත නො වෙයි. අදාළ ගිවිසුම ආණ්ඩුවවත් යුරෝපා සංගමයවත් කිසි දිනෙක ප්‍රසිද්ධ කරන එකක් නැහැ. එහෙත් එය ක්‍රියාත්මක කරන විට පෙනේවි.

ඊනියා මානව අයිතිවාසිකම් රැකීම එහි ප්‍රධාන කොන්දේසියක්. රණවිරුවන්ට දඬුවම් කිරීමත් එහි අඩංගු වෙනවා. සමලිංගික කටයුතු නීත්‍යානුකුල කිරීම ආදිය එහි වෙනවා.  ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේගේ ජාතියේ මූරදේවතාවුන් යන සංකල්පය නොව සමලිංගික අයිතිවාසිකම් කියන සංකල්පය රැකීමට බැඳී සිටිනවා. දෙමුහුන් අධිකරණය මෙහි තවත් ප්‍රධාන කොන්දේසියක්. මෛත්‍රිපාල ජනමාධ්‍යයට කරන ප්‍රකාශවලින් මේවා නවත්වන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලයේ දී ඒ යෝජනා පරාජය කළ යුතුයි. එහෙත් අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ  සුපිරිව්‍යුහයේ ප්‍රධාන ම නියෝජිතයා වූ රනිල්ට අවශ්‍ය දේ. රවි කරුණානායක පරාද කිරීමට බැරි මෛත්‍රිපාලගේ ඇමතිවරුන්ට සුපිරිව්‍යුහයට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි බව පැහැදිලියි. රවිත් සුපිරිව්‍යුහයේ නියෝජියෙක්.



මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 18