Main Logo

Saturday, 29 June 2019

දයාසිරි හා ඊනියා තේරීම් කමිටුව

දයාසිරි හා ඊනියා තේරීම් කමිටුව

අපට ඉංගිරිසින්ගෙන් කිසිම දෙයක් හරියට ගන්න බැරි වෙලා. නිශ්චිත භාවය අපේ සංස්කෘතියේ නැති තරම්. අපට ඇත්තේ පොතේ තියෙන දේ අපට වුවමනා ආකාරයට තානාගත් දැනුමක්. ඒක එහෙම වෙන එක නොවෙයි මගේ ප්‍රශ්නය. අප නීතිය ව්‍යවස්ථාව ආදිය වුණත් කියවා ඇත්තේ උඩින් පල්ලෙන් කියන එකයි මගේ හැඟීම. මා කිහිප වතාවක් ම කියා තිබෙනවා රාජ්‍ය ඇමති කියා ධුරයක් ව්‍යවස්ථාවේ නැහැ කියා. එහෙත් මෙරට ඊනියා රාජ්‍ය ඇමතිලා ඉන්නවා. ඔවුනට පඩි නඩි ගෙවනවා. වරප්‍රසාද දෙනවා. ඒ ව්‍යවස්ථාවට එකඟ ද? ඊනියා රාජ්‍ය ඇමතිලා වරප්‍රසාද ලබා ගන්නවාට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන් ද? නඩු දමන්නා විහිළුකාරයකු කරයි ද?


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරලා. ඒත් ඊයේ දුම්රිය වැඩ වර්ජනයක් තිබුණා. පොලීසිය සමහර දිනක පෙළපාලි යෑමට විරුද්ධව උසාවි නියෝග ගන්නවා. ඒත් පෙළපාලි යනවා. නීතිය බල්ලට ගිහිල්ල ද? නැත්නම් වෙන කාට හරි ගිහිල්ල ද? අප වචන පාවිච්චි කරන්නෙ නොසැලකිල්ලෙන්.

මේ දිනවල තේරීම් කමිටුවක් රැස්වෙනවා. දයාසිරි ඒකට යන්නෙ නැතිලු. දයාසිරිට විරුද්ධව මොකක් ද කරන්නෙ. මේ පත් කරල තියෙන්නෙ තේරීම් කමිටුවක් ද? ස්ථාවර නියෝගවල තේරීම් කමිටුව නිර්වචනය කරල තියෙන්නෙ මෙගෙමයි. ඒකට ඉංගිරිසියෙන් කියන්නෙ COMMITTEE OF SELECTION .

114. (1) ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ගණපූරණය තීරණය කරනු ලැබීම සඳහා ද ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා ද මතු සඳහන් කාරක සභාවල සේවය කිරීම සඳහා ද මන්ත්‍රීවරයන්  නම් කරනු පිණිස සෑම සභාවාරයක් ආරම්භයේ දී ම, ”තේරීම් කාරක සභාව” යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුත්තේ යඃ-
(අ) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව,
(ආ) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව,
(ඇ) ගෘහ්‍ය කාරක සභාව,
(ඈ) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව,
(ඉ) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව,
(ඊ) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව,
(උ) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව,
(ඌ) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව,
(එ) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,
(ඒ) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව,
( ඔ) උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ
( ඕ) පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව.

(2) තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභාවාරය ආරම්භයේ දී නම් කළ යුතු සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය. පාර්ලිමේන්තුව කල් තබනු ලැබ තිබියදී වුව ද, ස්වකීය රැස්වීම් පවත්වනු ලැබීමට ද, වරින් වර වාර්තා කරනු ලැබීමට ද, කිසියම් කාරක සභාවකට යම් මන්ත‍්‍රීවරයකු නම් කරනු ලැබූ අවස්ථාවක දී, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීමට ද තේරීම් කාරක සභාවට අවසර තිබිය යුත්තේ ය.

114 ඉංගිරිසියෙන් පටන් ගැනෙන්නේ මෙහෙමයි.


114. (1) There shall be a Committee to be designated the Committee of Selection ….

ඔය රැස්වෙන්නෙ නම් එහෙම තේරීම් කමිටුවක් නොවන බවයි මගේ හැඟීම. දැන් රැස්වෙන්නෙ විශේෂ කාරක සභාවක්. එය අර්ථදක්වන්නෙ මෙහෙමයි.

100. විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් පත්කරනු ලැබිය හැකි ය.
101. විශේෂ කාරක සභාවක්, පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව මන්ත්‍රීවරු දොළොස් දෙනෙකුට වැඩි ගණනකින් සංයුක්ත නොවිය යුතු ය. එවැනි අවසරයක් ලබා ගැනීම සඳහා වන යෝජනාවක් සම්බන්ධයෙන් දැනුම් දීම අවශ්‍ය වන්නේ ය.
102. විශේෂ කාරක සභාවකින් කරනු ලබන පරීක්ෂණයක විෂයය සීමාව, එම කාරක සභාව පත්කරන ලද නියෝගයේ නියම මගින් නිශ්චය කරනු ලැබිය යුතු නමුත් එම විෂයය පථය පුළුල් කිරීම හෝ සීමා කිරීම පාර්ලිමේන්තුවේ උපදෙස් අනුව කරනු ලැබිය හැකි ය. එම කාරක සභාව විසින් එහි අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය යැයි සලකනු ලබන යම් නිශ්චිත දිනයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි වීමට යටත්ව, එම කාරක සභාව විසින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව ඉහත කී නියෝගයේ නිශ්චිතව දක්වා තිබිය යුත්තේ ය.
103. සෑම විශේෂ කාරක සභාවක ම සභාපතිවරයා සහ සභික මන්ත්‍රීවරයන් කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුත්තේ ය. සභාපතිවරයා නොපැමිණ සිටින අවස්ථාවක දී, පැමිණ සිටින සභික මන්ත්‍රීවරයන් විසින් තෝරා ගනු ලබන කාරක සභාවේ වෙනත් කවර හෝ මන්ත‍්‍රීවරයකු විසින් එම රැස්වීමේ මූලාසනය දරනු ලැබිය යුත්තේ ය.
104. සභාපතිවරයා විසින් නියම කරනු ලැබිය හැකි යම් වේලාවක සහ ස්ථානයක කාරක සභාව විසින් සිය රැස්වීම් පවත්වනු ලැබිය යුත්තේ ය. පළමුවැනි රැස්වීමෙන් අනතුරුව පවත්වනු ලබන රැස්වීම් කාරක සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වේලාවල සහ ස්ථානවල පවත්වනු ලැබිය යුත්තේ ය.
105. අන්‍යාකාරයෙන් නියෝග කරනු ලබන්නේ නම් මිස, විශේෂ කාරක සභාවක ගණපූරණය මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගෙන් සංයුක්ත විය යුත්තේ ය.
106. එවැනි යම් කාරක සභාවක පුරප්පාඩුවක් ඇති වන යම් අවස්ථාවක දී, කථානායකවරයා විසින්, කලින් කලට, එම සාමාජික මන්ත්‍රීවරයා වෙනුවට එම විශේෂ කාරක සභාවට වෙනත් මන්ත්‍රීවරයකු පත්කරනු ලැබිය හැකි ය. කාරක සභාවේ පූර්ව අවසරය නොලබා නොකඩවා රැස්වීම් තුනකට පැමිණ නොසිටින යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අත්හැරගියා සේ සලකනු ලැබිය යුත්තේ ය. මෙම ස්ථාවර නියෝගය යටතේ කරනු ලබන සෑම පත් කිරීමක් ම පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීමේ දී පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේ ය.
107. විශේෂ කාරක සභාවක සභාපතිවරයාට එක් මූලික ඡන්දයක් තිබිය යුතු ය. ඡන්ද විමසීමක දී ප්‍රකාශ කරන ලද ඡන්ද සමානව බෙදී ඇත්නම්, සභාපතිවරයාට තීරක ඡන්දයක් භාවිතා කරනු ලැබිය හැකි ය.
108. පනත් කෙටුම්පතක් හෝ යම් කාරණයක් යොමු කරනු ලැබූ විශේෂ කාරක සභාවක් විසින් එම පනත් කෙටුම්පත හෝ යොමුගත කාරණය පිළිබඳ සාක්ෂ්‍ය විභාග කිරීම පිණිස පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට තැනැත්තන් කැඳවීමට සහ ලිපිලේඛන සහ වාර්තා ගෙන්වා ගනු ලැබීමට යෝජනා සම්මතයක් මගින් බලය දෙනු ලැබිය හැකි අතර, එවැනි බලතල පවරනු ලැබ ඇති යම් කාරක සභාවකට එම කාරක සභාව ඉදිරියේ ලබා ගන්නා ලද සාක්ෂිවල කාර්යය සටහන් ද සමඟ කාරක සභාවේ මතයන් සහ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ද පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම සුදුසු යැයි සලකනු ලැබිය හැකි යම් කාරණයක් සම්බන්ධ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට ද අවසර තිබිය යුත්තේ ය.
109. පාර්ලිමේන්තුව කල් තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද, විශේෂ කාරක සභාවක් විසින් සිය විමර්ශන නොකඩවා කරගෙන යනු ලැබිය හැකි අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන තෙක් හෝ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් මිස එය විසුරුවා හරිනු නොලැබිය යුත්තේ ය.
110. යම් විශේෂ කාරක සභාවක රැස්වීම සඳහා එක් එක් දිනයේ පැමිණෙන සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම්, විභාග කරන ලද සාක්ෂිකරුවන්ගේ නම් සහ යම් බෙදීමක් ඇති වූ අවස්ථාවක දී, ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්නය, එය ඉදිරිපත් කරනු ලැබූ තැනැත්තාගේ නම සහ පැමිණ සිටින සාමාජික මන්ත්‍රීවරයන් එම ප්‍රශ්නය සඳහා ඡන්දය ලබාදුන් අනුපිළිවෙළ ද කාරක සභාවේ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන්වල ඇතුළත් කරනු ලැබිය යුතු අතර, සාක්ෂි පිළිබඳ කාර්ය සටහන් සමඟ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන් ද පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර, කාරක සභාවේ වාර්තාව සමඟ ඒවා මුද්‍රණය කරනු ලැබිය යුත්තේ ය.

මේ සභා ඉංගිරිසියෙන් නම් කෙරී ඇත්තේ මෙසේයි.

100. A Select Committee may be appointed by resolution of Parliament.

නම් පටලැවිල්ල කොහොම වුණත් විශේෂ කාරක සභා (ඊනියා තේරීම් කමිටු) රැස්වීමකට කැඳවනු ලුබූ විට නොගියහොත් කරන්නේ කුමක් ද? විශේෂ කාරක සභාවකට පුද්ගලයන් කැඳවීමට බලය තිබෙන බව ඇත්ත. එහෙත් කැඳවනු ලැබූ පුද්ගලයා නොගියහොත් කරන්නේ කුමක් ද? විශේෂ කාරක සභාවකට අධිකරණයකට ඇති බලතල තිබේ ද? කැඳවනු ලැබූවකු  මේ සභාවට නොගියහොත් ඔහුට විරුද්ධ ව කළ හැකි දෙයක් මේ කොහේවත් සඳහන් වෙන්නෙ නැහැ. දයාසිරි කියන බොහෝ  දේ පිළිගන්න බැහැ. එහෙත් මෙහි දී ඔහුට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැහැ. ඔහුට නොගිහින් ඉන්න පුළුවන් නම් අනෙක් අයටත් නොගිහින් ඉන්න පුළුවන් ද?