Main Logo

Saturday 27 March 2021

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි

 පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි


 

මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ ප්‍රකාශයක් කරල. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු පාස්කු ප්‍රහාරය ගැන කලින් නොදැන සිටි බවයි. රනිල් වික්‍රමසිංහත් සමහර විට කිසිවක් නොදැන සිටින්න ඇති. පාස්කු ප්‍රහාර කොමිසම ඔහු ගැන චෝදනාවක් කරල නැති බවයි කියන්නෙ. එක්කෝ පාස්කු ප්‍රහාරය ගැන රනිල් කලින් දැන සිටියේ නැහැ. නැත්නම් ඔහු ඒ ගැන දැන සිටි බවට කොමිසමට සාක්‍ෂි ඉදිරිපත් කෙරිල නැහැ.

                                                                 

වාර්තාව ගැන අතනින් මෙතනින් ඇහෙන දකින ප්‍රකාශ මත පදනම් වෙලා යමක් සටහන් කරන එක හරි නැතැයි කවුරු හරි කියන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාල සිරිසේන වැන්නන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ නිකම් ම අහක දාන්න බැහැ. නොදැනීම සම්බන්ධයෙන් රනිල් පාස්කු ප්‍රහාරයට වක්‍රව හරින වගකියන්න ඕන නැත්නම් මෛත්‍රිපාලත් වග කියන්න ඕන නැහැ. පාස්කු ප්‍රහාර කොමිසම රනිල්ට නැති චෝදනාවක් මෛත්‍රිපාලට කරන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.

 

මා හිතන්නේ මෛත්‍රිපාල රනිල්ට වඩා වරදක් කරල තියෙනව නම් ඒ රනිල් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට නොකැඳවීමෙන්. එය නිල ප්‍රශ්නයකට වඩා විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. රනිල් නිල වශයෙන් ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයකු වුණත් විශ්වාසය අනුව එහි සාමාජිකයකු වී නැහැ. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඊනියා යහපාලන ආණ්ඩුවේ බලවතුන් එකිනෙකා කෙරෙහි නොතිබූ විශ්වාසය. එමගින් ආණ්ඩුව අකර්මණ්‍ය වීම.

 

කාදිනල්තුමා මොන තරම් කිවුවත් සජිත් කාවින්ද හර්ෂ නඩය මොනව කිවුවත් ඔය පාස්කු කොමිසමට පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අය කවුදැයි දැන ගැනීමට බැහැ. අද සමාජය කියන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මොළ කාරයන් හඳුනාගන්නා ලෙස. මේ මොළ කාරයන් කියන්නෙ කාට ද? අර බුද්ධි ඵලය එකසිය කීයට ද වැඩි අය ද? එහෙමත් නැත්නම් උසස් පෙළ ඒ තුන ගත්ත අය ද?

 

දෙමළ ජාතිවාදය පිටුපස සිටියවුන් හා දැනටත් ඉන්නවුන් ගැන කාදිනල්තුමා හා වෙනත් අය අසන්නේ නැත්තේ ඇයි? එය තනිකර ප්‍රභාකරන්ගේ වැඩක් ද? කරෙයිවර් කුලය වෙල්ලාලයන්ට විරුද්ධ ව නැගිටීමක් ද? අද දෙමළ ජාතිවාදය නැවතත් වෙල්ලාලයන්ගේ නායකත්වයට යට වුණේ කෙසේ ද? සිංහල බෞද්ධ විරෝධී විවිධ රටවල් දෙමළ ජාතිවාදය මගින් සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර නුදුන්නේ ද? අදත් ජෙනීවාහි ලංකාවට විරුද්ධ ව ගෙනෙන යෝජනා පිටුපස ඉන්නේ ප්‍රබල ක්‍රිස්තියානි රටක් වූ එංගලන්තය නො වේ ද?

 

එංගලන්තය කතෝලික නොවන ක්‍රිස්තියානි රටක් වන නමුත් දෙමළ ජාතිවාදයට කෙනත් ප්‍රනාන්දු බිෂොප්තුමා පමණක් නොව කතෝලික පූජකවරුන් ද සහාය දුන්නා. කතෝලික සභාව ඒ ගැන කුමක් කෙළේ ද? වත්මන් කාදිනල්තුමා ද ඊනියා සාමය වෙනුවෙන් දෙමළ ජාතිවාදීන් හමුවන්නට නො ගියේ ද? මා මේ කරුණු සඳහන් කරන්නේ ඊනියා මොළ කාරයන් හඳුනා ගැනීම දේශපාලන ක්‍රියාවක් බව පෙන්වීමට. එය හුදු කොමිසම් මගින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

 

එහෙත් කවුරුන් පිටුපස සිටියත් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වග කිව යුත්තේ ඊනියා යහපාලන ආණ්ඩුවයි. ඒ නොදැන සිටීම සම්බන්ධයෙන් නොවෙයි. ඊනියා යහපාලනයෙහි ජනාධිපති, අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු පමණක් නොව එයට සහාය දුන් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් පක්‍ෂවල මන්ත්‍රීවරුනුත් එයට වග කියන්න ඕන. ඒ ජඩපාලන ආණ්ඩුවේ අකරමණ්‍යබව, සිංහල බෞද්ධ විරෝධය, ජාතිකත්වය විරුද්ධව ජාත්‍යන්තර ක්‍රිස්තියානි බලවේග සමග අත්වැල් බැඳ ගැනීම, ජාතියට හා රණවිරුවන්ට එරෙහි ව ජෙනීවා හි එංගලන්තය ගෙනා යෝජනාවට අවමංගල අනුග්‍රහය ආදිය නිසා. රණවිරුවන් අගෞරවයට පත් කිරීම ජඩපාලනයේ එක් අරමුණක්.

 

ඒ ආණ්ඩුව වහා වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය 2018 ඔක්තෝම්බරයේ සිදු වුණා. ඒ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුයේ බටහිර තානාපති කාර්යාලවල විරුද්ධතාව මැද. ආණ්ඩු වෙනස කෙළේ මෛත්‍රිපාල. ඒ හේතුව නිසා අපට ඔහු පාස්කු ප්‍රහාර වග කීමෙන් නිදහස් කරන්න පුළුවන්. එමෙන් ම මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු නොකළ අය, ඒ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාස භංග යෝජනා ගෙනා අය, කෙටියෙන් කිවුවොත් නැවතත් ජඩපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමට සෘජුව හරි වක්‍රව හරි දින පනස්දෙකේ ආණ්ඩුවට විශ්වාසභංග යෝජනා ගෙනා අය, කෙටියෙන් කිවුවොත් නැවතත් ජඩපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමට සෘජුව හරි වක්‍රව හරි ක්‍රියා කළ අය පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

 

2018 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව දිගට ම ගෙන ගියා නම් බුද්ධි අංශ නැවතත් ක්‍රියාකාරී වී ජාතිකත්වයක් සහිත ව ප්‍රශ්න දිහා බලා කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. ආණ්ඩුවක් ඇතුළෙ විවිධ මතවාද තියෙන්න පුළුවන්. ඒහෙත් දේශපාලන ඉලක්ක දෙකක් තියෙන්න බැහැ. සිරිසේන අවාසනාවන්ත ලෙස 2014 දී විවිධ හේතු  නිසා ශ්‍රී ල නි ප හැර ගියත් ඔහුටත් රනිල්ටත් තිබුණේ න්‍යාය පත්‍ර දෙකක්. මේ න්‍යාය පත්‍ර දෙක නිසා නිලධාරීන් ද බෙදිලා, ආණ්ඩුව අකර්මණ්‍ය වෙලා තිබුණෙ. ඒ අකර්මණ්‍ය ආණ්ඩුව 2018 ඔක්තෝම්බරයේ පළවා හැර තිබිය දී නැවතත් ඒ පිහිටුවා ගත් සියල්ලන් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

 

එදා ඊනියා යහපාලනයේ හිටි අය අද අහනවා පාස්කු ප්‍රහාරය පිටුපස සිටියවුන් කවුද කියා. අප ඒ කවුද කියාත් කියා ඇති. එහෙත් අපි පළමුව පිටුපස සිටි අය නොව අකර්මණ්‍ය වීම නිසා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු පිරිස හඳුනා ගනිමු. අද ඒ පිරිස මේ ආණ්ඩුව දෙසට ඇඟිලි දික්කරන්නේ හොරා වෙනත් අයට හොරා කියන්නාක් මෙන්. ඒ යහපාලන නඩයෙන් මා ශ්‍රී ල නි ප කණ්ඩායම වගකීමෙන් නිිදහස් කරනවා. ඒ අන් කිසිවක් නිසා නොව ජඩපාලනය වෙනස් කිරීමට ඔවුන් 2018 ඔක්තෝම්බරයේ වෙහෙසක් දැරූ බැවින්.