Main Logo

Tuesday 16 March 2021

අෂ්රොෆ් දේශපාලනය

 

අෂ්රොෆ් දේශපාලනය

 

අෂ්රොෆ් දැන සිටියා ඊනියා මුස්ලිම් කලාපයක් ලබා ගැනීම සිහිනයක් බව. ඔහු නැගෙනහිර පළාතේ ඉස්ලාම් භක්තිකයෙක්. ඔහුගේ භාර්යාව ෆේරියල් අෂ්රොෆ් ගම්පොළ තරමක් නාගරික ව හැදුණු වැඩුණු අයෙක්. මා කියවා තිබෙනවා අෂ්රොෆ්ට මුල දී ෆේරියල් එතරම් නිදහසකින් හැසිරෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නොහැකි වූ බව සඳහන් ලිපියක්. මා මෙයින් කීමට අදහස් කරන්නේ අෂ්රොෆ් මුස්ලිම් නායකත්වයේ කළ වෙනස ගැනයි.

 

එතෙක් මුස්ලිම් නායකයන් බිහිවුණේ කොළඹින්. ඔවුන් කොළඹ පාසල්වල ඉගෙනුම ලැබූ අය. බොහෝ විට මුස්ලිම් නොවන පාසල්වල ඉගෙනුම ලැබූ අය. කිහිප දෙනකු පමණක් සහිරා විද්‍යාලයේ ඉගෙන ගන්න ඇති. සිංහල මරික්කාර් වුවත් මහනුවර අසල කඩුගන්නාවේ. එහෙත් අෂ්රොෆ් නැගෙනහිර පළාතෙන් බිහි වූ අයෙක්. ඔහු යම් ආකාරයක සාම්ප්‍රදායික මුස්ලිම් නායකත්වයක් මුස්ලිම් ජනයාට ලබා දුන්නා.

 

ඉන්පසු බිහි වූ නායකයන් කොළඹින් බිහි වූවත් අෂ්රොෆ් සංස්කෘතිය බිඳ දමන්න නොහැකි වූවා. ෆේරියල් අෂ්රොෆ් මොන තරම් නාගරික වුවත් අෂ්රොෆ් අක්‍ෂය වටා කරකැවුණා. හකීම් රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පැරණි රාජකීය ආදි ශිෂ්‍ය මුස්ලිම් නායකයන්ගෙන් වෙනස් වුණා. රිෂාඩ් බද්‍යුද්දීන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් සිවිල් ඉංජිනේරුවෙක්. කාරියප්පර් නැගෙනහිර පළාතෙන් පැමිණ ඩී එස් සේනානායක විදුහලේ ඉගෙන ගත් අයෙක්. කාරියප්පර් වරක් මා සමග පැවසුවේ කාරියප්පර් කියන නම කාරිය කරවන නිල නාමයෙන් බිඳී ආ එකක් බව. කාරිය අප්පා (ප්‍රධාන) එකතු වී කාරියප්පර් හැදුණු බවයි ඔහුගෙ මතය වුණෙ.

 

මොවුන් කොහේ ඉගෙන ගත්තත් අෂ්රොෆ්ගෙ මුස්ලිම් ජාතිවාදයෙන් මිදෙන්න බැහැ. අද මේ පිරිස විවිධ කණ්ඩායම්වලට බෙදිල. එහෙත් ඔවුන් ඉන්නෙ අෂ්රොෆ්ගෙ කුඩේ යට. මොන තරම් බෙදී හිටියත් ඔවුන් තම ආගමික සංස්කෘතිය වෙනුවෙන් එකතු වෙනවා. මොවුන්ගෙන් ඇතැමුනට විදේශීය ආධාර ලැබෙනවා. හිස්බුල්ලාගේ නැගෙනහිර විශ්වවිද්‍යාලය ඔහුට දෙමව්පියන්ගෙන් ලැබුණු එකක් නො වෙයි. ඇතැම් විදේශීය මුස්ලිම් රටවලට අවශ්‍ය වෙනවා ලංකාව මුස්ලිම් කිරීමට.

 

අෂ්රොෆ් දේශපාලනය සංස්කෘතික වූවක්. මුස්ලිම් කලාපයක් ගැන කියෙවුවත් ඔහුට අවශ්‍ය වුණෙ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තියක්. එය මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් ලෙස හැඳින්වුවත් වරදක් නැහැ. ඒ සංස්කෘතික ව්‍යාප්තවාදයේ ලක්‍ෂණ හැම තැන ම දකින්න පුළුවන්.

 

ලංකාවේ ප්‍රධාන පාරවල් දිගේ මුස්ලිම් පල්ලි ඉදිවෙන්න පටන්ගත්තේ ජනගහණයට සමානුපාතික ව නො වෙයි. පිරිමින් මෙන් ම ගැහැණුන් ද සංස්කෘතික ව්‍යාප්තවාදය ඇඳුමෙන් පැලඳුමෙන් පෙන්නුවා. කලකට පෙර සිටි සාරිය ඇඳ සාරි පොටෙන් ඔළුව වසාගත් මුස්ලිම් කාන්තාවන් අද දකින්න නැහැ.

 

මුස්ලිම් ජාතිවාදය විකාශය වීමට බටහිර ආසියාවට ගිය තරුණ තරුණියන් ද බලපෑවා. ඔවුන් අරාබිකරයෙන් රැගෙන ආවේ ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයක්. සුපුරුදු පරිදි ඉංගිරිසින් වහාබ්වාදය යොදා ගත්තා. වහාබ්වාදය කවදා කෙසේ ඇතිවුණ ද අද එය මෙහෙයවනු ලබන්නේ ඉංගිරිසින් විසින්. ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයට නැගෙනහිර පළාත පුංචි අරාබියක් කිරීමෙ අවශ්‍යතාව තිබුණා. කාත්තන්කුඩිය පුංචි අරාබියේ ආදර්ශ නගරය වුණා. එහි රටඉඳි වැවුවා. අරාබි බසින් පාරවල නම් ලිවුවා. එහෙත් ඒ අතර ප්‍රහාරාත්මක මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ මුස්ලිමුන් ද කාත්තන්කුඩියේ ඉන්නවා. අප ඔවුන් සමග සම්බන්ධ නොවීම කණගාටුවට කරුණක්. අප ඩීල් දේශපාලනයේ එල්ලලා ඉන්නවා.

 

මේ අතර මුස්ලිමුන් දැනුවත් ව ජනගහන වර්ධන ව්‍යාපෘතියක ද යෙදී ඉන්නවා. සහාරාන් වැන්නන් මුල දි දෙමළ ජාතිවාදයට විරුද්ධ ව බිහිවුණේ. ඔවුන් කොටි සංවිධානයට විරුද්ධ වුණා. එහෙත් කොටි පරාද කිරීමෙන් පසු තත්වය වෙනස් වුණා. මුස්ලිමුන් වඩා බිය වුණෙ දෙමළ ජාතිවාදයටයි. ඔවුන් එකල සිංහලයන් සමග එකට සිටියා නම් ඒ දෙමළ ජාතිවාදයට හා ත්‍රස්තවාදයට එරෙහි ව. එහෙත් ඔවුන් සිංහලයන්ට තමයි වැඩි විරෝධයක් දැක්වූයේ. සමහර අවස්ථාවල දී ඔවුන් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදීන් සමග ඊනියා සාකච්ඡා මේසවල දී එකතු වුණා.

 

දෙමළ ජාතිවාදයට බිය වූ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වු මුස්ලිම් ජාතිවාදය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සිංහල විරෝධී ව්‍යාපාරයක් බවට පත්වෙලා. මුස්ලිම් ජාතිවාදය සමග වහාබ්වාදයත් ඉංගිරිසිනුත් ඇතැම් අරාබි රටවලුත් ඉන්නවා. මේ අතර සිංහල දේශපාලනඥයන් මුස්ලිමුන් අතර දේශපාලනය නොකර ඩීල් දේශපාලනයේ නිරත වුණා. අසත් සාලි වැන්නන් එහි ප්‍රතිඵලයක්. අද වන විට හකීම්ලා ද බද්‍යුද්දීන්ලා ද හිස්බුල්ලාලා ද ඩීල් දේශපාලනයෙන් වල ඉහ ගත්ත අය. (මතු සම්බන්ධයි)