Main Logo

Wednesday 5 June 2019

රාමළාන් හඳ

රාමළාන් හඳ 


අද රාමළාන්. ඒත් මා හඳ බලන්න පාතිමාට එන්න කියන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව මගේ භාර්යාව සමගවත් හඳ බලන්න මගේ වයස අනුව හිතෙන්නෙ නැති නිසා. දෙවනුව හඳ බැලීමෙන් පමණක් සිංහල - මුස්ලිම් සහජීවනයක් (ඊනියා සංහිඳියාවක් නොව) ඇති කරන්න බැරි නිසා. ජඩමාධ්‍ය සුපුරුදු පරිදි මේ අදහස්වලට ප්‍රචාරයක් නොදේවි. දැන් පෝය හැටකට වැඩි කාලයක් ජනමාධ්‍ය මා අත්හැර ගොස්. ඊයේ මට කුලියාපිටියේ දී අවුරුදු තිහකට පමණ පසු හමු වූ අයකු ඇසුවේ මා දැන් නිහඬ ඇයි කියා. මා නිහඬ නැති බවත් ඒත් මගේ හඬ පිටවන්නට ඉඩක් නැති බවත් මා කී විට ඔහුට මා කියන දේ තේරුම් ගියා. එහෙත් මා කියන දේ සමාජයට නොගිහින් තියෙන්නේ නැහැ. ජඩමාධ්‍ය කුමක් කළත් ඒ අදහස් රටට යනවා.


ඊයේ මගේ ලිපියේ මේ කොටස තිබුණා.  “මුස්ලිම් ඇමතිවරුන් අස්වීමෙන් කියා සිටින්නේ මුස්ලිම් අන්තවාදීන් යනුවෙන් කොටසක් වෙන් කරන්න එපා කියලයි. අද ඇතැම් මුස්ලිම් ජනයාත් ඉස්ලාම් ආගමේ සාමකාමී පැත්ත පමණක් කල්පනා කරද්දි මේ හිටපු ඇමතිවරුන් ඒ ජනතාවත් වහාබ්වාදීන්ගේ කොටසට දාන්න උත්සාහ කරනවා.”  ඒ ලිපියේ තිබූ අදහස අනුව වුවත් නැතත් අද රටේ ඇමතිවරුන් ලෙස සිටි සියළු මුස්ලිමුන් තම ධුරවලින් අස්වීම ගැන එවැනි මතයක් ප්‍රචලිත වෙමින් පවතිනවා. 

රාමළාන් දිනයේ අප මුස්ලිම් බැතිමතුන්ට කියා සිටින්නේ දේශපාලනඥයන්ගේ ක්‍රියාවලින් නොමග නොයන ලෙසයි. දේශපාලනඥයන්ට අවශ්‍ය එක් අතකින් තම ඡන්ද පදනම රැක ගන්න. ඔවුන් ඒ සඳහා සිංහල මුස්ලිම් භේදයක් ඇති කරන්න උත්සාහ කරනවා. ඉස්ලාම් ආගමේ සාමකාමී පැත්ත අවධාරණය කරමින් මූලධර්මවාදී වහාබ්වාදයට විරුද්ධ බැතිමතුන් මුස්ලිමුන් අතර ඉන්න බව අප දන්නවා. ඒ අය බහුතරය වීමටත් පුළුවන්. එහෙත් දේශපාලනඥයන් ඒ කොටසත් වහාබ්වාදී මූලධර්මවාදීන්ගේ ගණයට ඇතුල් කරන්න උත්සාහ කරනවා. ඔවුන් එකට අස්වීමෙන් කර ඇත්තේ එයයි. මේ අස්වීම රනිල් නොදැනුවත් ව ඔහුගේ අනුග්‍රහයක් නැතිව කළ එකක් යැයි මා විශ්වාස කරන්නේ නැහැ. අප කළ යුත්තේ වහාබ්වාදී අන්තවාදීන් කවුදැයි හෙළිදරවු කර මෙරට සහජීවනයක් ඇති කිරීමයි. 

වහාබ්වාදය ලෝ පුරා පැතිර ගිය එකක්. එය ලෝකයේ නම් අවුරුදු තුන්සීයක් පමණ පැරණියි. එහෙත් ලංකාවේ නම් අවුරුදු පනගකට වඩා ඉතිහාසයක් වහාබ්වාදයට නැහැ. සමහරුන්ගේ මතයක් තියෙනවා වහාබ්වාදය ඉංගිරිසින් විසින් ඇති කරන ලද්දක් බවටත්. ඒ කුමක් වුවත් අද ලෝකයට මහමත්තුමා සිටි කාලයට ආපසු යන්න බැහැ. මා කියන්නේ අප බටහිර නූතනත්වය වැළඳ ගත යුතු ය යන්න නො වෙයි. බටහිර නූතනත්ව ආධිපත්‍යයට එරෙහි ව අප සියළු දෙනා ම එක් ව සටන් කළ යුතුයි. ඒ කියන්නේ නූතනත්වය මුළුමනින් ප්‍රතික්‍ෂෙප කිරීමකුත් නො වෙයි. මා මේ ලිපිය ලියන්නේ පන්හිදෙන් නොවෙයි. මා එහි දී නූතනත්ව ආම්පන්න යෙදා ගන්නවා. රිෂාඩ් බද්‍යුද්දීන් බොහෝ විට අපට පෙනෙන්නේ සම්පූර්ණයෙන් මෙන් යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටින අයකු ලෙස. 

මුස්ලිම් බැතිමතුන් දේශපාලනඥයන්ට එරෙහි ව ගොස් මුස්ලිම් සමාජයෙහි වහාබ්වාදී හා වහාබ්වාදී නොවන ආකාරයෙන් දළවශයෙන්වත් කොටස් දෙකක් ඉන්න බව පෙන්වන්න ඕන. වහාබ්වාදීන්ට කාත්තන්කුඩිය අරාබියක් කරන්න ඕන වුණත් එය කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අපේ ජාතික කොඩියෙහි මුස්ලිම් ජනසමාජය නිරූපණය කරන තීරුවක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සහජීවනය. අද රාමළාන් දිනය ලංකාවේ නිවාඩු දිනයක්. මුස්ලිම් නොවන රටවල් කීයක රාමළාන් වෙනුවෙන් නිවාඩු දී තියෙනවා ද? 

සාමාකාමී මුස්ලිමුන්ට දහහතරවැනි සියවසේ සිට ලංකාව මව්බිම වී තියෙනවා. ලංකාවට පැමිණි කිසිවකු ආපසු ගොස් නැහැ. වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි සිංහයන් මෙරට හෙළයන් සමග මිශ්‍ර වී සිංහළේ ගොඩ නැගුවා. අද ඇත්තේ දෙමළ හා මුස්ලිම් ජන කොටස්වලට තම අනන්‍යතාව නැති කර නොගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය ලෙස පිළිගෙන ජීවත් වීමයි. එයට එරෙහි වන්නේ බටහිරයන් හා ඔවුන් අනුගමනය කරන ඊනියා සංහිඳියා පඬියන්.  ලංකාව සිංහලයන්ගේ පමණක් මව්බිම බවක් අප කියන්නේ නැහැ. මා හැමදාමත් කී කරුණක් තමයි රුවන්වැලි සෑය අබියසට ගොස් මේ අපේ යැයි කියන්නට ආගම කුමක් වුවත් අප සියල්ලන්ට හැකි විය යුතු ය කියා.

ඇතැම් ඊනියා නිරාගමිකයන්ට එය ගඩොල් ගොඩක් පමණක් වේවි. ඔවුන් හිතන්නේ ඔවුන්ට කිසිම විශ්වාසයක් නැති බවයි. එහෙත් ඔවුන්ට ඊනියා න්‍යාය (logic) තර්කය ආදිය ගැන ඇත්තේ විශ්වාසයක්. තර්කය හා න්‍යාය ද ගණිතය ද මිනිසුන්ගේ ම නිර්මාණ බව අප පෙන්වා දී තිබෙනවා. ඒත් එපමණින් එය පිළිගන්න කියා අප කියන්නේ නැහැ. බුදු දහමෙහි යමක් තර්කානුකූල වූ නිසා පමණක් න්‍යායානුකූල වූ නිසා පමණක් පිළිගන්න එපා කියා තියෙනවා. අප දන්නේ එව බලව යන්නයි. ඒ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නම් නො වෙයි.  පඬියන් දන්නේ කාලෝ ෆොන්සේකාගේ කාළාම සූත්‍රය මිස බුදුහාමුදුරුවන්ගේ කාළාම සූත්‍රය නො වෙයි. අප මුස්ලිමුන්ගේ දේව විශ්වාසයට අභියෝග කරන්නේ නැහැ.  අප මුස්ලිමුන්ට තබා බෞද්ධයන්ටවත්  කාළාම සූත්‍රය විශ්වාස කරන්න කියන්නේත් නැහැ. අප කසිකබල් පඬියන්ගේ කසිකබල් හේතුවාදයට තර්කයට න්‍යායට ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නම් අභියෝග කරනවා. පඬියන්ටත් ඇත්තේ විශ්වාසයක් පමණයි.

මේ අතර බද්‍යුද්දීන්ට හා අනෙක් අයට විරුද්ධව චෝදනා ඇත්නම් දොළොස්වැනි දාට පෙර එ අපරාධ විමර්ශන කොට්ඨාශයට ඉදිරිපත් කරන්න කියා ආණ්ඩුව කියනවා. අද ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණය කිරීම. එය පොලීසියේත් විවිධ අංශවලත් කටයුත්තක්. පාස්කු ප්‍රහාරකයන් ආරක්‍ෂා කළ අය සිටී නම් ඔවුන් ගැනත් සොයා බැලිය යුතුයි. අද ඇතැමුනට බද්‍යුද්දීන් ආදීන් ගැන ප්‍රශ්න මතු වී තිබෙනවා. රාජ්‍යයේ අදාළ අංශ ඒ ගැන සොයා බලන්න ඕන. 

අද ආණ්ඩුව කරන්නේ හොරකමක් ගැන පොලීසියට පැමිණිළි කළ විට හොරා ගෙනත් දෙන්න කියනවා වගේ වැඩක්. ඊනියා තේරීම් කමිටුවකට මේ කිසිම දෙයක් ගැන විනිශ්චයක් දෙන්න බැහැ. එහි සාමාජිකයන් හොරුන්ගේ තාත්තලා බව අප කියා තිබෙනවා. රාජ්‍යයේ අදාළ අංශ පාස්කු ප්‍රහාරය ගැන සියල්ල සොයා බලන්න ඕන. අද ඒ ගැන විධිමත් දෙයක් නොකර සාක්කි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියා ආණ්ඩුව කියනවා. මේ සියල්ල ඇස්බැන්දුම්. මේ දේශපාලනඥයන් සියල්ලන් කරන්නේ සිංහල මුස්ලිම් අප භේද කර ඡන්දය දිනා ගැනීමට කටයුතු කිරීම පමණයි. 

අපි සියල්ලන්ට රාමළාන් හඳත් වෙසක් හඳත් බලන්න පුළුවන් රාජ්‍යයක් යළි පිහිටුවමු. මේ එක හඳක් නව හඳක් අනෙක පිරුණු හඳක්. ඒ හඳ අපට පේන හැටි. මෙයින් කියන්නේ නැහැ වාස්තවික (objective) හඳක් තියෙනවා කියා. හඳත් අපේ නිර්මාණයක් පමණයි.