අත්වැඩ පරවැඩ
ලෝවැඩ සඟරාවෙ කවි පොඩි කාලෙ පාඩම් කළත් හරියට පාඩම් හිටියෙ නැහැ. ඒත් ඒ කවිවල සමහර කොටස්, පද නම් හිතේ හිටියා. ඉන් එක පදයක් තමයි අත්වැඩ පරවැඩ සම ව සිතන්නේ කියන එක. ඒ කාලෙ ගමේ ඉස්කෝලෙට යන කාලෙ නිසා අත්වැඩ කියල වෙන ම පාඩමකුත් තිබුණා. ලණු අඹරන්න පාපිසි හදන්න එහෙම ඒකෙ ඉගැන්නුව. ලණු අඹරන වැඩේ මා ආසාවෙන් කළා. ලණු අඹරනවයි කිවුවට අනිත් මිනිසුන් අමාරුවෙ දාන්න නො වෙයි. කොහු ටික ටික තියල ලණුවක් අඹරන එකත් ඉන්පසු තවත් කෙනකු සමග එකතු වී ඒ ලණුවලින් පාපිසි ගොතන එකත් හොඳ අත්දැකීමක්.
ඒත් මෙතැන කියන්නෙ ඒ අත්වැඩ ගැන නො වෙයි. තමාගෙ
වැඩ කියන අරුතෙන්. පරවැඩ කියන්නෙ අනුන්ගෙ වැඩවලට. පරයා කියන්නෙ අනුන්ට ඊනියා
අනෙකාට වෙන්නත් පුළුවන්. අපට ඇත්තේ එක් අනෙකෙක් නො වෙයි. අපේ දෙමවුපියන් ද
අනෙකුන්. ඒත් අනෙකුන් ම නො වෙයි. කොහොම හරි පරයා කියන වචනයට පසුව වෙනත් තේරුම් ද
දී ඇති බව පැහැදිලියි. අපි තමන්ගෙ අය කියල කොටසක් හඳුන ගන්නවා. ඒ තම කුලය අය ම නො
වෙයි. ඒ අතර අනුන් ද ඉන්නවා. මේ අනුන් සමහර විට අපට අහිතකර වැඩ කරනවා. ඒ වැඩවල
විකාශයක් පරවැඩවල දකින්න පුළුවන්. පරයාට අනුන් ඉක්මවා යන අර්ථකථන ලැබෙන්නේ ඒ අනුව.
මෙහි තිබෙන හොඳ ම කතාව තමයි තමන්ගෙ කියන අයත් ඇතැම් විට පරයන් වීම. සිංහල භාෂාවත්
ඒ ඒ අතට නැවෙනවා. සිංහල භාෂාව සිංහලයන්ගෙ නිර්මාණයක් බව පැහැදිලියි.
ලෝවැඩ සඟරාවෙ කියන්නෙ ඒ පරවැඩ ගැනත් නො වෙයි.
තමන්ගෙ වැඩත් අනුන්ගෙ වැඩත් එක සමාන ව සලකන්න කියලයි කියන්නෙ. ඒක ඒ විධියට ම කරන්න පුළුවන් අය කරන අය කී
දෙනකු ඉන්නවා ද කියල මා දන්නෙ නැහැ. අනුන්ගෙ වැඩක් තමන්ගෙ ම වැඩක් වගේ කරන්න
පුළුවන් ද? අප අපේ වැඩවලට දෙන ප්‍රමුඛතාව අනුන්ගෙ වැඩවලට
දෙනවා ද? අනුන්ගෙ වැඩට ප්‍රමුඛතාවක් දීමේ දී නැත්නම්
අනුන්ගෙ වැඩක් තමන්ගෙ වැඩක් බවට පත් කර ගැනීමේ දී ආත්මාර්ථය යම් පමණකට හරි නැති කර
ගන්න ඕන. පරාර්ථය ඇති කර ගන්න ඕන.
ඒත් මේ සමාජයේ ඒව එහෙම ම වෙනව ද කියන එක නම් ප්‍රශ්නයක්.
අද දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාව වෙනුවෙන් ජනතාවගේ වැඩ කරන බවයි. ජනතාව තමන්ගෙ
හැටියට සලකල වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒත් තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී අර
කරන්න විතරක් නොවෙයි කියන්නත් අමාරු නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරනවා ද? අපට
තර්ක කරන්න පුළුවන් ජනතාවට වැඩ කරන්න බලය අවශ්‍යයයි. ඒ නිසා බලය ලබා ගැනීම ජනතාවට
සේවය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් කියල.
සුද්දන් නිකමට හරි පබ්ලික් සර්විස් කියල එකක්
හැඳින්නුව. ඒකෙ අරුත තමයි ජනතා (ප්‍රජා) සේවය කියන එක. පබ්ලික් කියන වචනයට
වෙනත් අර්ථකථනත් තියෙනවා. මා නිකමට මලලසේකර ශබ්ද කෝෂය බැලුව. ඒකෙ පබ්ලික් කියන එක
විශේෂණ පදයක් හැටියට යොදන විට පොදු, ප්‍රසිද්ධ, ප්‍රකට
කියන තේරුම් දී තිබෙනවා. නාම පදයක් හැටියට පොදු ප්‍රජාව කියල තියෙනවා. එංගලන්තයේ
පබ්ලික් ස්කූල් කියල පාසල් වර්ගයක් තියෙනවා. ඒව පොදු නම් නැහැ. සාමාන්‍ය
මිනිසුන්ගෙ දරුවන්ට ඒ පාසල්වලට යන්න බැහැ. ඒ අතර ලංකාවෙ තියෙනව පබ්ලික් ලැවට්රි
කියල ජාතියක්. ඒවට නම් යන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඒවට ප්‍රසිද්ධ වැසිකිළි කියල
කියනවා. ඒත් ප්‍රසිද්ධ පුද්ගලයන් යන්නෙ නැහැ.
අර සුද්දන්ගෙ (පර සුද්දන්ගෙ) පබ්ලික් සර්විස්
කියන එක සිංහලට පරිවර්තනය වෙලා තියෙන්න රාජ්‍ය සේවය හැටියට. ජනතා සේවය හරි පොදු ප්‍රජා සේවය හරි කියල නො වෙයි. ඒක නිසා
ද කොහෙද දේශපාලනඥයන් ජනතා සේවය භාරගෙන. ඒ කියන්නෙ රාජ්‍ය සේවයෙ මැති ඇමතිවරු ජනතා
සේවය කරනවා. පබ්ලික් සරවිස් කියන එකට බැඳෙන අය රාජ්‍ය සේවය කරනවා. ලංකාව ඔය
තත්වයෙන් හරි තියෙන එක ගැන පුදුම වෙන්න ඕන.
මාත් දැන් රාජ්‍ය සේවයේ කොණක ඉන්නවා. ඒ රාජ්‍ය
සේවය ම නොවෙයි. රාජ්‍ය සේවයේ වයස අවුරුදු හැටෙන් ගෙදර සේවයට යන්න ඕන. ගැහැණු උදවිය
නම් වෙන මොන සේවයෙ හිටියත් හැමදාමත් ගෙදර සේවයෙ. ගෘහිණිය කියන්නෙ ඒක නිසා වෙන්න ඇති. මට දැන් හැට පැනල
ටිකක් කල්. අර හාමුදුරුවරුත් අනුශාසනා කළෙ හැට පිරුණු අය තානාපති සේවයට යවන්න එපා
කියල. ඒත් මා රාජ්‍ය සේවයක් වූ තානාපති සේවයේ ඉන්නවා.
ජනතා සේවයේ අය ජනතාවගේ වැඩ තමන්ගෙ වැඩ බවට පත්
කරගෙන. ලෝවැඩ සඟරාවෙ තියෙන විධියට ම නම් නො වෙයි. ජනතාවට පාරක් කැපුව ම තමන්ටත්
කැපිල්ලක් එනවා. අර ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය කිවුව ම පොඩි ගාණක් ද කැපෙන්නෙ. එහෙම
තමයි ජනතා සේවය. රාජ්‍ය සේවයෙ අය ලවා ජනතා සේවයක් කර ගන්න අමාරුයි. මෙතැන තවත් ප්‍රශ්නයක්
තියෙනවා. සමහරු හිතන්නෙ රාජ්‍ය සේවය තියෙන්නෙ වැරදි කරුවන් නිවැරදි කරුවන් කරන්න
කියල. ඒ කොහොම වෙතත් රාජ්‍ය සේවයෙ සමහරු ජනතාවගෙ වැඩ තමන්ගෙ වැඩ බවට පත්කර ගන්නවා.
ඒකට අත මිට මොළවන්න ඕන. මා දන්න සමහර රටවල රාජ්‍ය සේවයෙ විනිසුරුවන් ඒ ක්‍රමයට
අනුන්ගෙ නඩු තමන්ගෙ නඩු කර ගන්නවා. හුණුවටයෙ කතාවෙ කියන්නෙ නීති කැඩුවෝ ඒ රැකීමට
කියල.
මා කියන්නෙ නැහැ රාජ්‍ය සේවයෙ හැමෝම එහෙමයි
කියල. සමහරු රාජ්‍ය සේවය පැත්තකින් තියල ජනතා සේවයේ යෙදෙනවා. පරවැඩ අත්වැඩ බවට පත්
කර ගන්නවා. ඒත් ඒවා ප්‍රසිද්ධ (පබ්ලික්) වෙන්නෙ නැහැ. සුද්දන් මේ පබ්ලික් කියන
වචනෙ පබ්ලික් නොකර හිටිය නම් කොච්චර හොඳ ද කියල හිතෙනවා. අපිට ලෝවැඩ සඟරාව කියව
ගෙන ඉන්න තිබුණා.