Main Logo

Monday 29 March 2021

කෝ මේ භූදේශපාලන යථාර්ථය

 

කෝ මේ භූදේශපාලන යථාර්ථය

 

දී කිරට බළල්ලුත් සාක්කි කිවුවලු. පළාත් සභාවලට පක්‍ෂ ව පළාත් සභා මන්ත්‍රීන් ඉදිරිපත් වෙලා. පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල පළාත් සභා වෙනුවෙන් මහා විදග්ධ තර්ක ගෙනැල්ල. ජනමාධ්‍යවේදීන් ඊටත් වඩා විදග්ධ නිසා ඒ සාකච්ඡාවට හොඳ ප්‍රසිද්ධියකුත් දීල. අප මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ ම එන්නෙ මාධ්‍ය ආයතන කිහිපයක් පමණයි. වරක් එසේ පැමිණි එක් මාධ්‍ය ආයතනයක් කැමරා අටවන්නෙවත් නැතිව ආපහු ගියා. කැමරා අටවන අයත් ආයතනයට ගියාට පස්සෙ ඔවුනටත් වඩා විදග්ධ ප්‍රවෘත්ති සංස්කරණය කරන අය අපේ අවියත් කතා ප්‍රචාරය කරන්නෙ නැහැ.

 

මෑතක දි ඔවුන්ට අවශ්‍ය වුණා මා තානාපති කමෙන් අස්වුණා ද කියල දැන ගන්න. ඔවුන් හිතුවෙ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන මා තානාපති කමෙන් අස්වෙලා කියල. ඒ නිසා ඔවුන් මට මියන්මා රටට ම කතා කළා. හදිසියෙ මා වියත් වුණා. ඒත් ඔවුන්ගෙ බලාපොරොත්තු සුන් වුණා. අන්තිමේ දී සිරසක් නැති ආයතනයක් පුවත් සිරස් යටතේ තානාපතිකමෙන් අස්වීම ගැන කියල  ඒ සම්බන්ධ කිසිවක් ප්‍රවෘත්ති ප්‍රකාශනයෙ නොකියා හිටියා. ඔවුන්ගෙ ප්‍රවෘත්තිවල කොහොමටත් මදයක් නැහැ.

 

පළාත් සභා දෙමළ ජනයාගෙ ප්‍රශ්නවලට දෙන විසඳුමක් කියල කියනවා. ඒත් ඔය මන්ත්‍රී සංසදය ප්‍රශ්න මොනවද කියල කිව්වෙ නැහැ. සංසදයෙ  සමහරුනට නම් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලි වුණා. ඒ රස්සාවක් හොයා ගැනීමේ ප්‍රශ්නය. බොහෝ දේශපාලනඥයන් කිසිම රස්සාවක් කරන්නෙ නැහැ. ජනමාධ්‍යවේදීන් නම් මොකක් හරි දෙයක් රස්සාවක් හැටියට කරනවා. අති පණ්ඩිත ලීලාවෙන් මත ප්‍රකාශ කරනවා. ලංකාවෙ තානාපති කාර්යාලවලින් වැඩක් වෙන්නෙ නැහැ කියනවා. හෙට අනිද්දා අර මියන්මා ධීවර ප්‍රශ්නය ඇදල ගන්න ඉඩ තියෙනවා. මා අසමත් බව කියාවි. එහෙමත් නැත්නම් පිං පඩි ගන්නවා කියාවි. ඔවුන් ප්‍රශ්න අහන්නෙ මත ප්‍රකාශ කරන්නෙ ජනතාව වෙනුවෙන්. දේශපාලනඥයනුත් එහෙමයි.

 

මට නම් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක් පමණයි. මා වියුක්ත සංකල්ප ගණන් ගන්නෙ නැහැ. අර ගුරුත්වාකර්ෂණය වගේ තමයි. ඒ කියල මා ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවකින් පනින්නෙ නැහැ. කළු කුහරවල ගුරුත්වාකර්ෂණ නැහැ කිවුවොත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් හා පළාත් සභා සංසදයෙ මන්ත්‍රීවරුන් මොක ද කියන්නෙ. කළු කුහර කියන්නෙ අනන්ත ඝනත්වයක් ඇති ගෝලාකාර කබොළ ද? අර පුවත් විකාශය වගේ ඇතුළෙ මදයක් නැති ලෙල්ලක් විතර ද?

 

ඒ මොකක් වුණත් පළාත් සභා මන්ත්‍රී සංසදයෙ උදවිය ඔය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ටික අපට තේරෙන භාෂාවෙන් කියල දෙනව නම් හොඳයි. පළාත් සභා ක්‍රියාත්මක කළාම ඒ ප්‍රශ්න වාෂ්ප වෙලා යනවා ද? තමන්ගෙ රස්සා ප්‍රශ්නය විසඳෙනවා ද? බොහෝ  දේශපාලනඥයන් දන්නව නොව රස්සාවක් නැතිව ජීවත් වෙන හැටි. අර ජ වි පෙ හාදයන්ට නම් සලකන්න මිත්‍ර සහෝදරයන් ඉන්නවා. කමිස අරන් දෙන්න කලිසම් අරන් දෙන්න විතරක් නෙවෙයි ඒවයෙ බොත්තන් දාන්නත් සහෝදරයන් සෑදි පෑදි ඉන්නවා. නාවන ගමන් දත් මද්දවන්නත් සෙනග ඇති.

 

දැන් ඔය දෙමළ ජනයා බහුතරය ඉන්නෙ කොහෙ ද? සමහර විට එංගලන්තයෙ වෙන්න පුළුවන්. එහෙ දෙමළ ජනයාට ඔය කියන ප්‍රශ්න නැත් ද? එලිසබෙත් නෝනා දෙමළ දන්නව ඇති. චාල්ස් නම් නොදන්න දෙයක් නැහැ. ඩයනා නැති එක පාඩුවක්. හැරී මාළිගාවෙන් හැරී ගියේ මොක ද? ඩයනා හිටිය නම් අහගන්න තිබුණා. චාල්ස්ට පාකර් බෝල්ස් ඉන්නවා. බෝල් පොයින්ට් එන්න ඉස්සර අපිත් ලිවුවෙ පාකර් තීන්තවලින්.  ඒ මොකක් වුණත් එංගලන්තෙ එහෙ ඉන්න දෙමළ ජනයාට හොඳට සලකනවා. ඒක නේ එංගලන්තෙට අමුතුවෙන් පළාත් සභා ඕන නැත්තෙ. සිංහල බෞද්ධයන්ට පහර දෙන්න ජෙනීවා යවන්න වෙස්ට්මිනිස්ටර් එහෙම නැත්නම් ඩවුනිං වීදියෙ අංක දහයෙ නිවස පැත්තෙ සිංහල බෞද්ධයනට විරුද්ධ ව උද්ඝෝෂණ කරවන්න එංගලන්තෙට දෙමළ ජනයා අවශ්‍ය වෙනවා.

 

ලංකාවෙ නම් දෙමළ ජනයා වැඩිපුර ඉන්නෙ උතුරු නැගෙනහිර පළාත්වලින් පිට. දැන් ඔය පළාත් සභා ක්‍රියාත්මක කළා ම ඒ අනෙක් පළාත්වල ඉන්න දෙමළ ජනයාගෙ ඔය තියෙනවා කියන ප්‍රශ්න විසඳන්නෙ කොහොම ද? ඔය සංසදයෙ උන්නැහැල අපට කියල දෙනවා ද? ඒ අයට ප්‍රශ්නයක් නැද්ද? ඉන්දියාවෙ නම් දෙමළ ජනයාගෙන් අති විශාල බහුතරය ඉන්නෙ තමිල් නාඩුවෙ. ඒ වගේ ම තමිල්නාඩුවෙ ජනතාවගෙන් අති විශාල බහුතරය දෙමළ. ලංකාවෙ එහෙම නැහැ. උතුරයි නැගෙනහිරයි එකට ගත්ත ම එහි දෙමළ ජනයාගේ ප්‍රතිශතය කීය ද කියල කවුරු හරි දත්ත විශ්ලේෂකයෙක් අපට කියල දෙනවා ද? ඒ එක්ක ම කියනවා ද ලංකාවෙ දෙමළ ජනයාගෙන් ඒ පළාත්වල ඉන්න ප්‍රතිශතය. සංසදයෙ මහත්තුරුත් දත්ත වලට කැමතියි.

 

එක් සංසද සාමාජිකයෙක් කියල තිබුණ දෙමළ ජනයාගෙ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස පළාත් සභා දුන්නෙ නැත්නම් නැවතත් කොටි ත්‍රස්තවාදයක් ඇති වෙයි කියල. ඔන්න බබෝ බිල්ලො එනවා ගිහින් නිදාගන්න වගේ කියමනක්. අපට බිල්ලන් පෙන්නන්න ඒ මන්ත්‍රීට බැහැ. අසූවෙ අවසාන කාලෙ නම් ගෝනි බිල්ලො හිටියා. රනිල්දාසල යටත්විජිත හේරත්ල ඒ ගැන හොඳින් දන්නවා. නැවතත් කොටි ත්‍රස්තවාදයක් ඇති වෙන්න අර ඊනියා භූදේශපාලන යථාර්ථය නැහැ. ඒක සමහර විට සංසද මන්ත්‍රී කෙනකුගෙ ඇඳ යට තියෙන්න පුළුවන්. පොඩ්ඩක් නැවිල හොයනවා ද? හම්බ වුණොත් තව මාධ්‍ය සාකච්ඡාවක් තියල අපට කියනවා ද?