ජාතිකත්වයේ අපේක්‍ෂකයා
අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් බද්‍යුද්දීන් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ බව ජනතාව කියන්නේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ. රතන හිමියන් සෑම විටක ම මෙන් මෙවර ද දේශපාලන වාසි සඳහා ප්‍රශ්නය දඩමීමා කරගන්න හදනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් උපවාසයට දිරි දෙන්න වැඩම කරලා. මේ හාමුදුරුවරු දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙච්ච හාමුදුරුවරු. එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බෞද්ධ සම්ප්‍රදායේ හාමුදුරුවරු පාලකයන් වෙන්න ගියේ නැහැ. උන්වහන්සේ පාලකයන්ට අනුශාසනා කළා, ඒ අතර ඇතැම් අවස්ථාවල පාලකයන් ද තැනුවා. එහෙත් පාලකයන් වුණේ නැහැ. රාජසභාවේ සාමාජිකයන් වහන්සේ වුණෙත් නැහැ.
අද ඔය අන්තවාදී මුස්ලිම් නායකයන් ඉවත් කිරීම වැදගත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ජ වි පෙරමුණේ අනුර රනිල්දාස කියා තිබුණා ඒ නායකයන් ඉවත් කළොත් මුස්ලිමුන්ට නායකයන් නැති වේවි කියා. අනුර රනිල්දාස සිංහලයන්ගෙ නායකයකු නො වෙයි. ඔහු රනිල් වෙනුවෙන් යම් යම් දේ විටින් විට කරන්නකු පමණයි. අනුර නැති වුණාට සිංහලයන්ට නායකයන් නැති වෙන්නේ නැහැ. තවම සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට ඉදිරිපත් වන නායකයකු නැති වීම නම් ප්‍රශ්නයක්. අපි එය යථාකාලයේ දී විසඳා ගන්නම්. පනස්හයේ බණාඩාරනායක මහතා මෙන් සිංහලයන් එකතු කරන නායකයකු දෙදහස් දහනවයේත් අවශ්‍යයි. ඒ කිසිසේත් ම ධම්මික පෙරේරාවත් කුමාර් සංගක්කරවත් (කුමා යනුවෙන් කියන වෙළෙන්දාවත්) නො වෙයි.
හිස්බුල්ලාලා නැති වුණාට මුස්ලිමුන්ට නායකයන් ඇති වේවි. ඒ අන්තවාදීන් ආරක්‍ෂා කරන්නන් නොව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි තම මුස්ලිම් අනන්‍යතාව රැක ගනිමින් ජීවත්වන සිංහල මුස්ලිමුන්ට නායකත්වය දෙන්නන්. බොහෝ කලකට පෙර කුමාරතුංග මුනිදාස මහතා සිංහල බෞද්ධ සිංහල හින්දු සිංහල මුස්ලිම් ආදීන් ගැන කිව්වා. එකල එය ප්‍රායෝගික නොවුවත් අද ඒ ප්‍රායෝගික වෙමින් පවතිනවා. අද කතෝලිකයන් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සිංහල කතෝලික වෙලා.
ජාතික හෙළ උරුමයට සම්බන්ධ අය එදා 2014 අග කීවේ රතන හිමියන් හා චම්පක ආණ්ඩුවේ සිටිනාතාක් සිංහලයන්ට බිය වීමට දෙයක් නැති බවයි. රතන හිමි මෑතක් වන තුරු ආණ්ඩුවේ වැඩ වාසය කළා. අදත් උන්වහන්සේ පවසන්නේ තමන්වහන්සේ ස්වාධීන කියා. මට නම් මතක් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි සුවාදීනයන්. ඒ කොහොම වෙතත් චම්පක රණවක තවමත් ආණ්ඩුවේ ඇමතියෙක්. ඉතින් රතන හිමියන් ඕමල්පේ හිමියන් ආදී හෙළ උරුමකරුවනට බය වෙන්න දෙයක් නැහැ.
මේ දේශපාලන උප්රවැට්ටි නොවෙයි අද අවශ්‍ය රනිල් ඉවත් කිරීමයි. දෙවැනි දොන් ජුවන් රට ම බටහිරයන්ට පාවා දෙන්න සූදානම්. ඔහු ඉවත් කිරීමෙන් පසුව මෛත්‍රිපාලටත් ගෞරවණිය සමුගැනීමක් දෙන්න පුළුවන්. රනිල් ඉවත් නොකර මෛත්‍රිපාල ඉවත් කළහොත් රනිල් යාවජීව ජනාධිපති වෙනවා. අද පළමුවෙන් රනිල් ඉවත් කරන්න ඕන. අපට අපේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙයින් කියන්නේ අසාද් සාලි හිස්බුල්ලා බද්‍යුද්දීන් අයින් නො කිරීම නොවෙයි. පළමු දෙදෙනා මෛත්‍රිපාලට අයින් කරන්න පුළුවන්. රතන හිමියන් ඒ බව නොදන්නවා නො වෙයි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයීය දේශපාලනයත් දන්නවා. බද්‍යුද්දීන් අයින් කිරීම රනිල් මත රඳා පවතිනවා.
මා හිතන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික මන්ත්‍රීන් පක්‍ෂ භේදයකින් තොරව එකතු වුණොත් බද්‍යුද්දීන්ට එරෙහිව ඇති විශ්වාස භංගය දිනවන්න පුළුවන්. සමහර විට ඔහු විවාදයට කලින් ඉල්ලා අස්වෙන්නත් පුළුවන්. ඒත් මේ එකකින්වත් මුසලිම් අන්තවාදය නවත්වන්න බැහැ. එය ජාත්‍යන්තර ප්‍රවණතාවක්. එහි පිටුපස බටහිරයන් සිටිනවා. එහෙත් අපට පුළුවන් වෙන්න ඕන මෙරට මුස්ලිමුන් අන්තවාදීන් බවට පත් වෙන එක වළක්වන්න.
අද රනිල් උත්සාහ ගන්නේ මුස්ලිම් අන්තවාදය මඩින මුවාවෙන් රට බටහිර හමුදාවන්ට හා අඩුම තරමෙන් ඔත්තු සේවාවන්ට විවෘත කරන්න. දෙවැනි දොන් ජුවන් පළමුවැනි දොන් ජුවන්ටත් වඩා සිංහලය පාවා දීමට උත්සාහ කරනවා. බටහිර ඔත්තු සේවාවන්ට මෙරට විවෘත කිරමෙන් සිදු වන්නේ බටහිර අවශ්‍යතාව ඉටු කිරීමක්. පාස්කු ප්‍රහාරයේ එක් අරමුණක් වූයේ ම බටහිරයන් මෙරට තහවුරු වීමට මගක් පාදා ගැනීම. බටහිරයන් රනිල් ලවා ඒ ඉටු කර ගන්න උත්සාහ කරනවා.
රනිල් පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ නොදන්වා බටහිරයන් සමග ගිවිසුම් අත්සන් කරනවා. ඔහු ප්‍රභාකරන් සමගත් ගිවිසුමක් අත්සන් කළා. එය ක්‍රියාත්මක නොවූයේ ප්‍රභාකරන් එය කඩ කළ නිසා. අද ජාතිකවාදී ජනාධිපතිධුරාපේක්‍ෂකයකු අවශ්‍යයි. ඔහු සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න ප්‍රතිඥා දෙන්න ඕන. එමෙන් ම රනිල් බටහිරයන් සමග අත්සන් කර ඇති රටට අහිතකර සියළු ගිවිසුම් අහෝසි කරන බවට සහතික වෙන්න ඕන. මෙ සියල්ල දළදා සමිඳුන් ඉදිරියේ කෙරිය යුතු ප්‍රකාශ හා දිය යුතු ප්‍රතිඥා. බටහිරයන්ට පැහැදිලි කර දෙන්න ඕන රනිල් හොරට අත්සන් කර ඇති ගිවිසුම් එකක්වත් වලංගු නැති බව.
අද මහජන මතයක් ඇති කිරීමට කටයුතු කළ යුත්තේ ඉහත සඳහන් කරුණු මතයි. පනස්හයේ දෙවැනි පියවර තබන්නට අප සූදානම් ද ?