Main Logo

Tuesday 23 March 2021

එංගලන්තය හා භර්යාවට පහර දීම

 

එංගලන්තය හා භර්යාවට පහර දීම

 

එක්තරා ඉංජිනේරු මහාචාර්යවරයෙක් කියා තිබුණා ලංකාවට විරුද්ධව ජෙනීවාහී මානව අයිතිවාසිකම් කමිටුවේ යෝජනා ගෙන එන රටවල මානව අයිතිවාසිකම් කඩකිරීම් හොයන එක වැඩකට නැති වැඩක් කියල. ඔහු  මා හිතන්නෙ අවුරුදු හැටක් පමණ මාක්ස්වාදියකුව හිටිය අයෙක්. ඔහුගෙ සම්භවය දෙමළ ක්‍රිස්තියානි. ඇහුවොත් කියාවි ඔහුට ආගමක් නැහැ වගේ කතා.

 

ඒ කුමක් වුවත් ඔහුගෙ තර්කය වුණෙ යම් ගෙදරක ස්වාමි පුරුෂයා භාර්යාවට පහර දෙන විට අල්ලපු ගෙදර අය ඇවිත් ඒකට මැදිහත්වෙලා නවත්වනව නම් ඒ අල්ලපු ගෙදර අය භාර්යාවට පහර දෙන අයකු ද යන්න වැදගත් නොවන බව. අවශ්‍ය වන්නේ දැන් පහර දීම නවත්වන එක කියල.

 

මෙතන ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. ලංකාවෙ සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් ඊනියා සුළු ජනවර්ගවලට පහර දෙනව ද කියන එක. එංගලන්තය වගේ රටවල් ලංකාවට විරුද්ධව චෝදනා ගෙනෙන්නෙ හුදු මානව භක්තියෙන් ම ද කියන එක. එංගලන්තය හිතනවා ද අනේ පවු සිංහලයන් මුස්ලිමුන්ට දෙමල ජනයාට විරුද්ධව ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් කඩ කරනව කියල.

 

පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයන් කරපු වැඩක් නො වෙයි. එයින් මිය ගියෙ වැඩියෙන් ම කතෝලිකයන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි බැතිමතුන්. ප්‍රහාරයට සහභාගි වෙලා තියෙන්නෙ මුස්ලිමුන්. එහි දී සහරාන්ගෙ නම වැඩියෙන් කියැවෙනවා. ඒ වගේ ම කෙලින් ම නැතත් බද්‍යුද්දීන් අසත් සාලි ආදීන්ගේ නම් කියැවෙනවා. ඒ මුස්ලිමුන් පිටුපස ඉන්නෙ කවුද කියල කාදිනල්තුමා අහනවා. කාදිනල්තුමා අද අහන ප්‍රශ්න එදත් ඇහුව නම්..

 

කොහොමත් ලෝකයේ සභ්‍යත්ව ගැටුමක් තියෙනවා. එංගලන්තය කියන්නෙ කතෝලික රටක් නො වෙයි. එය ක්‍රිස්තියානි රටක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. එය කතෝලික ආධිපත්‍යයෙන් මිදුණෙ අටවැනි ගෙන්රි එංගලන්ත රජුගෙ කාලෙදි. පාප් වහන්සේට අද එහි බලපෑමක් කරන්න බැහැ. කොහොමත් පාප් වහන්සේ තමයි ලෝකය ඉස්සෙල්ල ම පෘතුගීසීන්ට හා ස්පාඤ්ඥයන්ට වෙන් කරල දුන්නෙ. ඒ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ආරම්භයෙ සිද්ධ වෙච්ච දේ. පාප් වහන්සේ තමන් නෙදැනුවත්ව ම තමන්ගෙ ආධිපත්‍යය නැති වෙන තැනට කටයුතු කර ගත්තා. පස්සෙ කාලෙක ලන්දේසීන් ඉංගිරිසින් ප්‍රංශයන් පෘතුගීසීන් ස්පාඤ්ඤයන් ලෝකය බෙදා ගත්තා. පාප් වහන්සේ වතිකානුවට කොටු වුණා.

 

ඔය රටවල් කිහිපය ලෝකයේ මානව අයිතිවාසිකම් රැක්කෙ නැහැ. පස්සෙ කාලෙක දී ඇමරිකාව නමින් හැඳින්වෙන එක්සත් රාජ්‍යයත් වැඩේට බැස්ස. මෙතන තියෙන්නෙ ගෙදර භාර්යාවට පහර දීමේ ප්‍රශ්නයක් නො වෙයි. තනිකර දේශපාලන ප්‍රශ්නයක්. කාට හරි කියන්න පුළුවන් භාර්යාවට පහර දීමත් දේශපාලන ප්‍රශ්නයක් කියල. එයත් ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක් තමයි. එහෙත් ජාතීන් අතර තියෙන්නෙ පෞද්ගලික ආධිපත්‍යයක් පිළිබඳ ප්‍රශ්නයකට වඩා සංස්කෘතීන් සභ්‍යත්ව අතරෙ තියෙන ප්‍රශ්නයක්.

 

ලංකාවෙ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නෙ මුල ම ඇත්තෙ එංගලන්තය හා යම් තරමකට නෙදර්ලන්තය. එහෙමත් නැත්නම් ඕලන්දය. ලංකාවට දෙමළ ජනකොටස් ගෙනාවෙ බටහිරයන්. ඔවුන් තමයි දහහතර වැනි සියවසේ සිට මෙහි සිටි මුස්ලිමුන් සිංහලයනට විරුද්ධව යොදා ගන්නෙ. අර මහාචාර්යවරයාගෙ උපමාවෙන් ම කිවුවොත් ස්වාමියාට විරුද්ධව භාර්යාව මෙහෙයවන්නෙ බටහිරයන්. භාර්යාවක් එවලා ස්වාමියාට විරුද්ධ ව භාර්යාව මෙහෙයවලා සටනක් ආරම්භ කරල ඒ සටන නිවන්න කියල බටහිරයන් ලංකාවට දුවගෙන එනවා. ඒ අතර ඔවුන් තමන්ගෙ ගෙදර භාර්යාවට පහර දෙනවා. කළු මිනිසුන් ඒ රටවල ජීවිත ගෙවන්නෙ මෙහෙම මානව අයිතිවාසිකම් වෙන කොහෙවත් තියෙනවා ද කියල සටන්පාඨ කියමින් නො වෙයි.

 

ක්‍රිස්තියානි ලෝකය අපට විරුද්ධව මුස්ලිමුන් යොදා ගන්නවා. අපට මුස්ලිම් රටවල් ක්‍රිස්තියානි රටවලට විරුද්ධව  යොදා ගන්න පුළුවන් නම් වරදක් නැහැ. බටහිර රටවල් ඇතැම් මුස්ලිම් රටවල් ද තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගන්නා බව රහසක් නො වෙයි. අද විශේෂයෙන් එංගලන්තයට හා පොදුවේ බටහිරට තියෙන ප්‍රශ්නය ඔවුන් එවූ භාර්යාව හරහා මෙහෙයවූ සටන පරාජය වීම. එය එසේ මෙසේ පරාජයක් නො වෙයි. ලංකාව වගේ රටක් විසි එක්වැනි සියවසේ එංගලන්තය පැරදවීම එංගලන්තයට ඉවසා දරාගත හැක්කක් නො වෙයි. එංගලන්තය ඉදිරියේදීත් රටවල් කිහිපයක් හවුල් කරගෙන ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරාවි. අද යෝජනාව එංගලන්තය දිනලා. ඒකට කමක් නැහැ. ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකිලා. එංගලන්තයට තවමත් ලෝක ආධිපත්‍යයක් තියෙනවා. ඔවුන් දන්නවා ආධිපත්‍යය පවත්වාගෙන යන හැටි ඊනියා ජාත්‍යන්තර සම්මේලනවල.