තානාපති බලාපොරොත්තුව
මේ ලිපි මුහුණු පොතේ මා නමින් ඇති පිටුවේ පළ වන නමුත් කලක සිට ඒ පළ කෙරෙන්නේ වෙනත් අය විසින්. මා ලිපිය ලියා ඔවුන්ට යැවීම පමණයි කරන්නේ. මට මුහුණු පොතට එළඹෙන්න බැහැ. ඔබ මට මුහුණු පොත මගින් එවන පණිවුඩ එකක්වත් මට නොලැබෙන බව මතක් කර ගන්නේ නම් හොඳයි. එමෙන් ම ඔබ දක්වන ප්‍රතිචාර ද මට කියවීමට ලැබෙන්නේ නැහැ.
මා ඉන්නා රටේ නම ගැන ම මට ප්‍රශ්නයක් තියෙනවා.
අප කියන්න පුරුදු වී සිටින්නේ මියන්මාරය කියා. මෙහි වැසියන් තම රටේ නම ශබ්ද කරන්නේ
මිය(න්මා) කියා. මා යන්න නාසික ශබ්දයක් ලෙසයි ඇසෙන්නේ. රටේ නම සමහරු ඉංගිරිසියෙන්
ලියන්නේ Myanma කියා මිස Myanmar කියා නොවෙයි. මේ ඉංගිරිසි r අකුර කෙසේ එකතු වූවා දැයි කියන්න දන්නේ නැහැ.
Car
bar ආදිය ඉංගිරිසියෙන් ලියන්නෙ ශබ්ද නොවන r අකුරක් සමගයි. ඒ අනුව r අකුරක් මියන්මා යන්නට එකතු වන්න ඇති කියල හිතනවා. සිංහල
මියන්මාරය යන්න ඒ ර ශබ්දය නිසා ඇති වූවක් වෙන්න පුළුවන්. ඒ ගැන සොයා බලන්න ඕන.
දැනට මා මියන්මා කියා ලියනවා.
අපි කුමාර් කියන වචනය Kumar කියා ලියා ඉන්පසු ඉංගිරිසියෙහි r ශබ්ද
නොවන බැවින් කුමා කියා ශබ්ද කරනවා. කුමා සංගක්කාර එයට උදාහරණයක්. එහෙත් සිංහලෙහි
හරි සංස්කෘතයෙහි හරි කුමා කියා නමක් නැති බවයි මගේ විශ්වාසය. කුමා යන්නෙහි තේරුම
කුමක් ද කියා අප දන්නේ නැහැ. එහෙත් කුමාර් යන්නට නම් නම් තේරුම් තියෙනවා. මියන්මා
යන්න මියන්මාර් වී මියන්මාරය වීම මෙහි අනෙක් පැත්ත ලෙසයි මට හිතෙන්නෙ. මා
වැරදිවෙන්න පුළුවන්.
ඒ කුමක් වුණත් මා මියන්මා දේශපාලනය ගැන කිසිවක්
කියන්නේ නැහැ. එසේ කීම වියනා සම්මුතියේ 41(1)
වගන්තියට පටහැණියි. මෙරට රාජ්‍ය සේවය ලංකාවේ රාජ්‍ය
සේවයට වඩා වෙනස්. ඒ ගැනත් මා කියන්නේ නැහැ. එහෙත් මට එකක් කියන්න පුළුවන්. ලෝකෙ
හැම තැන ම වගේ රාජ්‍ය සේවය කියන්නෙ ඉංගිරිසි රාජ්‍ය සේවය ඒ ඒ රටවල සංස්කෘතියෙහි ක්‍රියාත්මක
වන ආකාරය.
දැන් මගේ තානාපති රස්සාව ගැන වචනයක් දෙකක්
කියන්න ඕන. මගේ පත්වීම දේශපාලන පත්වීමක්. ලංකාවෙ රාජ්‍ය සේවයේ අය අවුරුදු හැටෙන්
විශ්‍රාම ගන්න ඕන. ඒත් මට දැන් හැට පහුවෙලත් අවුරුදු පහළොවකට වැඩියි. ඒ කියන්නෙ
හැටේ ඒව එකයි කාලකට වැඩියි. ඒත් හැටහුටාමාරක් නම් නොවෙයි. ඒ වුණත් මියන්මාහි මා
පිංපඩි ලබා ගැනීම නම් බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී තිබෙන බව පැහැදිලියි.
මාසයකට වරක් ජනාධිපතිතුමාට අනුශාසනා කිරීම සඳහා
මහා සඟ රුවන රැස්වු විටක විදේශ සේවා ව ගැන ප්‍රශ්න කෙරිල තියෙනවා. මහා සංඝයා
වහන්සේ අවවාද කර තියෙන්නෙ විශ්‍රාම ගිය අය තානාපති සේවයට පත් කිරීම නුසුදුසු ය
කියා. උන්වහන්සේ එසේ පවසා ඇත්තේ මා ගැන නොවන්න පුළුවන්. ඒත් උන්වහන්සේ වැඩි දුරටත්
අනුශාසනා කර ඇත්තේ තායිලන්තයේ හා මියන්මාහි තානාපති තනතුරු සඳහා දර්ශනයක් ඇති
සැදැහැවත් බෞද්ධයන් පත් කළ යුතු බව. මා බෞද්ධ දර්ශනය කියා එකක් ඇති බව නම්
පිළිගන්නෙ නැහැ. බුදුදහම ගැන නම් මා කතා කරනවා. මා හිතන්නෙ මට ශ්‍රද්ධාවකුත්
තියෙනවා කියල.
ජනාධිපතිතුමා මගෙන් මුලින් ම විමසුවෙ
ආණ්ඩුකාරයකු වෙන්න කැමති ද කියා. මා ඒ
ඉල්ලීම ගරු සරු ඇතිව ම ප්‍රතික්‍ෂෙප කළා. පසුව එතුමා මගෙන් ඇහුවා තානාපති සේවයට
කැමති ද කියා.මා කිව්වෙ මියන්මා හරි තායිලන්තය හරි ලැබෙනව නම් යන්නම් කියල. මට අවශ්‍ය වුණෙ ථෙරවාද රටවල් දෙකක් අතර වඩා
ශක්තිමත් සම්බන්ධකම් ගොඩ නගා ගන්න. මා
මියන්මා රටට ආවෙ එලෙසයි.
එහෙත් මට එතරම් දෙයක් නොවෙයි කිසිම දෙයක්
පහුගිය මාස දහයක පමණ කාලයෙහි කරන්න බැරි වුණු බව නම් ප්‍රකාශ කරන්න ඕන. මා බොහෝ දේ
සාකච්ඡා කරන්න ඇති. එහෙත් කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්තට ම මා කර ඇත්තෙ
පිිං පඩියක් ගැනීමයි. ඒ ගැන මට දොස් කියන අය ඉන්න බව මා දන්නවා. මගේ සේවා එකඟතාව
අවුරුදු දෙකකට.
මේ දිනවල ලංකාවෙ ධීවරයන් පිරිසක් මියන්මා නාවික
හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඉරවෙඩි ප්‍රදේශයේ පොලීසියක රඳවා තියෙනවා. ශ්‍රි
ලංකා තානාපති කාර්යාලයෙහි නිලධාරි මණ්ඩලය (හතර දෙනකු පමණයි) ඉතා ඕනෑ කමකින් මෙවැනි
කාර්යයන්හි දී මැදිහත් වෙනවා. ඔවුන් ඉතා කාර්යක්‍ෂමයි. ඔවුන්ගේ මැදිහත් වීම නිසා
අපට නිල නොවන වශයෙන් එකී ධීවරයන් සමග දුරකතනයෙන් සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා.
ඔවුන් අධිකරණය ඉදිරියට දැනට දෙවරක් ම පමුණුවා තියෙනවා. එහෙත් ඔවුන්ට විරුද්ධ ව ඇති
චෝදනා මොනවා දැයි අපට තවමත් දැන ගැනීමට බැරි වුණා. ඒ ගැන මා පෞද්ගලික ව
කණගාටුවෙනවා. ඔවුන්ගේ පවුල්වල උදවිය හා පොදුවේ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වෙන දේ
ඉටු කිරීමට මට නොහැකි වී තිබෙනවා. සමහරවිට ඒ මගේ අදක්‍ෂතාව වෙන්න ඇති. ඔවුන් යහපත්
සෞඛ්‍ය තත්වයකින් පසුවෙන බව නම් දැන
ගත්තා.
අප රටේ සාමාන්‍ය ජනතාව අතරත් විශේෂයෙන් ජනමාධ්‍යකරුවන්
අතරත් තානාපති සේවය ගැන තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. ඔවුන් බොහෝ දෙනකු හිතන්නෙ
තානාපති සේවය සුදු අලියකු කියලයි. මියන්මා රටට පැමිණීමෙන් පසු මට කකුල් හතරේ සුදු
අලින් නම් දැකගන්න ලැබුණා. මට මෙහි දී මතක් වෙන්නෙ දෙරණෙ කලිඳු කරුණාරත්න රාජ්‍ය
ඇමති තාරක බාලසූරියට කෙලින් ම කී දෙයක්. ඔහු කියා සිටියේ තානාපති කාර්යාලවලින් ඉටු
විය යුතු සේවය ඉටු නොවන බවක්. තාරක බාලසූරිය එය අනුමත කළා යැයි මට හිතෙනවා.
තානාපති සේවය ගැන මට කියන්න බොහෝ කරුණු
තියෙනවා. මේ සේවයෙන් ඉවත් වීමෙන් පසුව ඒ කියන්නම්. එහෙත් දැනට මට කියන්න තියෙන්නෙ
විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව වගේ ම තවත්
බලාපොරොත්තුවක් ඉටු නොවී ඇත යන්න පමණයි.