Main Logo

Friday 12 March 2021

නිවට කම නැති කර ගන්නේ කොහොමද?

 

නිවට කම නැති කර ගන්නේ කොහොමද?

 

අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි ඉතිහාසයක සිංහලයන් මෙතරම් නිවටයන් වූ අවධියක් සිතා ගන්න බැහැ. අපට විවිධ විජාතික ආක්‍රමණ තිබුණා. ඒ සෑම අවස්ථාවක දී ම කිහිප දෙනකු ආක්‍රමණිකයාගේ පැත්ත ගත් නමුත් අප නිවටයන් වුණේ නැහැ. ආක්‍රමණිකයන් වහසි බස් කියන්න ඇති. එහෙත් අප ඒවාට නිසි පිළිතුරු දෙන්න ඇති.

 

සිංහලයන්ගේ කොඳු නාරටිය කඩා දමනු ලැබුයේ පළමුව ඉංගිරිසි අධ්‍යාපනය විසින්. විශේෂයෙන් ම ඉංගිරිසි මාධ්‍යයෙන් දෙනු ලැබූ ඉංගිිරිසි අධ්‍යාපනයෙන්. අර විශ්වවිද්‍යාල ආයතනයේ දී , ලන්ඩන් උපාධි කඩයේ දී, පෙරදිග අධ්‍යයන පීඨයේ ශාස්ත්‍ර හැදෑරූ සිසුන් හරමානිස්ලා ලෙස හඳුන්වනු ලැබූ අධ්‍යාපනයෙන්. ඒ සිසුන් ද අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් වීම අමතක නොකළ යුතුයි. සිංහල මාධ්‍යයෙන් දෙනු ලැබූ ඉංගිරිසි අධ්‍යාපනය එක්  පංතියකින් ඔබ්බට ගියේ නැහැ. කාලයක් එය අවසානය ලෙස සැලකුණා. තවත් කාලයක් ජ්‍යෙෂ්ඨ පංතිය වුණා. පසුව එය සාමාන්‍ය පෙළ ලෙස හැඳින්වුණා. ඒ පංතිය දක්වා ද ලැබෙන අධ්‍යාපනය ඉංගිරිසි නමුත් අර භයානක සංකල්පීය දැනුම එතරම් ලැබෙන්නේ නැහැ. උසස් පෙළ යනු අපේ අධ්‍යාපනයෙහි මාරකයයි.

 

උසස් පෙළ පංතිවල දී මොන ධාරාවෙන්  ඉගෙන ගත්තත් බටහිර සංකල්ප ප්‍රවාද අනුව ලෝකය බලන්න උගන්නවා. එහෙත්  මෙහි දී හිතන්න පුරුදු කරන්නේ නැහැ. හිතන්න කියන එකෙන් අදහස් කරන්නේ සංකල්පීය ව නිරවුල් ව විවේචනාත්මක ව ප්‍රවාද හෙවත් බටහිර කතන්දර ඉගෙන ගන්න කතන්දර ගොතන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට බටහිර සංකල්ප හා ප්‍රවාද විවාදයකින් තොරව ඉගෙන ගන්න සලස්වනවා. බටහිර දැනුම ඊනියා විද්‍යාත්මක තර්කානුකූල පමණක් නොව විශ්වාස කළ යුතු දැනුමක් ලෙස කියා දෙනව.  එමෙන් ම බටහිර දැනුම නොවූ දැනුමක් නැත කියන එකත් ඉගෙනීමට සලස්වනවා. ඒ සියල්ල දැනුම් නොව මිථ්‍යා ගණයට දානවා. එවිට ඉතිරි වන්නේ එක් දැනුම් පද්ධතියක් පමණක් බව අපට කියා දෙනවා. මෙරට බොහෝ දෙනකු හිතා ඉන්නේ ඇත්තේ එක් දැනුම් පද්ධතියක් පමණක් බවයි.  

 

දෙවනුව ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන්. අද අප දේශපාලන පක්‍ෂවලින් මෙහෙයවෙනවා. මා ඊයේ අසත්සාලි ගැන ලියූ ලිපියේ ඒ ගැන සඳහන් කළා. අපට දේශපාලන පක්‍ෂවලින් පිට දේශපාලනයක් නැහැ. අද රටේ ජාතිකත්වයක් මුළුමනින් ම ඇති දේශපාලන පක්‍ෂයක් නැහැ. එසේ තිබියදීත් සිංහලයන් පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ් දී අති විශාල බහුතරයක් තම ඡන්දයෙන් පමණක් ජනාධිපතිවරයකු තෝරා ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට කිට්ටු මන්ත්‍රී සංඛ්‍යාවක් පොදුජන සංධානයට (මතක තබා ගන්න පෙරමුණට නො වෙයි) ලබා දුන්නා. ඒ සිංහලයන්ගේ නැති වී ගිය අයිතිවාසිකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

 

එහෙත් මේ පක්‍ෂ දේශපාලනයේ ජරාජීර්ණභාවය නිසා සිංහලයන් අද අනාථ වෙලා තියෙනවා. නිවටයන් වෙලා තියෙනවා. එයට හේතුව ඇතැම් නිවට සිංහලයන්ට දේශපාලනයට හැසිරවීමට හැකි කම ලැබීම. කිසිම ජාතිකත්වයක් නැති දේශපාලනඥයන්ට මේ ක්‍රමය යටතේ උඩට ඇවිත් සිංහලයන් නිවටයන් කිරීමේ හැකියාව ලැබෙනවා. අද අසත්සාලිලා සිංහලයන්ට පාරම්බාන්නේ මේ කිසිම ජාතිකත්වයක් නැති දේශපාලනඥයන් දේශපාලනයෙහි වැජඹෙන බැවින්.

 

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිංහලයන් ලොකු වරදක් කළා. ඒ පොදුජන සංධානයට තුනෙන් දෙකක ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා දීම. එසේ වේ යැයි මගේ හිතේ බයක් ද තිබුණා. පොදුජන සංධානය ජයග්‍රහණය කරල තුනෙන් දෙකට ඈතින් හිටිය නම් ප්‍රශ්නයක් නැහැ. එවිට ඩීල් දේශපාලනඥයන්ට ඉඩක් නැහැ. එහෙත් තුනෙන් දෙකට ආසන්න වුණා ම ඩීල් දේශපාලනඥයන්ට තුනෙන් දෙක හදා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. අද සිදු වී ඇත්තේ එයයි. අද ඩීල් දේශපාලනය නිසා මුස්ලිම් මන්ත්‍රීවරුන් තමයි පාර්ලිමේන්තුවේ බලය හසුරවන්නේ.

 

මුස්ලිම් දේශපාලනඥයන් ඒ බව දන්නවා. ඔවුන් සිංහලයන්ට තම බලපරාක්‍රමය පෙන්නනවා.  අසත්සාලි කරන්නේ එයයි. ඔවුන් දන්නවා විස්ස සම්මත කර ගත් හැටි. හකීම් බද්‍යුද්දීන් නායකයන් විස්සට විරුද්ධ වෙද්දී පක්‍ෂවල අනෙක් මන්ත්‍රීවරුන් විස්සට ඡන්දය දුන්නා. ඒ ගැන විනය පරීක්‍ෂණ  නැහැ.හකීම් කියා  තිබුණා සමාව ගන්න කියා. ගත්ත ද කියල දන්නෙ නැහැ. ඩීල් දේශපාලනඥයන් හිතනවා ද අපි ඊයේ පෙරේදා යළි ඉපදිලා (බෝන් අගේන්) කියලා.

 

මේ පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවාට හරි ව්‍යවස්ථාව සංශෝධනය කරනවාට හරි මා කැමති නැහැ. ඒ බව මා මැතිවරණයට කලිනුත් කියල ඇති. රොමේෂ් සිල්වා කමිටුව මොන නිර්දේශ ඉදිරිපත් කළත් අවසානයේ දී සම්මත වන්නේ මුස්ලිමුන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක්. තුනෙන් දෙක ගන්න මුස්ලිම් ඡන්ද ඕන. ඒ ඡන්ද ගන්න මොනවද දෙන්නෙ. කිසිම ජාතිකත්වයක් නැති ඩීල් දේශපාලනඥයන් අනාගතයේ දී බලය ලබා ගැනීමට මුස්ලිම් මන්ත්‍රීන් ඉල්ලන බොහෝ දේවල් දේවි.

 

මා පාස්කු කොමිසමේ වාර්තාව කියවා නැහැ. ප්‍රහාරයේ සැලසුම්කරුවන් හොයන්න කියන එක මෝඩ වැඩක්. එය කොමිසමකට කරන්න බැහැ.  දෙමළ ත්‍රස්තවාදයේ සැලසුම් කරුවන් කවුද? එංගලන්තය ද ඉන්දියාව ද? පාස්කු ප්‍රහාරයේ සැලසුම් කරුවන් කවුද? බෝන් අගේන් ආගමිකයන් හැරෙන්නට තවත් අය ඉන්නවා ද? අහන්න තියෙන වාර්තා අනුව පාස්කු ප්‍රහාරයට මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

 

කොමිසම් වාර්තාව යම්කිසි ඩීල් දේශපාලනඥයකුට අවශ්‍ය අන්දමට ලියැවුණා ද? අපි දන්නෙ නැහැ. කොමිසම් වාර්තාව හා විස්ස අතර සම්බන්ධයක් තියෙනවා ද? අපි දන්නෙ නැහැ.  නව ව්‍යවස්ථාව කොයි වගේ වේවි ද? අපි දන්නෙ නැහැ. එහෙත් අපි දන්නවා ජනාධිපතිතුමාගෙ කකුලෙන් ඇදීම් සමහර අවසථාවල සිදුවෙන බව. ජනාධිපතිතුමාට ජාතිකත්වය වෙනුවෙන් අවශ්‍ය පරිදි වැඩ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? අපි දන්නෙ නැහැ. අපි මොකක්ද කරන්න ඕන.  නිවටකම නැති කර ගත හැක්කේ කොහොමද?   සජිත්ල හරි චම්පකල හරි ජාතිකත්වයක් නැති අයකු හරි පත්කර ගැනීමෙන් නම් නො වෙයි. නිවටයන් පහ කරන්න පුළුවන් ද?