ජෙනීවා ඡන්දය හා කිරිඇල්ල
ජෙනීවා විගඩම මාස හයකට කල් යනවා. ජෙනීවා ඡන්ද විමසීම්වල දී සිදු වී ඇති දේ විභාග කළත් පෙනේවි මේ යෝජනාවල අරමුණ මොකක් ද කියල. මේ විගඩම මුළුමනින් ම එංගලන්තයට ඕන විධියට හසුරවන එංගලන්තයේ ඊනියා සාක්‍ෂි මත තීරණය වන්නක්. මෙය එංගලන්තය විසින් වත්මන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය අප මත පටවනු ලැබීමක්. ඉංගිරිසියේ කතාවක් තියෙනව කෝල් අ ස්පේඩ් අ ස්පේඩ් කියා. එය අමු අමුවේ සිංහලට පරිවර්තනය කළොත් කියැවෙන්නේ ඉස්කෝප්පයකට ඉස්කෝප්පයක් කියා කියන කතාව.
සාමාන්‍ය සිංහලෙන් කිවුවොත් අපට කියන්න පුළුවන් තක්කඩියට තක්කඩිය
මිසක් වෙන දෙයක් කියන්න ඕන නැහැ කියල. එහෙම නැත්තන් මගේ මිතුරකු මතක් කරපු ආකාරයට
මූණට ම කියනව කියන එක. සිංහලයන් දැන් දැන් මූණට ම කියන්නෙ නැහැ. ඒකත් ඉංගිරිසි
ආභාසය නිසා. එංගලන්තය කියන්නෙ තක්කඩි අධිපතිවාදී රටක්. ඔවුන් කෙක්කෙන් හරි
කොක්කෙන් හරි තමන්ට ඕන වැඩේ කර ගන්නවා. මෙරට උගතුන් කවුරුත් පාහෙ අවසානයේ දී
ඉංගිරිසින්ගෙන් ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ අය. රාජකීය විද්‍යාලයට ගියත් ඈත පිටිසර
ගමක උසස් පෙළ පංතිවල ඉගෙන ගත්තත් මේ අධ්‍යාපනයෙ වෙනසක් නැහැ. ඔවුන් බොහෝ වෙලාවට මුණට ම කියන්නෙ නැහැ. ඒ අධ්‍යාපනයෙන්
කැඩුණු අයට තමයි මූණට ම කීමේ හැකියාව ඇත්තෙ.
අපි ඉස්සෙල්ල ම ජෙනීවාහි 2009 ඉඳන් 2021
දක්වා ඡන්දය දීල තියෙන හැටි සලකා බලමු. පහත සඳහන් වගුවෙන් එය දැක්වෙනවා.
2009 කියන්නෙ බොහෝ දෙනාට අමතක වුණත් වැදගත් වසරක්. ඒ තමයි නන්දිකඩාල්
වසර. අපි කොටි පරද්දපු වසර. ඒ අවුරුද්දෙ මුල වෙන්න ඕන ලංකාව පක්‍ෂව ඡන්ද 29ක් ලැබිල තියෙනවා. කවුරුත් දන්නව ඒ කාලෙ තිබුණෙ
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක්. එහි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ. මේ ඡන්දය දීපු
රටවල් ගැන විස්තරයක් කවුරුන් හරි දන්නව නම් ඉදිරිපත් කරන එක වැදගත්. ඒ 2009 දි අපට පක්‍ෂ ව ඡන්දය දුන්නෙ කවුද විරුද්ධ වුණෙ
කවුද ආදී වශයෙන්.
එක්සත් ජාතින්ගෙ ඊනියා මානව හිමිකම් මණ්ඩලයෙ සාමාජිකයන් ඉන්නෙ
හතළිස්හතයි. සාමාජිකත්වය වෙනස් වෙනවා. 2009 සාමාජිකයන් හැටියට හිටපු බොහෝ රටවල් අද සාමාජිකයන් නොවන්න පුළුවන්.
ඒකෙ ඒතරම් ම ප්‍රශ්නයක් නැහැ. හැමදාමත් යෝජනාව ගේන්නෙ එංගලන්තෙ අවශ්‍යතාවට.
යෝජනාවට අත්සන් කරන්න රටවල් ඇහිඳ ගන්නෙත් එංගලන්තය. අවශ්‍ය ම නම් එක්සත් රාජධානිය.
ඉන්දියාව දිගට ම ඔය මානව හිමිකම් මණ්ඩලයෙ සාමාජිකයකු ව ඉඳලා නැහැ. ඒත් ඉන්දියාව
තමන් සාමාජිකයකු ව සිටි වසරවල ඡන්දය දුන්නේ කොහොමද කියා කියන්න කාට හරි පුළුවන්
නම් ඒ වැදගත්. දෙමළ ජාතිවාදයෙ උදවුවෙන් අපට විරුද්ධ ප්‍රධාන රට එංගලන්තය. දෙවැනි
රට ඉන්දියාව.
2009 මැයි මාසෙ තමයි අපි එංගලන්තෙ අනුග්‍රහය හා ආශිර්වාදය ලබා සිංහල
බෞද්ධත්වයට එරෙහිව බටහිර රටවල හා ඉන්දියාවෙ ආයුධවලින් සටන් කරපු කොටි සංවිධානය
නන්දිකඩාල් කලපුවෙ දි ගිල්ලවනු ලැබුවෙ. ඒ සටන් පවතින කාලෙත් ඊනියා මානව
අයිතිවාසිකම් කතා අපට විරුද්ධ ව ගෙතුව.
ඒත් බටහිර කිසිවකු හිතුවෙ නැහැ කොටි පරදීවි කියල. 2005 වන විටත් කොටි පරදවන්න පුළුවන් පරදවන්න ඕන කියල කිවුවෙ කවුද?
එකල කුඩා දරුවන් ව සිට අද පණ්ඩිත කතා විශේෂයෙන්
ඉංගිරිසියෙන් ඇද බාණ බොහෝ දෙනකු කොටි පැරදවීමේ මතවාදී ඉතිහාසය දන්නෙ නැහැ. 1992 මුල ලක්මිණ පුවත්පතට ලියූ බොහෝ දෙනකු කොටින්ට
විරුද්ධව කරන සටන්වලට විරෝධය දැක්වූවා. අවසානයේ දී මට ලක්මිණ පත්‍රයෙන් ඉවත් වන්න
සිද වුණෙත් ඔවුන්ට විරුද්ධව සටන් මෙහෙයුම් වෙනුවෙන් පෙනී සිටි නිසා. මාත් ගෙවිඳු
කුමාරතුංගත් ලක්මිණෙන් ඉවත් කිරීමෙන් පසු පුවත්පත කරගෙන යන්නත් බැරි වුණා. අපට
විරුද්ධ ව සිටි අයගේ නම් ගම් පසු දවසක ඉදිරිපත් කරන්නම්. අදාළ ලැයිස්තුවේ පසුකාලීන
ව ඇමති ධුර දැරූ අය තුන්දෙනෙක් ඉන්නවා.
හමුදා මෙහෙයුම්වලට අමතර ව මතවාදී අරගලයක් තිබුණා. මා කියන්නේ නැහැ
මතවාදී අරගලය නිසා තමයි අවසානයේ දී ජයග්‍රහණය කළෙ කියල. ඒත් අද අමතක කරල තිබුණත්
මතවාදී අරගලය වැදගත් වුණා. එදා ජ වි පෙ සමග සිටි අය අද කොහේ හිටියත් අපට විරුද්ධ
වුණා, චම්පකගෙ ඊනියා දේශප්‍රේමියො ටිකත්
විරුද්ධ වුණා, එපමණක් නොව ආණ්ඩුවත් විරුද්ධ වුණා. මා
කියන්නෙ 2005 ආණ්ඩුව, ඊට කලින් තිබුණු ආණ්ඩු ගැන කියන්න ඕන නැහැ. අවසානයේ දී ආණ්ඩුව තීරණය
කළා දිගට ම හමුදා මෙහෙයුම් කරනවා කියා.
ඉන්දියාව අන්තිම මොහොතෙත් කොක්කක් ගැහුව. හමුදා මෙහෙයුම් ජයග්‍රහණය
කරන්න ඔන්න මෙන්න තිබිය දී ඉන්දියාව ප්‍රශ්නයට අත නොපෙවීමට නම් කොන්දේසි ඉදිරිපත්
කළා, 13+ එක් කොන්දේසියක්. ඉන්දියාව ඒ කෙළේ
කුපාඩි වැඩක්. ඉන්දියාව අහක බැලුවත් නැතත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කරනවා. මොකෝ
ඉන්දියාව මේ පැත්ත බැලුව කියල ලංකාවට හමුදා එවන්න ද?
සිංගප්පුරුව කලක් කිවුවෙ ලංකාවෙ වැරදිවලින් තමන් පාඩම් ඉගෙන ගත්තා
කියල. පහුගිය දා බංග්ලාදේශය කියල තිබුණෙ ලංකාවෙ වැරදිවලින් පාඩම් ඉගෙන චීනයේ ණය
උගුලට අහුවෙන්නෙ නැහැ කියල. ආසියාවෙ රටවල් අපෙන් ඉගෙන ගන්නෙ අප කරන වැරදි නොකර
සිටීම බවයි පේන්න තියෙන්නෙ. ඒත් අප පුරසාරම් දොඩන්නෙ අපට ඉතා ඉහළ උගතුන් පිරිසක්
ඉන්නවා කියා. ඔවුන්ගෙන් ඇහුවොත් කියාවි සියල්ලට වරදකරුවන් දේශපාලනඥයන් කියා. එහෙත්
පහුගිය දා ද පොල්තෙල් ප්‍රශ්නයේදීත් තවත් ප්‍රශ්නවලදීත් අප උගතුන්ගෙ තරම දැනගත්තා.
ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇති බව අප ඉන්දියාවෙ මුණට ම කියන්න ඕන.
එය අහෝසි වුණෙ ඉන්දියාවට ප්‍රභාකරන් නිරායුධ කරන්න බැරි වුණු දවසෙ. අප ඒ බව විටින්
විට කියා තිබුණත් මෙරට උගතුන් අප සලකන්නෙ මිථ්‍යා විශ්වාස පසුපස දුවන මුග්ධයන්
ලෙස. ඉන්දියාව දැන් ලංකාවට ඩොයිලි කෙනෙක් එවලා. අප පරෙස්සම් වෙන්න ඕන. කොහොමටත්
පහුගිය වසරවල ඉන්දියාව ජෙනීවාහි ඡන්දය දී ඇති ආකාරය හොයල බලන එක හොඳයි.
ඉහත කී වගුව අනුව 2009 දී
අප ඡන්දය දිනල. ඒත් හමුදා මෙහෙයුම්වලට පසුව 2012 දි අප පැරදිලා. එදා රටවල් 15ක් අපට පක්‍ෂවෙලා. ඒ පක්‍ෂ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙලා. මේ එකම
රටවල් නොවුණත් අපට පක්‍ෂ රටවල් සංඛ්‍යාව 15 සිට අද වන විට 11 දක්වා අඩුවෙලා. විරුද්ධ රටවල් 2012 පටන් අද වන විට 23 සිට 22 දක්වා අඩුවෙලා. අතරතුර 25ත්
වෙලා තියෙනවා. ඡන්දය දීමෙන් වැළකී සිටි
රටවල් සංඛ්‍යාව නම් ක්‍රමයෙන් 9 සිට 14 දක්වා වැඩි වෙලා. බොහෝ රටවල් පක්‍ෂත් නැති විරුද්ධත් නැති තත්වයකට
පත්වෙමින් ඉන්නවා.
මේ ඡන්ද රටා ජෙනීවාහි අප නියෝජිතයාගේ දක්‍ෂ අදක්‍ෂතාව මත රඳා
පවතින්නක් නො වෙයි. එය තීරණය වන්නේ එංගලන්තය හා ඉන්දියාව මතයි. අපට කරන්න තියෙන්නෙ
එංගලන්තයෙ හා ඉන්දියාවෙ තක්කඩිකම් අනෙක් රටවලට ඒත්තු ගැන්වෙන ආකාරයකට කීමයි. 2007 සිට 2009 ජූනි දක්වා ලංකාවෙ එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලයෙන් එංගලන්තයට
යැවූ වාර්තා එංගලන්තය හෙළි කරන්නේ නැත්තේ ඇයි? 2009 අප්‍රේල් දක්වා ලංකාවේ එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලෙ ආරක්‍ෂක
පරිවාර නිලධාරියා වූ ගෑෂ් යැවූ වාර්තා හෙළි කරන්නේ නැත්තේ ඇයි? ඒ වාර්තාවල හමුදා මෙහෙයුම්වලින් මියගිය අයගේ
සංඛ්‍යාව ගැන විස්තරයක් දැන ගන්න පුළුවන්. එය
වැඩිම වුණොත් 7000ක් වෙන්න පුළුවන්. 7000ක් වුණත් සමූලඝාතනයක් වෙන්නෙ එංගලන්තෙට විය
හැකියි. එංගලන්තෙ ලංකාවෙ පමණක් ඒ දවස්වල හත්ලක්‍ෂයකට වඩා ඝාතනය කර ඇති.
ඒ සියල්ල මැද අර කිරිඇල්ල කියන කතාත් මතක් කර ගන්න එක හොඳයි. ඒ
විනෝදෙට. ඔහු හා සජිත් අතර තියුණු තරගයක් පවතිනවා. ජයග්‍රහණය කරන තැනැත්තාට
හන්තානෙන් හරි සිංහරාජෙන් හර ඉඩම් අක්කර
කාලක් සහ පොල්තෙල් ලීටරයක් ලබා දෙන්න පුළුවන් ද කියල ආණ්ඩුවෙන් අහන්න ඕන.
කිරිඇල්ලට අනුව ඊනියා යහපාලන කාලෙදි ලංකාව ජෙනීවාහි පැරදිලා නැහැ. ඇත්ත නේන්නම්. කිරිඇල්ල
බොරු කියන්නෙ නැහැ.
ඒ සුන්දර යහපාලන කාලෙ මංගල එංගලන්තෙ ගෙනා යෝජනාවට සම අනුග්‍රහය දැක්
වූවා. එදා ලංකාව ම කිවුවා හමුදාව හා රජය මානව හිමිකම් කඩ කළා කියල. ඉතින් යෝජනාවට
ඡන්දෙ විමසන්නෙ අහවල් දේකට ද? යෝජනාව සම්මුතියෙන් සම්මතයි. අර වගුව බලන්න . යහපාලන කාලෙ ඡන්ද විමසල නැහැ.
ඡන්ද විමසන්නෙ නැතිව ආණ්ඩුව පරදින්නෙ කොහොම ද? ඒ දවස්වල සාමාන්‍ය පෙළ හරියට සමත්වෙන්න බැරි වුණු ශිෂ්‍යයන් ඉගෙන ගත්
උපකාරක පංති ඔය රාජකීය විදුහල හා කාන්තා විදුහල අතර පෙම්බ්‍රෝක් නම් ආයතනයේ
පැවැත්වුවා. පෙම්බ්‍රෝක් කියන්නෙ ප්‍රේමය කැඩුණ කියන එක නො වෙයි. පෙම්බ්‍රෝක් කියන්නෙ වේල්සයෙ නගරයක්. අදාළ
කෝරළය පෙම්බ්‍රෝක්ෂයර්. එහි පෙම්බ්‍රෝක් මාළිගාව තියෙනවා. ඒකෙ තමයි හත්වැනි හෙන්රි
ටියුඩර් ඉපදිල තියෙන්නෙ. ලංකාවෙ පෙම්බ්‍රෝක් ආයතනයත් මාළිගාව වගේ. හිත ගිය තැන
මාළිගාව කිවුවලු. සජිත් ලංකාවෙ හිටියෙ නැති හින්ද පෙම්බ්‍රෝක් යන්න බැරි වුණා. මා
හිතන්නෙ කිරිඇල්ලට නම් ඒ වාසනාව හිමිවුණා.
කිරිඇල්ලට පෙම්බ්‍රෝක්හි මොනව ඉගෙන ගන්න ලැබුණ ද දන්නෙ නැහැ. ඡන්ද
විමසන්නෙ නැතිව පාර්ලිමේන්තුවෙ පනත් සම්මත වෙනවා. සම්මුතියෙන් සම්මත වුණා ම
යෝජනාවෙ කියන දේ පිළිගැනෙනවා. යහපාලන කාලෙ ජෙනීවාහි යෝජනාවෙන් කියන දේ සම්මත වෙලා.
ඒ කියන්නෙ ලංකාව හා රණවිරුවන් මානව හිමිකම් කඩලා. යහපාලනෙ ඒක පිළිගෙන. යහපාලනෙ
පරදින්නෙ නැතුව ඇති. ඒත් ලංකාව හා රණවිරුවන් පැරදිලා. යහපාලනේ ලංකාව වෙනුවෙන් නොව
එංගලන්තෙ වෙනුවෙන් පෙනී ඉඳල ජයගෙන. හිපිප් හුරේ!