Main Logo

Friday 26 March 2021

ඉංගිරිසි බලු ආදරය

 

ඉංගිරිසි බලු ආදරය

 

එංගලන්තය වගේ ම අනෙක් බටහිර රටවලුත් ඉන්දියාවත් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. එංගලන්තය හැම අවුරුද්දක ම තවත් රටවල් කිහිපයක් එකතු කරගෙන ඔය ජෙනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයෙ රැස්වීම්වල ලංකාවට විරුද්ධ ව යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව සම්මත වුණා කියල එයට කිසිම නෛතික වලංගුබවක් ලැබෙන්නෙ නැහැ. ඊශ්‍රායලයට විරුද්ධ ව මේ වන විට යෝජනා 150ක් පමණ සම්මත කර ගෙන තියෙනවා. ඊශ්‍රායලය ඒ යෝජනා සතපහකට ගණන් ගන්නෙ නැහැ.

 

අපි මේ කසිකබල් මණ්ඩලයක ඉංගිරිසි යටත්විජිතවාදීන් අපට එරෙහි ව ගෙනෙන කසිකබල් යෝජනාවක් ගැන මෙතරම් කලබල වෙන්නෙ මොන  එහෙකට ද කියල හිතෙන කොට කියන්න පුළුවන් අපේ අධ්‍යාපනයෙන් අප නිවටයන් කිරීම පමණයි. මෙරට කිසියම් උගත්කමක් ඇති අය මේ ජෙනීවා යෝජනා ගැන බයයි. රටට අපකීර්තියක් ගේනව කියල ඔවුන් යෝජනාව ගැන උනන්දුවක් දක්වනවා. ඉංගිරිසින් මේ යෝජනාවෙන් තමයි එංගලන්තයේ ඉන්න දෙමළ ජාතිවාදීන් තම පැත්තෙ තියා ගන්නෙ.

 

මෙරට බොහෝ උගතුන් එංගලන්තයෙ වරදක් දකින්න බයයි. ඔවුන් හිතන්නෙ ඉංගිරිසින් සර්වසාධාරණ පිරිසක් කියල. ඔවුන් හිතන්නෙ එංගලන්තයෙ ඉන්න දෙමළ ජාතිවාදීන් එහි පක්‍ෂවලට කරන බලපෑම නිසා ප්‍රධාන පක්‍ෂවලට විශේෂයෙන් ම ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වූ කම්කරු පක්‍ෂයට සිදු වෙනචා කියා ඒ බලපෑමට යට වී දෙමළ ජාතිවාදීන් කියන දේ කරන්න. එහෙත් වෙන්නෙ ඒකෙ නො වෙයි.

 

එංගලන්තෙ දෙමළ ජාතිවාදීන් කළමනාකරණය කෙරෙන්නෙ ඒ දේශපාලන පක්‍ෂවලින් හා රාජ්‍ය තන්ත්‍රය විසින්. ඒ දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධයනට විරුද්ධ ව යොදා ගැනෙනවා, එංගලන්තයෙ මේ ක්‍රියා මාර්ගය ගැන අප හිතන්නෙ නැහැ. අපට එහෙම හිතන්න බැහැ. අපට ලැබුණු ඉංගිරිසින්ගෙ තකතීරු අධ්‍යාපනයෙන්  අපට පුරුදු කරල තියෙන්නෙ ඉංගිරිසි නීතියෙ සාධාරණත්වය ආදිය ගැන හිතන්න විතරයි. අපි හිතන්නෙ ඉංගිරිසින් කිසිම දෙයක් දන්නෙ නැතිව සිංහලයන් විවේචනය කරනවා අපේ ආණ්ඩුව විවේචනය කරනව කියලා.

 

නේස්බි සාමිවරයා කියන දේ එංගලන්ත ආණ්ඩුව දන්නවා. එහි සාධාරණත්වය ද දන්නවා. එහෙත් එංගලන්ත ආණ්ඩුව වැඩ කරන්නෙ ඒ කිසිවක් නොදන්නවා වගේ. අප කොපමණ හොඳින් එංගලන්තෙ චෝදනාවලට පිළිතුරු දුන්නත් ඔවුන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන් සිංහලයන්ට විශේෂයෙන් සිංහල බෞද්ධයනට එරෙහි ව ඇති ආකල්පය වෙනස් කර ගන්නෙ නැහැ. මෙවර යෝජනාව සම්පූර්ණයෙන් ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට පටහැණී ව ගෙනෙන ලද්දක්. ඒ යෝජනාවෙ වැඩියෙන් තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණාට පස්සෙ ඊනියා සුළු ජන කොටස්වලට විරුද්ධව ගත්තා යැයි කියන ක්‍රියා මාර්ග ගැන.

 

රටක අභ්‍යන්තර දේශපාලනය ගැන මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට හරි එහි අනුබද්ධ ආයතනවලට හරි බැහැ. එහෙත් එංගලන්තය තවත් රටවල් කිහිපයක් හවුල් කරගෙන අපට විරුද්ධ ක්‍රියා මාර්ගය දිගට ම ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය තමන් අකමැති ආණ්ඩු හැකි නම් පෙරළා දාන්න. ඉන්දියාව එයට සහාය දෙනවා. ඉන්දියාවට අවශ්‍ය කවදා හරි ලංකාව ඔවුන්ගෙ ප්‍රාන්තයක් කර ගන්න. අද ඇසැමය කියා රටක් නැහැ. බූතානයක් නමට තියෙනවා. නේපාලයට බැහැ ඉන්දියාවට විරුද්ධ ව යන්න. ඉන්දියාවට දකුණු ආසියාවේ මෙල්ල කර ගන්න බැරි රට ලංකාව. නේරුලාගේ කාලයේ සිට ඉන්දියාවේ වෑයම අපේ ස්වාධීනත්වය නැති කිරීමයි. අද එය බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා.  මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රීියා කලාපය හොඳින් අධ්‍යයනය   කරන්න.

 

මේ අතර අර ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කිවු අය පාර්ලිමේන්තුවේ දී තප්පුලන්න පටන් අරන්. යහපාලන ආණ්ඩුව කාලෙ ජෙනීවාහි එක් යෝජනාවක්වත් ලංකාව පරාජය වුණෙ නැහැ කියල. ඇත්ත තමයි. මංගල සමරවීර ඒ කාලෙ එංගලන්ත යෝජනාවට අනුග්‍රහය දැක්වූයේ ලංකාවට විරුද්ධ ව ගිහින්.

 

ඉංගිරිසින් බල්ලන්ට ආදරෙයි. මා හිතන්නෙ වත්මන් බලු ආදරය ලෝකෙට පුරුදු කළෙ ඉංගිරිසින් කියල. තමන්ගෙ අණට කීකරු බල්ලන්ට ඉංගිරිසින් ආදරෙයි. එවැනි බලුකුක්කන් ඉංගිරිසින්ට අනුව ඔඩොක්කු කුක්කන්. ඉංජූ කිව්ව ම ස්වාමියා ළඟට යන්න බල්ලන් සූදානමින් සිටිනවා. ඉංගිරිසියෙන් ඉංජූ කියන්නෙ නැතිව ඇති. කමක් නැහැ මොනව කිවුවත් කුක්කා කුක්කමයි. ඉංගිරිසින් තමන් කී ඕනෑම දෙයක් නකුට වන වනා කළ බලු කුක්කන්ට විරුද්ධ ව යෝජනා ගෙන ඒවි ද?  ඔවුන් තප්පුලන්නේ තමන් කුක්කන් බව කීමටයි. එහෙත් මෙහි පරස්පරයක් තියෙන බව කිසිවකුට පෙනී යන්න පුළුවන්. කුක්කන් බුරනු මිස තප්පුලන්නේ නැතැයි කියන්න පුළුවන්. ඒහෙත් ඒ සිවුපාවුන් සම්බන්ධයෙන්.