ඇදිල්ල හා ඇන්දිල්ල
පොලිටික්ස් යන්නෙහි ග්‍රීක නිරුක්තිය ජනතාව හා සම්බන්ධයි. එය දේශපාලනය වශයෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. මොන අර්ථයෙන් ගත්තත් මේ රටේ දේශපාලනයක් කෙරෙන්නේ නැහැ. ජනතාවගේ සුභසිද්ධියට වැඩක් කෙරෙන්නෙත් නැහැ. මෙහි ඇත්තේ ඉතාමත් ජරාජීර්ණ අර්ථයකින් පොලිටික්ස් කිරීමක්. එනම් තම වාසියට ජනතාව හැසිරවීමක්, මෙහෙයවීමක්. සාමාන්‍ය විධියට කියනවා නම් තම වාසිය සඳහා ජනතාව ගොනාට ඇන්දවීමක්.
මෙරට ඇත්තේ බොරුවක්, රැවටීමක් වංචාවක් මිස වෙනත් දෙයක් නො වෙයි. ඊනියා කලාකරුවන් අතර සහෝදරත්වයක් ගැන කියනවා. සහෝදර ජනමාධ්‍යවේදීන් ගැන කියනවා. සහෝදර ක්‍රීඩකයන් ගැන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ගැන කියනවා. තවත් සහෝදරයන් ගැන කියනවා. අද වන විට එක බඩවැල කඩා ගෙන උපන් සහෝදරයන් සහෝදරියන් අතර පවා සහෝදරකම නැති වේගෙන යනවා. මේ බොරු සහෝදරත්වය පටන් ගත්තේ මාක්ස්වාදීන් කොම්රේඩ් කියන වචනයට සහෝදරයා කියන්න පටන් ගත්ත දවසෙ ද? මේ මගේ හිතට එන අදහසක්. සහෝදරකමක් නැතිව සහෝදරයා කියන විට සහෝදර කියන වචනයෙ තේරුම නැති වෙනවා. කොහොමටත් සහෝදරත්වය කියන්නෙ බෞද්ධ සංකල්පයක් නො වෙයි.
සිංහලයන් අතර අයියා අක්කා නැන්ද මාමා වගේ සංකල්ප තියෙනවා. ලේ නෑ කමක් නැතිවත් ඒවා භාවිතා වෙනවා. බටහිරයන්ට එහෙම සම්බන්ධකම් නැහැ. නැන්ද මාමගෙ දරුවන් කසින්ලා. ෆර්ස්ට් කසින් සෙකන්ඩ් කසින් ආදී වශයෙන් ඒවා දිගට යනවා. අපට කසින් කියල මදි. ඒ නිසා අපි ඉංගිරිසියෙනුත් කසින් බ්‍රදර් කසින් සිස්ටර් කියල කියනවා. මේ වැරදි සංකල්ප. අද වන විට මේ බ්‍රදර් වගේ සංකල්ප දුෂණය වෙලා. තවමත් අයියා මල්ලි කිව්වත් දැන් මුහුණු පොතේ ඉන්නෙ බ්‍රෝලා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නෙ අපට අපේ සංකල්ප, සම්බන්ධකම් තියා ගන්න බැරි වෙච්ච එක. අප ඒ සංකල්ප බටහිරින් ගත් කොම්රේඩ්, කසින් වැනි සංකල්ප සමග මිශ්‍ර කරලා දූෂණය කර ගෙන. අපට අපේ දේ රැක ගෙන අලුත් දේ ගන්න බැරි කමක් තියෙනවා. අප සියල්ල වන කර ගන්නවා, නැත්නම් අනා ගන්නවා.
මට විශ්වවිද්‍යාලයෙ උගන්වන කාලයෙ ඊනියා සහෝදරයො හිටියෙ නැහැ. මිතුරන් ටික දෙනකු නම් හිටියා. ඒත් වැඩි පිරිස මට විරුද්ධ වුණා. මා ඔවුන්ට සහෝදරයා කියන්න ගියේ නැහැ. විශ්වවිද්‍යාලෙ අධ්‍යයනංශ රැස්වීම්, පීඨ රැස්වීම්, සනාතන සභා රැස්වීම්, පාලක මණ්ඩල රැස්වීම් තියෙනවා. මේ රැස්වීම්වලට සමහරු යන්නෙ අදින්න බලාගෙන. මා ආචාර්ය සමිති සම්මේලනයේත් කටයුතු කර තියෙනවා. ඒවටත් සමහරු එන්නෙ අදින්න. මේ අදින (අදීන නොවෙයි) වැඩේ ලංකාවෙ හැම තැන ම තියෙනවා. පාර්ලිමේන්තුව තමයි ඉහළ ම අදින තැන.
අද ඊනියා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරල තියෙන්නෙ බද්‍යුද්දීන් ගැන හොයන්න නොවෙයි. මෛත්‍රිපාලට අදින්න. ඔය හුඟ දෙනකුට මුහුණු පොතේ භාෂාවෙන් කියනව නම් මෛත්‍රිපාල එක්ක ඇරියර්ස් තියෙනවා. මෛත්‍රිපාල හොඳ මිනිහෙක් නො වෙයි. දැන් කවුරු හරි මට අදීවි එහෙනම් මා මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්වෙ මොකද කියලා. මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්වෙ රනිල් ඉවත් කරන්න. ඒක හරියට කෙළෙ නැති නිසා තුන්සීයකට ආසන්න පිරිසක් මිය ගියා.
මට පේන විධියට ඒ තුන්සීයකට ආසන්න පිරිස මිය ගිය එක ගැන කවුරුන්වත් හොයන්නෙ නැහැ. සහාරාන් කවුද සහාරාන් පිටිපස්සෙ හිටියෙ කවුද? තව සහාරාන්ල ඉන්නව ද? සහාරාන් ආරක්‍ෂා කෙළේ කවුද? සහාරාන් ඇති වුණෙ කොහොම ද, සහාරාන්ලා බිහි වීම වළක්වන්නෙ කොහොම ද ආදී දහසකුත් එකක් ප්‍රශ්න ගැන හොයන්නෙ නැහැ. අද තියෙන්නෙ රනිල්ට හරි මෛත්‍රිපාලට හරි අදින එක. එහෙමත් නැත්නම් මහින්දට අදින එක. මේ එක් අයකුවත් හොඳය කියා මා කියන්නේ නැහැ. ඒත් අදින එකෙන් වෙන්නෙ රට පහළට අදින එක. අද අපි බංග්ලාදේශයට යට වෙන්නෙ ක්‍රිකට්වලින් විතරක් නො වෙයි.
රතන හාමුදුරුවො තුන් දෙනකු අස් කරන්න කියා උපවාස කළා. දෙන්නකු අස්වුණා ම උපවාසෙ නැවැත්තුවා. බද්‍යුද්දීන් අස්වුණෙ නැහැ. ඒක රනිල් පිට දාන්න හැදුවා. ඒත් රනිල් ඒකට ඇද්ද. ඔක්කොම මුස්ලිම් ඇමතිවරු අස්වුණා. ඒ නියම විධියට නො වෙයි. රනිල්ට පොදු ලියුමක් දීලා. රනිල් කවුද? රනිල් නො වෙයි ඔවුන් පත් කෙළෙ. මේ ඇමතිවරු දැන හිටියෙ නැද්ද අස්වෙන විධිය. එහෙම නම් ඔවුන් ඇමතිකමකට සුදුසු නැහැ. හකීම් කියනවා රාමළාන් නිසා අස් වීම හරියට කරන්න බැරි වුණා කියල. මේ කාවද ගොනාට අන්දන්නෙ? දැන්වත් හරි විධියට අස්වෙන්නෙ නැත්තෙ ඇයි? මා කියන්නෙ අස්වෙන එක හරි කියන එක නො වෙයි. අස්වෙන්නෙ වහාබ්වාදී සහාරාන්ලා සහ වහාබ්වාදීන් නොවන්නන් අතර වෙනසක් නැති බව මුස්ලිම් ජනයාට ඒත්තු ගන්නන්නත් මෛත්‍රිපාලට අදින්නත්.
මෛත්‍රිපාල ඒකට බයවෙලා. ඔහුට නැවත ජනාධිපති වෙන්න කියල ශ්‍රී ල නි ප මන්ත්‍රී කණ්ඩායමක් ගිහින් කියලා. නිමල් සිරිපාල ඇත්තට ම එහෙම හිතනවා ද? එතැන හිටපු අයගෙන් දයාසිරි වැනි කිහිප දෙනකුට හැරෙන්න අනෙක් අයට මෛත්‍රිපාල තවදුරටත් ඕන ද? ඔවුන් අප අන්දන්නෙ අපි ඇඳ ගන්න සූදානම් නිසා. අද තියෙන්නෙ ඇදිල්ල හා ඇන්දිල්ල පමණයි. ඕන නම් ඇදිල්ල හා ඇඳිල්ල කියන්නත් පුළුවන්. හැන්ද කියන වචනෙන් හැඳිගානවා කියන එක බිඳෙනව වගේ. ඒ කොහොම වුණත් රට ම හැඳිගෑවිලා යනවා.
මේ හැමෝම බලන්නෙ ඡන්ද ගොඩ වැඩි කර ගන්න. සිංහල ද මුස්ලිම් ද දෙමළ වෙල්ලාල ද කියල වෙනසක් නැහැ. සහාරාන් කන්‍යාවියොත් එක්ක ද කියල මා අහන්නෙ නැහැ. ඒත් අද සිංහල මිනිසුන් කුපිත කරන්න, එමගින් රනිල්ට පූර්ණ බලතල දෙන විධියට කැරළි ඇති කරන්න බටහිරයන් සූදානම් වෙනවා. ජනාධිපතිවරණයක් අවශ්‍ය නම් සිංහලයන් කුපිත නොවිය යුතුයි. කොහොමටත් සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් රැක ගත යුතුයි. අන්තවාදීන් ගැන ආණ්ඩුව බලා ගන්න ඕන. ආණ්ඩුව එය කරන්නෙ නැහැ කියා අප නීතිය අතට ගන්න ඕන නැහැ.
බලධාරීන් නීතිය අතට ගන්නෙ නැති බව පාර්ලිමේන්තු තේරීම් කමිටුවෙන් පැහැදිලි වෙනවා. ආණ්ඩු දෙකක් තියෙන විට කිසිවකු නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැ. බලන්නෙ අනෙක් ආණ්ඩුවට අදින්නයි අප අන්දන්නයි පමණයි. අපි අඳින්නෙ ඇයි? අද ගෝඨාභය වෙනුවට ඉදිරිපත් කරන්නෙ කාවද කියන එක සාකච්ඡා වෙනවා. දේශපලනඥයන් අන්දන්නෙ ජනතාව පමණක් නොවෙයි. වෙනත් දේශපාලනඥයන්වත් අන්දනවා.
අද අපට අවශ්‍ය ඇඳගන්නන් හා අදින්නන් නො වෙයි. හෙට අනිද්දා මෝදි එනවා. ඔහු පැය කිහිපයකින් තමාට ඕන දේ කියාවි. අපට ඕන දකුණු ආසියාවෙ පාලකයා වෙන්න දඟලන මෝදිටත් නොනැමෙන මෝදිට ඕන විධියට නොඅඳින (මා කියන්නේ කබාය ගැන පමණක් නොවෙයි) රටට මුල් තැන දෙන අයෙක්.