Main Logo

Thursday 25 March 2021

ජෙනීවා විගඩම කල් යයි

ජෙනීවා විගඩම කල් යයි

 

ජෙනීවා විගඩම නැවතත් හයමාසෙකට කල් යනවා. ආයෙත් සැප්තැම්බරයෙ දි තමයි විගඩම කළ එළි බහින්නෙ. විගඩම කියන එක දෙමළ වචනයක් සිංහලට අවශෝෂණය කර ගැනීමෙන් ලැබෙන්නක්. දෙමළ වචනයේ තේරුම මොකක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහල විකට යන්න සමග බැඳිල තියෙනව ද කියල දන්නෙත් නැහැ. එහෙම වුණත් විගඩම කියන්නෙ විකට කියන එකට එහා ගියා අප්‍රසන්න ප්‍රදර්ශනයක්. අප සිංහල සමාජයේ කියන්නේ මේ මොන විගඩමක් ද කියා. 

 

නාඩගමත් එහෙමයි. ඒකත් දෙමළ ආභාසයෙන් ලැබුණු වචනයක්. නාටක නාඩගම අතර තියෙන්නෙත් විකට විගඩම අතර ඇති සම්බන්ධය වගේ දෙයක් කියා හිතෙනවා. අප නච්ච ගීීත ආදියෙන් වැළකී සිටියේ අටසිල් සමාදන් වුණා ම. එත් පන්සිල් සමාදම් වුණත් නාඩගම් විගඩම් ප්‍රතික්‍ෂෙප කළා. මනමේ සිංහබාහු ජනප්‍රිය වුණත් එදිරිවීර සරච්චන්ද්‍ර කොපමණ උත්සාහ කළත් ඒ ශෛලිය ඉදිරියට ගියේ නැහැ. මනමේ සිංහබාහු ජනප්‍රිය වුණෙ ගීීත නිසා වෙන්න පුළුවන්. අපට කරන්න තිබුණෙ ගීත නාටක නිෂ්පාදනය කිරීම කියල හිතෙනවා. දයානන්ද ගුණවර්ධනට ඒ හැකියාව තිබුණා.

 

ඒ කොහොම වුණත් ජෙනීවා නාඩගමට තාවකාලික ව  තිරය වැහිලා. ලංකාවට පක්‍ෂව ඡන්ද එකොළහක් ලැබිලා. රුසියාව චීනය වැනි රටවලට අමතර ව පකිස්තානයත් බංග්ලාදේශයත් අපට පක්‍ෂ වෙලා. මා හිතන්නෙ එය මහින්ද රාජපක්‍ෂ දේශපාලනය නිසා සිදු වූවක්. එය මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණයක්. ඒත් ඉන්දියාව නේපාලය මැද හිටගෙන. ජපානයත් එහෙමයි. පිලිපීනය අපට පක්‍ෂ ව ඡන්දය දීල. මේ ඡන්ද එක් රටාවකට ලැබෙන නොලැබෙන දේ. මෙහි දී ඉන්දීය චීන දේශපාලන අර්බුදයත් වැදගත් වෙනවා.

 

අපට හතුරු ප්‍රධාන ම රට එංගලන්තය. දෙවැනියට ප්‍රධාන ඉන්දියාව. ඉන්දියාවෙ ද්‍රෝහිත්වය නැවතත් ප්‍රදර්ශනය වෙලා. එංගලන්තයට පුළුවන් වෙලා තියෙනවා එරිත්‍රිියාව හා සෝමාලියාව හැරෙන්න අනෙක් අප්‍රිකානු රටවල් තම පැත්තට නම්ම ගන්න. ඒ රටවල් අද ශීඝ්‍රයෙන් ක්‍රිස්තියානි වේගෙන යනවා. අවුරුදු විස්සකට පමණ පෙර අප මලාවියේ මාස හයක් පමණ හිටියා. මලාවිය ඔය එංගලන්ත යෝජනාවට අත්සන් කළ එක රටක්. එකල අප දුටුවා මලාවිය ක්‍රිස්තියානි වන හැටි. මලාවි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයෙහි යෙදුණු කථිකාචාර්යවරියක හිටියා. ඔවුන් ඉතා ඕනෑකමින් කැපවීමෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදුණා. ඔවුන් බොහොම කැපවීමෙන් ඒ කාර්යය දෙවියන් වහන්සේ වෙනුවෙන් කළා. පිටරට යන බෞද්ධ ධර්ම ප්‍රචාරකයන් වගේ නො වෙයි. 

 

නේස්බි සාමිවරයාට එංගලන්තයේ ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. එතුමාට ප්‍රචාරය ලැබෙන්නේ ලංකාවේ. එතුමා අද එංගලන්තයට දොස් කියා තිබුණා. එංගලන්තය අසත්‍යය ප්‍රචාරය කරන අතර සත්‍යය යට ගහනවා කියා. එංගලන්තය කියන්නේ අසික්කිත කුහක කුඩුකේඩු අධිපතිවාදී  රටක්. එහි හොඳ මිනිසුන් ඉන්නවා. එහෙත් රටක් හැටියට ඔවුන්ට අවශ්‍ය ලෝකය තම අණසක යටතේ පවත්වාගෙන යන්න. ඔවුන් එය නම් කාර්යක්‍ෂම ව කරනවා. ගෑෂ් වාර්තාව ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තාව ආදිය යට ගැහීම එංගලන්තයට ඉතා සුළු දෙයක්.

 

අපේ නිවට උගතුන් තවමත් හිතනවා එංගලන්තය කරුණු පැහැදිලි කරල දුන්නොත් එරට අපේ පැත්තට හරව ගන්න පුළුවන් කියල. ඔය කරුණු කියන්නෙ ඉංගිරිසියෙන් ෆැක්ට්ස් කියන ඒවට. නැත්නම් සිංහල පාරිභාෂික වචනයෙන් කියනව නම් පරිසිද්ධිවලට. ඉංගිරිසි අධ්‍යාපනයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි ලබපු අපේ නිවට උගතුන්ට ඉංගිරිසින් කියල දීල තියෙන්නෙ පරිසිද්ධි පූජනීය  (facts are sacred) කියල. ඒ කතාවට කියන්න තියෙන්නෙ බම්බුව තමයි කියල.

 

සුද්දන් පරිසිද්ධි පූජනීය කියල කියන්නෙ ඒවා වාස්තවික කියල උගන්නලා. ඇති වාස්තවිකත්වයක් නැහැ. ඔය පරිසිද්ධිත් මිනිසුන්ගෙ නිර්මාණ. පරිසිද්ධි කියන්නෙත් මිනිසුන් අපවිත්‍ර කළ දේට. ඔය ජෙනීවා විගඩමට එංගලන්තය ඉදිරිපත් කරන පරිසිද්ධි එකක් නැර ඔවුන් අපවිත්‍ර කළ ඒවා.  ඕනෑම පරිසිද්ධියක් සාපේක්‍ෂයි. ජෙනීවා හි එංගලන්තය ඉදිරිපත් කරන්නෙ ඔවුන්ගෙ වාසියට.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් රටක් ඉලක්ක කරමින් චෝදනා ඉදිරිපත් කරන්න බැහැ. ලංකාවට විරුද්ධ ව ඉදිරිපත් කර ඇති චෝදනා මොනවා ද? බටහිරයන් මුස්ලිමුන් කෙරෙහි කරුණාවක් දක්වන්න පටන් ගත්තේ කවදා ඉඳන් ද? පකිස්තානයට හා බංග්ලාදේශයට නැති කැක්කුමක් බටහිරයන්ට මුස්ලිමුන් වෙනුවෙන් ඇති වන්නේ කෙසේ ද? අපට විරුද්ධ ව ඡන්දය දුන් නෙදර්ලන්තය මුස්ලිමුන්ට සලකන්නේ කෙසේ ද?

 

එංගලන්තය මේ එකක්වත් කරන්නේ නොදැන නොවෙයි. ඔවුන්ට මෙරට දෙමළ ජනයා ගැනවත් මුස්ලිමුන් ගැනවත් විශේෂ කරුණාවක් කැක්කුමක් නැහැ. බටහිර රටවල් පලස්තීනයේ අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද? බටහිරයන් ඊශ්‍රායලයේ යුදෙවුවන් පදිංචි කිරීමට ක්‍රියා කෙළේ ලංකාවේ යුදෙවුවන් පදිංචි කිරීමට ගත් තැත වැරදී ගිය පසුවයි. බැරි වෙලාවත් ලංකාවේ යුදෙවුවන් පදිංචි කර තිබිණි නම් බලා ගන්න තිබුණා අද වන විට බටහිරයන් ලංකාවෙ මුස්ලිමුන් වෙනුවෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය. (මතු සම්බන්ධයි)