සමාජ පිළිගැනීම හා පාරම්පරික වෙදකම
පාරම්පරික වෙදකම නගා සිටුවීමට පාරම්පරික වෙදකම සඳහා වෙන ම වෛද්‍ය සභාවක් පිහිටුවිය යුතු බව අප කියන්නේ අද ඊයේ නො වේ. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. පාරම්පරික වෙද මහතුන්ට අද ලියා පදිංචි වීමට සිදු වී ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ. එක්තරා ආකාරයකින් ගතහොත් පාරම්පරික වෙදකම අද ඇත්තේ ආයුර්වේදය යටතේ.
පාරම්පරික වෙදකමේ ආයුර්වේදයේ නොමැති කරුණු ඇති
බව මගේ වැටහීමයි. මා ඒ වෙදකම් දෙකෙන් එකක්වත් හදාරා නැහැ. එහෙත් ඒ වෙදකම් දෙක ම
ගැන දැන සිටි වෙදමහත්වරුන්ගෙන් මා දැන ගත් කරුණු තියෙනවා. මෙහි දී රුහුණු වෙද මහතා
හෙවත් බොරුපන වෙද මහතා ප්‍රධාන වෙනවා. එතුමා කලක් රාජගිරියේ ආයුුර්වේ ද ආයතනයේ
කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කර තිබුණා. එතුමා මිය යන තුරු ම අවුරුදු ගණනාවක් අපේ පවුලේ වෙද මහතා වුණා.
පාරම්පරික වෙදකම ගැන ලියැවුණු පුස්කොළ පොත්
ඇතැම් වෙද පරම්පරාවල් සතුව තියෙනවා. ඒ පොත් පිටපත් කිරීමට වැඩ පිළිවෙළක් යෙදිය
යුතුයි. මගේ මතය නම් මේ දැනුම යම් කලක ආධ්‍යාත්මික ව ලබා ගත් එකක් කියන එක. ආධ්‍යාත්මික
ව යන්නට මා මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගැනීමත් මෙහි දී එකතු කරනවා.
ආයුර්වේදයේ වුණත් ආරම්භය සෘෂිවරුන් දක්වා දිව යනවා. සෘෂි කියන්නේ දැක්ක අයට.
ඔවුන්ට අනෙක් අයට නොපෙනෙන දේ පෙනුනා.
පාරම්පරික වෙදකම ඉගැන්වීමේ ක්‍රම තියෙනවා. ඒ
ආයුර්වේදය ඉගැන්වීමට වෙනස්. ආයුර්වේදයත් වේදයක්. නැත්නම් විද්‍යාවක්. එය බටහිර
විද්‍යාව නොවෙයි. ඕන නම් බටහිර විද්‍යාවට අපරාන්ත වේදය කියල කියන්න පුළුවන්.
ආයුර්වේදය අවසානයේ දී බ්‍රාහ්මණ සම්ප්‍රදායේ වැඩුණු එකක්. පාරම්පරික වෙදකම බ්‍රාහ්මණ
සම්ප්‍රදායේ නො වෙයි. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ගොඩ නැගුණ දැනුම් බටහිර දැනුම නොවූවත්
බටහිර සමග සසඳන්න පුළුවන්. අදත් ඉන්දියානුවන්ට බටහිර දැනුමෙහි යමක් සංස්කරණය
කිරීමේ හැකියාවක් තියෙනවා. සිංහලයන්ට ඒ හපන්කම එලෙස ම කරන්න බැහැ.
පාරම්පරික වෙදකමේ භූත වෙදකම්, කැඩුම්
බිඳුම් , පිලිස්සුම් වෙදකම් මෙන් ම ශාන්තිකර්ම ආදිය ද
තියෙනවා. පාරම්පරික වෛද්‍ය සභාව මේ සියල්ල
සඳහා විය යුතුයි. එමෙන් ම එහි ආකෘතිය බටහිර හරි ආයරවේද හරි වෛද්‍ය සභා ආකෘතිය ම
නොවිය යුතුයි. පාරම්පරික වෙදකම ඉගැන්වීම සඳහා විශ්වවිද්‍යාලයක් හරි විශ්වවිද්‍යාල
පීඨ හරි අවශ්‍ය කියා මා හිතන්නේ නැහැ. පාරම්පරික වෙදකම මූලික වශයෙන් ප්‍රාදේශීය
වෙන්න ඕන. මධ්‍යගත දැනුමක් තිබිය යුත්තේ සීමිතවයි.
පාරම්පරික වෛද්‍ය සභාව මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන්
දැනුම ලබා ගැනීමටත් ඉඩ දිය යුතුයි. දැනුම ලබා ගන්නා තැනැත්තාගේ ඊනියා ආධ්‍යාත්මික
පාරිශුද්ධභාවය ඉල්ලා සිටීම අත් හරින්න ඕන. එසේ දැනුම ලබා ගන්නන් යම් කිසි ක්‍රමයක්
මත හිඳිමින් දැනුම ලබා ගන්නවා විය යුතුයි. එහි එක් ක්‍රමයක් පමණක් ඇතැයි නොසිතිය
යුතුයි. අපේ ඇත්තේ විවිධත්වයයි. ඒ විවිධත්වය මධ්‍යගතයක් වූයේ රාෂ්ට්‍රපලනයෙහි
පමණයි. පරිපාලනය යන වචනය යෙදා ගන්නේ නම්
කිව යුත්තේ පරිපාලනය විමධ්‍යගත වූ බවයි.
අද බටහිර වෙදකම මධ්‍යගත වී එහි අවසානය කරා
ළඟාවෙමින් ඉන්නෙ. එහි කෙරෙන්නෙ රෝග කළමනාකරණය පමණයි. රෝගීන් සුව කිරීමක් එහි නැහැ.
පහුගිය දා අලුත් පාර්ලිමේන්තුවේ දී ජයසේකර වෙද මහතා කී ආකාරයට මැරෙණකන් බෙහෙත්
පෙති ගිලින්න වෙනව නම් සුව වීම කියන්නෙ මොකක් ද? ඒ මහතා නම් පාරම්පරික වෙද කමේත් සුව
වීමක් නැත යනුවෙන් කිවුවා. ඒ වෙනත් අර්ථයකින්. රෝගීන්ගේ සිරුරේ සමතුලිත බව නැවත
ඇති කිරීම ගැනයි එතුමා කතා කෙළේ. මා බොරුපන වෙද මහතාගෙන් ද අසා තිබුණු කරුණක් වූයේ
ආහාර යනු බෙහෙත් බවත් බෙහෙත් යනු ආහාර බවත් ය. එහෙත් මගේ මතය නම් මෙහි දී ආහාර
යනුවෙන් කියැවෙන්නේ එකල ගත් ආහාර මිස දැන් කන බොන සියළු කෑම බීම නොවන බවයි. දැන් මිනිසුන් කන ඇතැම් කෑමවලින් සිරුරේ සමතුලිත
බව නැති වෙන බව පැහැදිලියි.
පාරම්පරික වෛද්‍ය සභාවෙ ලියා පදිංචි වීම
පාරම්පරික වෙද මහතකු වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් නොවිය යුතුයි. අහවල් අහවල්
විභාග සමත් වී තිබීමත් අනිවාර්ය නොවිය යුතුයි. අවස්ථාව පරිදි ධම්මික වෙද මහතා වැනි
අයකුට වෙද මහතකු ලෙස කටයුතු කිරීමටත් පසුව අවශ්‍ය නම් ලියා පදිංචි වීමටත් ඉඩ
තියෙන්න ඕන. මිනිසුන් වෙද මහතුන් ළඟට යන්නේ ලියා පදිංචි ද නැත් ද කියා බලා නො
වෙයි. වෙද මහතුනට බටහිර වේවා ආයුර්වේද වේවා පාරම්පරික වේවා සමාජ පිළිගැනීමක් අවශ්‍ය
වෙනවා.
අපේ ක්‍රමයේ අහවල් විෂය ගැන කතා කිරීමට ඒ විෂයට
අදාළ විභාගවලින් සමත් වී තිබීම අනිවාර්ය නැහැ.
ඒ ඉඩ දීම නිසා තමයි කාලෝ ෆොන්සේකා වැනි කතෝලික බටහිර වෙද මහත්වරුන්ට ගණිතය
භෞතික විද්‍යාව දර්ශනය බුදුදහම නාට්‍ය සංගීතය නවකතා ආදී ඕනෑම දෙයක් ගැන කතා කරන්න
පුළුවන් වුනේ. ඔහු අහවල් විෂයට එකතු කළ දේ කුමක් ද කියා කිසිවකු අහන්නෙත්
නැහැ. කාලෝ ෆොන්සේකා උසස් පෙළ භෞතික විද්‍යාව
පමණක් නොව රසායන විද්‍යාවත් අසමත් ව තිබීම ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ධම්මික වෙද
මහතා සමත් විභාග ගැනත් අපි අහන්නෙ නැහැ. එහෙත් කාලෝ ෆොන්සේකාගෙන් ඔහු සමත් විෂය
කවරේදැයි නොඇසූ ඇතැම් බටහිර වෙද මහත්වරු ධම්මික වෙද මහතාගේ විභාග ගැන අහනවා. එහෙත්
කාලෝ කිසිම ප්‍රතිකාරයක් කිසිම ආකාරයකට හඳුන්වා දී නැති නමුත් ධම්මික වෙද මහතා
කිනම් ක්‍රමයකින් හරි ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබෙනවා.
අද තිබෙන මූලික ප්‍රශ්නය සමාජ පිළිගැනීමේ ඇති
අධිපතිවාදය නැති කිරීම. එය පාරම්පරික වෙද මහතුන්ගේ වෛද්‍ය සභාව පිහිටුවීම සමග යම්
ප්‍රමණයකට බැඳී තියෙනවා. ඒත් එහි ඊට එහා
යන කතාවක් තියෙනවා.