බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා
බටහිර සමාජයීය විද්‍යාවන් බටහිර (ස්වාභාවික) විද්‍යා පසුපස නොන්ඩි
ගසමින් යන බව කී විට මෙරට සිටින පඬි සමාජයීය විද්‍යාඥයන්ට කේන්ති යනවා. මෙරට සිටින
පඬි සමාජයීය විද්‍යාඥයන් යැයි කීවත් ඔවුන්
තම විෂයයට කර ඇති ප්‍රදානයක, එකතු කිරීමක් නැහැ. ඊනියා සමාජ විද්‍යාඥයන්,
ආර්ථික විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන් ආදීන් ලෙස තම තමන් හඳුන්වා ගත්තත් ඔවුන් ඒ ඒ විෂය යම් යම් මට්ටම්වලට හදාරා ඇති පුද්ගලයන් පමණයි. ඔවුන් පමණක් නොව ඇතැම් විට මානව ශාස්ත්‍රඥයන් ලෙස සැලකෙන
ඊනියා ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ද එවැනි ම වූ උගතුන්
පමණයි. විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල මේ ජීවීන් දැක
ගැනීමට පුළුවන්.
මට පෙනෙන විධියට නම් නොන්ඩි ගසමින් ගිය බටහිර සමාජයීය විද්‍යා අද වන
විට තව දුරටත් නොන්ඩි ගසමින්වත් යන්න බැරි තත්වයකට පත් වෙලා. සිංහලෙන් කියනවා නම්
ඒ විෂය අද හතර ගාතෙන් ඇද වැටිලා. ඒත් විශ්වවිද්‍යාලවල තවමත් ඒ විෂය ඉගැන්වෙනවා.
ඉගැන්වෙනවා පමණක් නොව එකී විද්‍යාඥයන් කියන ආකාරයට පර්යේෂණ ද පැවැත්වෙනවා. එහෙත්
මේ සමාජය තේරුම් ගැනීමට මේ සමාජයීය විද්‍යාඥයන්ට පුළුවන් කමක් තියෙනව ද? රටක ආර්ථිකය හැඩ ගැස්සවීමට පුළුවන් ආර්ථික විද්‍යාඥයන්
සිටිනවා ද? ඊනියා සමාජ විද්‍යාඥයන්ට සමාජය යහමගට
ගැනීමට උපදෙසක් දිය හැකි ද? ඔවුන්ට යහමග කියන්නෙ මොකක් ද කියන
එකවත් කියා දෙන්න පුළුවන් ද?
සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය තම නොහැකියාව වසා ගැනීම සඳහා
දේශපාලනඥයන්ට දොස් පවරාවි. එය ගෙදර තියෙන මුවහමට තඩි බානවා වගේ වැඩක්. දේශපාලනඥයන්
සමාජයීය විද්‍යාඥයන් කියන දේට ඇහුම්කන් නොදෙන්නේ ඇයි ද කියන එකවත් සමාජයීය විද්‍යාඥයන්
අපට තේරුම් කර දෙනවා ද? දේශපාලනඥයන් ඊනියා සමාජයීය විද්‍යාඥයන්ට
වඩා ස්වාභාවික විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදීන් යැයි කියන අයට සවන් දෙනවා. සමාජයීය විද්‍යාඥයන්ට
එසේ කෙරෙන්නේ ඇයි ද කියා පැහැදිලි කර දෙන්න පුළුවන් ද?
නොරොච්චෝලෙ විදුලි බලාගාරය කැඩුනම ඉංජිනේරුවන් ටික කලක් ගත වී නමුත්
එය ප්‍රතිසංස්කරණය කරනවා. මෝටර් රථයක් කැඩුණු විට බාස් උන්නැහේ එය හදලා දෙනවා.
සමාජයේ ඇති දහසකුත් එකක් වැරදිවලට ප්‍රතිකාර කරන්නේ කවුරුන් ද? ඒ වැරදිවලට ප්‍රතිකාර නියම කරන්න පුළුවන් ද?
අන්තිමේ දී දේශපාලනඥයන් මැදිහත් වෙනවා. එහෙත්
දේශපාලනඥයන් නොරොච්චෝලෙ යන්ත්‍ර හදන්න යන්නෙ නැහැ. ඔවුන් එමගින් කොන්ත්‍රාත් දීම්
හරහා කොමිස් මුදල් ගනීවි. ඊට වඩා දෙයක් කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ.
මා මෙසේ කියන විට මෙරට ඇතැම් පඬියන් කියන්නේ මා ගණිතය හා භෞතික විද්‍යාව
හදාරා ඇති බැවින් ඒ විෂය ඉහළට ඔසොවා සමාජයීය විද්‍යාවන්ට පහර ගසන බවයි. එය ඔවුන්ගේ
මනස්ගාතයක් පමණයි. මා බටහිර ගණිතයවත් බටහිර භෞතික විද්‍යාවවත් ඉහළට ඔසොවන්නේ නැහැ.
මා බටහිර ගණිතඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා බටහිර විද්‍යා පට්ටපල් බොරු ලෙස හඳුන්වනවා.
එසේ තිබිය දී ඒ බව හොඳින්ම දන්නා ඊනියා සමාජයීය විද්‍යාඥයන් හා මානව ශාස්ත්‍රඥයන්
මා බටහිර විද්‍යා ඉහළට ඔසවන බව කියන්නේ තම විෂය ආරක්‍ෂා කර ගැනීමට බැරිකම නිසා ඇති
වූ හීන මානයකින්.
බටහිර ස්වාභාවික විද්‍යාඥයන් අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා. ඒ පරීක්‍ෂණ,
නිරීක්‍ෂණ, නිගමන නො වෙයි. එයත් පට්ටපල් බොරුවක්. බටහිර විද්‍යාවේ දී පළමුවෙන්
කෙරෙන්නේ පරීක්‍ෂණ ඇතිව හෝ නැතිව හෝ කෙරෙන පරිමිත නිරීක්‍ෂණ කිහිපයකින් වියුක්ත සාධාරණ (පොදු) නිරීක්‍ෂණ උද්ගමනය
(ඉන්ඩක්ෂන්) කිරීම. මෙහි දී කිවයුතු කරුණක් නම් මේ නිරීක්‍ෂණ කිසිවක් ඊනියා
වාස්තවික දේ නොවන බවයි. ඒ නිරීක්‍ෂණත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂයි. ඒ සියල්ල නිරීක්‍ෂකයාගේ
සංස්කෘතියට, ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂයි.
ඊළඟට එකී උද්ගමන තේරුම් ගැනීමට යැයි
කියමින් වියුක්ත කතන්දර ගොතනවා. එයට අනපෝහනය (ඇබ්ඩක්ෂන්) කියා කියනවා. මේ අනපෝහනය
තමයි බටහිර විද්‍යාවේ කෙරෙන ප්‍රධාන ම කාර්යය. ඒ කතන්දරවලට (වියුක්ත) ප්‍රවාද
(තියරීස්) කියා කියනවා. මේ ප්‍රවාද කියන්නෙ හිතලු. යම් වියුක්ත සාධාරණ නිරීක්‍ෂණයක්
තේරුම් කිරීමට කතන්දර සිය ගණනක් ගොතන්න පුළුවන්. ඒත් ඒ හැම කතන්දරයක් ම
පිළිගැනෙන්නේ නැහැ.
දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොන කතන්දර ද පිළිගන්න පුළුවන්? ඒ සඳහා බටහිර විද්‍යාවේ ඉතා කපටි ක්‍රමයක්
යොදාගන්නවා. සාධාරණ නිරීක්‍ෂණ මෙන් ම ඊනියා ප්‍රවාද හෙවත් කතන්දරත් වියුක්තයි. ඒ වියුක්ත
කතන්දරවලින් අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගනිමින් වියුක්ත නිගමන
(ඩිඩක්ෂන්ස්) ලබා ගන්නවා. මේ අනුමාන නීති ලබාගෙන ඇත්තේත් උද්ගමනයෙන්. අවසානයේ දී
නිගමනත් රඳා පවතින්නේ උද්ගමන මත. බටහිර විද්‍යාඥයන්වත් දාර්ශනිකයන්වත් ඒ බව
කියන්නේ නැහැ. මා දන්නා තරමින් කිසිම පොතක පතක ඒ බව සඳහන් වන්නේ නැහැ. එසේ ලබාගත්
වියුක්ත නිගමන සංයුක්ත නිරීක්‍ෂණ සමග සන්සන්දනය කිරීමේ කපටි ක්‍රියාවක් බටහිර විද්‍යාවේ
සිදුවෙනවා. එසේ සන්සන්දනය කර අර හිතලුවලින් එකක්
ගැලපෙනවා කියා තෝරා ගන්නවා. එසේ ගැලපීමට සත්‍ය කරා ළඟාවන බව කියනවා. ඒත්
සත්‍යය යනු කුමක් දැයි කියන්නේ නැහැ.
වියුක්ත නිගමනයක් කියන්නේ අවසානයේ දී වියුක්ත ප්‍රකාශනයක්. සංයුක්ත
නිරීක්‍ෂණයක් කියන්නෙ අවසානයේ දී සංයුක්ත ප්‍රකාශනයක්. වියුක්ත ප්‍රකාශනයක්
සංයුක්ත ප්‍රකාශනයක් සමග සන්සන්දනය කරන්නේ කොහොම ද? වියුක්ත ප්‍රකාශනයක් හිතෙන් මවා ගන්න බැහැ. ඒ ගැන හිතන්න පුළුවන්.
හිතනවා කියන්නේ සහ හිතෙන් මවා ගන්නවා කියන්නේ දෙකක්. අපට පළලක් නැති අනන්ත දිගක් ඇති සරල
රේඛාවක් ගැන හිතන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගැන හිතන්න පුළුවන්. ඒත් අපට ඒවා
හිතෙන් මවා ගන්න බැහැ. ඒ දෙක ම වියුක්තයි. එහෙත් අපට දෙවියන් (වහන්සේ නොවෙයි) ගැන
හිතන්නත් පුළුවන්, දෙවියන් හිතෙන් මවා ගන්නත් පුළුවන්. අප
දෙවියන් දැක නැති නමුත් දෙවියන් දැක ඇති අය ඉන්නවා. පන්සල්වල දේව රූප ඇඳලා
තියෙන්නෙ එක්කො දෙවියන් දැකපු අය, නැත්නම්
දෙවියන්ගෙ හැඩ රුව ගැන අසා ඇති අය. ඒත් දෙවියන් වහන්සේගේවත් සරල රේඛාවකවත් රූපයක්
අඳින්න බැහැ. ක්‍රිස්තියානි ඉස්ලාම් වැනි ඒබ්‍රහමික ආගම්වල දෙවියන් වහන්සේ හිතෙන් මවා
ගන්න බැහැ. ඒබ්‍රාහමික ආගම්වල දෙවියන් වහන්සේගේ රූප ඇඳීම, පිළිම තැනීම කරන්න බැහැ. සරල රේඛා හිතෙන් මවා
ගන්න බැහැ. ඒවා අඳින්නත් බැහැ. අප සරල රේඛා කියමින් අඳින්නේ සරල රේඛා නො වෙයි. අඩු
තරමෙන් සරල රේඛා ඛණ්ඩවත් නො වෙයි. අප අඳින රුපවලට පළලක් (ඝනකමක්) තිබෙනවා.
සංයුක්ත ප්‍රකාශන හිතෙන් මවා ගන්න පුළුවන්. බොහෝ විට ඒවා පංචෙන්ද්‍රිය
ගෝචරයි. වියුක්ත ප්‍රකාශන පංචෙන්ද්‍රියවලට ගෝචර නොවනවා පමණක් නො වෙයි. හිතෙන් මවා
ගන්නවත් බැහැ. ඉතින් වියුක්ත ප්‍රකාශන හා සංයුක්ත ප්‍රකාශන සන්සන්දනය කරනනේ කොහොම
ද? මා මෙහි සඳහන් කරන්නේ කූන්වත්, ෆෙයරාබන්ඩ්වත්, ව්‍යුහවාදියකුවත්, පශ්චත් ඉන්ද්‍රියානුභූතවාදියකුවත්,
වෙනත් බටහිර දාර්ශනිකයකුවත් කියා ඇති දෙයක් නො වෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවල
මේ පට්ටපල් බොරු ගොතන්න පුළුවන්. බටහිර සමාජයීය විද්‍යාවල පට්ටපල් බොරු ගොතන්නවත්
බැහැ. ඔවුන් කෙබර ඇදබානවා.
බටහිර ස්වාභාවික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් ඊනියා විධික්‍රම
ගැන කියවන්නේ නැහැ. ඔවුන් තමන් පුහුණු කෙරී ඇති ආකාරයට තම වැඩේ කරනවා. ඒත් සමාජයීය
විද්‍යාඥයන් තොර තෝංචියක් නැතිව ඊනියා විධික්‍රම ගැන කියවනවා. ඒ ඔවුන්ට කෙබර
ඇදබෑමේ කිවයුතු තරම් විධික්‍රමයක් නැති නිසයි. ඔවුන් අද හතරගාතෙන් ඇද වැටිලා.
ඔවුන් ඒකීය රාජ්‍යය ගැන කියන කෙබර කල්පනා කරන්න.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 31