මා අසමත්
ජාතික වශයෙන් කිසිම වැදගත්කමක් නැති කතාවකට ප්‍රවෘත්තිමය වැදගත්කමක් දීමට හැකි බව මගේ අස්වීමේ කතාවෙන් පැහැදිලි වෙනවා. මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ වැඩ භාරගෙන සති දෙකකින් පමණ. මා මියන්මා රටට පැමිණියේ ථෙරවාද රටවල් අතර සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට. එහෙත් එය කළ නොහැකි බව සති දෙකකින් ම වැටහුණා. එහෙත් මා හිතුවා වෙනත් දෙයින් සේවයක් කිරීමට. තානාපතිකම ලිපි ගොනු අතර හිරවීමකට වැඩි දෙයක් නො වෙයි. නිර්මාණශීලීත්වයක් ඇති අයට එය එසේ නොවනවා වෙන්න පුළුවන්. එහෙත් මට එවැනි දක්‍ෂතාවක් නැහැ. දැන් මා මියන්මා දේශයට පැමිණ මාස දහයක් වෙනවා. මගේ තීරණය ප්‍රකාශ කිරීමට ආසන්න හේතු වූයේ ධීවරයන්ගේ ප්‍රශ්නය. එයට ටික කලකට කලින් මහා සඟ රුවන ජනාධිපතිතුමාට ප්‍රකාශ කර තිබුණා විශ්‍රාම ගිය අය තානාපති ධූරවලට පත් නොකළ යුතු බවත් මියන්මාහි හා තායිලන්තයේ තානාපති ධුර සඳහා බෞද්ධ දර්ශනය ගැන වැටහීමක් ඇති සැදැහැවතුන් පත් කළ යුතු බවත්.
තායිලන්තයේ ලංකා තානාපතිනියන් ගැන මා දන්නේ
නැහැ. එහෙත් මියන්මාහි ලංකා තානාපති මම යි. මහ සඟරුවන ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ
කරන්නේ මියන්මාහි තානාපති ධුරයට විශ්‍රාම නොගිය බෞද්ධ දර්ශනය ගැන දත් සැදැහැවතකු
පත් කළ යුතු බව. ඉන් ගම්‍ය වන්නේ මා නුසුදුසු බවත් වෙනත් අයකු මියන්මාහි ලංකා
තානාපති ධුරයට පත් කළ යුතු බවත්. කිහිප නමක් හැරෙන්න මහා සංඝයා වහන්සේ මට අකමැති
බව මා දන්නවා. ගිහි උගත් යැයි කියන සිංහලයන් ද මට කැමති නැහැ. ජයග්‍රහණය වැනි
සංවිධාන පමණක් නොව වියත්මග වැනි සංවිධාන ද මා තම සාමාජිකයකු කර ගත්තේ නැහැ. එයට
හේතුව ථෙරවාදය හා මහාවංසය පිළිබඳ මා දරණ සමහර අසම්මත මත වෙන්න පුළුවන්. එහෙම
නැත්නම් වෙනත් කරුණක් වෙන්න පුළුවන්.
ධීවරයන්ගේ ප්‍රශ්නයත් සමග මා තීරණය කළා තානාපති
ධුරයෙන් ඉවත් වීමට. එහෙත් ඒ බව ලිපියකින් නිල වශයෙන් දැනුම් දී නැහැ. එ තීරණය මගේ
මුහුණු පොතේ පිටුවේ පළ කළා පමණයි. එය තවමත් පෞද්ගලිකයි. කෙසේ වෙතත් මුහුණු පොතේ මා
සඳහන් කළා තානාපති ධුරයෙන් ඉවත් වන්නේ බිම්ස්ටෙක් විදේශ ඇමතිවරුන්ගේ අතථ්‍ය (virtual) රැස්වීම අවසානයේදි හා ධීවරයන්ගේ ප්‍රශ්නය
කොයි අතකට හරි විසඳුනාට පසුව කියා. ඇතැම් ජනමාධ්‍ය මේ අවස්ථාවක් කර ගෙන හුදු
පෞද්ගලික තීරණයක් ආණ්ඩු විරෝධී කතාවක් බවට හරවන්න. මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සමග
මා එකඟ වන්නේ නැහැ. මා ජනාධිපති වන ආණ්ඩුවක් සමගවත් මා සම්පූර්ණයෙන් එකඟ වන එකක්
නැහැ. මගේ තනි මතයට රටක් කරන්න බැහැ. එහෙත් සමස්තයක් ලෙස ගත් කල මා මේ ආණ්ඩුවට පක්‍ෂයි.
මා තානාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කෙළේ හුදෙක් මගේ අදක්‍ෂතාව නිසයි.
ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු මියන්මා
මුහුදු සීමාවට පැමිණ තියෙනවා. මියන්මා නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට අරගෙන. අප
මියන්මා නිලධාරීන් සමග ඒ ගැන සාකච්ඡා කළා. අපට අවශ්‍ය වූයේ ධීවරයන්ට කතා කිරීමට
අවස්ථාවක් ලබා ගැනීමටත් ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද කියා දැන
ගැනීමටත්. එහෙත් අපට ධීවරයන්ට කතා කිරීමට හැකි වූයේ එක් අවස්ථාවක දී පමණයි. ඉන්
පෙන්නුම් කෙළේ මගේ අසාර්ථකත්වයයි. මගේ අදක්‍ෂතාවයි. මින් ඉහත වෙනත් තානාපතිවරු
ධීවර ප්‍රශ්න සාර්ථක ව විසඳා ගෙන ඇති බව මට දැන ගන්න ලැබුණා. මට අඩු තරමෙන්
ධීවරයන්ට එක් වතාවකට වඩා කතා කරන්න අවස්ථාව සලසා ගන්න බැරි වුණා. මගේ දුරකතන අංකය
නිලධාරීන් කිහිප දෙනකුට ම දී ඇතත් ඔවුන් ධීවරයන්ට කතා කිරීමට අවස්ථාව ලබා දී නැහැ.
ඒ අවස්ථාව ලබා ගන්නා මා නොදන්නා ක්‍රම හා විධි ඇති.
ධීවරයන්ට විරුද්ධ ව මියන්මා නීතිය යටතේ නඩු
පැවරීමට බලාපොරොත්තු වන බව අපට අදාළ නිලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුණා. ධීවරයන් තමන්
අනවසරයෙන් මියන්මා මුහුදු සීමාවට පැමිණ තිබෙන බව පිළිගන්නවා. ධීවරයන් කර ඇත්තේ
වරදක්. ශ්‍රී ලාංකිකයකු වෙනත් රටක නීතිය කැඩූ විට එරට ලංකා තානාපති කාර්යාලයට කළ
හැකි දෙයක් නැහැ. අදාළ පුද්ගලයාට නඩු විභාගයට මුහුණ දීමට සිදු වෙනවා. තානාපති
කාර්යාලයට ඒ අයගේ සෞඛ්‍යය හා පහසුකම් ගැන පමණක් සොයා බැලීමට පුළුවන්. බොහෝ අය
සිතන්නේ ඒ ඒ රටවල ලංකා තානාපති කාර්යාල මොන වැරැද්ද කළත් ලාංකිකයන් නිදහස් කර ගත
යුතු ය කියා. යම් රටක නීතිය යටතේ වැරදි කරුවන් වන අයට එරට නීති යටතේ දඬුවම්
විඳින්න වෙනවා. මින් ඉහත ලාංකික ධීවරයන් මියන්මාහි සිර දඬුවම් විඳි අවස්ථා
තියෙනවා.
බිම්ස්ටෙක් විදේශ ඇමති රැස්වීම ද්විපාර්ශ්වීය
වැඩක් නොව කලාපීය වැඩක්. එයට ආරාධනය කරන්නේ ඩැකා නුවර බිම්ස්ටෙක් කාර්යාලයෙන්.
ආරාධනා පත්‍රයට අත්සන් තබන්නේ බිම්ස්ටෙක් සභාපති රට වන ලංකාවේ විදේශ ඇමති. ඒ
කිසිවක් නොදැන අදාළ ආරාධනය අප යැවී යැයි චෝදනා කළ අය අද අපෙන් ඉල්ලනවා මියන්මා
විදේශ ඇමති සමග ධීවර ප්‍රශ්නය කතා කරන්න කියා!
මා මියන්මාහි තානාපතිකම භාර ගැනීමෙන් කර ඇත්තේ
වරදක්. මා හිතන් හිටියේ මට ඒ රස්සාව කරන්න පුළුවන් කියා, එහෙත්
තුන්වැනි වතාවටත් මට රස්සාවක් කරන්න බැරි බව තහවුරු වී තියෙනවා. මා අදක්‍ෂයකු බව
නැවත නැවතත් පෙන්නුම් කෙරෙනවා. මා හිතනවා ඒ ගැන කෙටි සටහනකට මේ අවස්ථාව කියා. මට
ඇත්තේ ඉතා දුර්වල මතකයක්. කුඩා කල මට
කවියක් ගාථාවක් පාඩම් හිටින්නේ නැහැ. මට එය ප්‍රශ්නයක් වුණා. මා සිංහල පාසල්
ගුරුවරියක වූ මගේ මවට ඒ ගැන කිවුවා. ඇය කියා සිටියේ කවියේ තේරුම දැන ගත් විට පාඩම්
හිටීවි කියා. මා එසේ කළා. ඉන්පසු කවි කොහොමටවත් පාඩම් හිටියේ නැහැ. අදහස දන්නවා
නම් කටපාඩම් කරන්නේ මොකට ද කියා හිතුනා ද දන්නේ නැහැ. මට විභාගවලින් සමත්වන්න
පුළුවන් වුණේ සීමිත ව. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ
දී මට ගණිත විෂය තුනට (එකල, ශුද්ධ, ව්‍යවහාරික, උසස්)
විශිෂ්ට සාමාර්ථ ලැබුණා. මා භෞතික විිද්‍යාව ප්‍රිය කළත් එයට ලැබුණේ සම්මාන
සාමාර්ථයක් පමණයි. උසස් පෙළ පරීක්‍ෂණයේදීත්
ශුද්ධ හා ව්‍යවහාරික ගණිත විෂයවලට විශිෂ්ට සාමාර්ථ ලැබුණා. භෞතික විද්‍යාවට සම්මාන
සාමාර්ථයක්. රසායන විද්‍යාව අසමත්. මට විශ්වවිද්‍යාලයේ ඇතුල්වීමට අවශ්‍ය තිබුණේ
භෞතීය විද්‍යා පීඨයට. මට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ සිට අවශ්‍ය ව තිබුණේ බටහිර
ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු වීමට හා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය
ඉගැන්වීමට.
මා හෝඩියේ සිට ඉගෙන ගත්තේ දෙමව්පියන්ගේ මෙන් ම
ජනතාවගේ මුදලින්. ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයට ගියේත් රජයේ ශිෂ්‍යත්වයකින්. ඒ
විද්‍යාඥයකු වීමට. ඒ සඳහා මගේ කැමැත්තක් තිබුණා පමණක් නොවෙයි. මගේ මෝඩකමට මා හිතන්
හිටියේ මට විද්‍යාඥයකු වීමට හැකිය කියා. එහෙත් එංගලන්තයේ දී මට වැටහුණා මට එවැනි
දක්‍ෂතාවක් නැති බව. අවුරුදු තුනකට ශිෂ්‍යත්වය තිබූ නමුත් මා අවුරදු එකහමාරකින්
පමණ ආපසු පේරාදෙණියට ආවා.
අවුරුදු කිහිපයකින් මට විශ්වවිද්‍යාලයෙන් අස්
වී යැමට සිදු වුණා. ඒ භාර්යාව සමග ඇගේ පශ්චාත් උපාධියට ඕස්ත්‍රේලියාවට යෑමට.
එරටින් පැමිණීමෙන් පසු පේරාදෙණිය මා බඳවා
ගත්තේ නැහැ. විශ්වවිද්‍යාලය තීරණය කර
තිබුණේ කථිකාචාර්යකමට මා නුසුදූසු ය කියා. එවර අවුරුදු දෙකක් රැකියාවක් නැතිව
හිටියා. පසුව ස්ටැන්ලි විජේසුන්දර මා
කොළඹට බඳවා ගත්තා. පසුව ජී එල් පීරිස් ආදීන් තීරණය කළා මා විශ්වවිද්‍යාල සේවයට
නුසුදුසු ය කියා. එවර අවුරුදු දහයක් කිසිම රැකියාවක් නොකර ගෙදර ඉඳීමෙන් පසු හා නඩු
කිහිපයක් කීමෙන් පසු කැලණියට බඳවා ගැණුනා. සේවයෙන් මිදුණේ කැලණියෙන්. එහි දී
කථිකාචාර්යවරු මට විරුද්ධ ව පත්‍රිකා බෙදුවා.
කථිකාචාර්ය වැඩේට මා කැමතියි. ඒ මට යම් නිදහසක්
තිබුණු නිසා. තානාපති සේවයේ වගේ ලිපි ගොනු අතර හිරවෙන්න සිදු වුණේ නැහැ. එහෙත්
අනෙක් කථිකාචාර්යවරුන්ට අනුව මා ඒ වැඩේට සුදුසු නැහැ. අවුරුදු දහඅටෙන් පසු අවුරුදු
දහඅටක් පමණ මා සමසමාජ පාක්‍ෂිකයකු ව හිටියා. ඉන් පසු අවුරුදු තුන හතරක සංක්‍රමණීය
කාලයක් තිබුණා. 1984 පමණ සිට මා ජාතික කඳවුරේ. එදා සිට
ලිපි හත්දාහක පමණ හා විවිධ සම්මන්ත්‍රණවල
මා විවිධ මත ප්‍රකාශ කර තියෙනවා. ඒ එකක්වත් සමාජයේ තබා ජාතික කඳවුරේවත්
පිළිගැනීමට ලක් වී නැහැ. කිසිම උගතකු ප්‍රසිද්ධියේ මා කියන දෙයක් ගැන සහතිකයක් දී
නැහැ. දැන් නැතත් කලක් කිට්ටුවෙන් වැඩ කළ
ගුණදාස අමරසේකරවත් මගේ අදහස් ගැන ප්‍රසිද්ධියේ කිසිදා හොඳක් කියා නැහැ. ඒ අදහස්වල
වැදගත් දෙයක් නැතිවා වෙන්න පුළුවන්. මහ සඟ රුවන හිතන්නේ මියන්මාහි තානාපති වැඩේට
මා නුසුදුසු ය කියා.
තානාපති ලෙස මා මුහුණු ආවරණ බෙදාදීම, කොළඹ
යැන්ගොන් ගුවන් සේවයක් ඇරඹීම, විවෘත විශ්වවිද්‍යාලයට මියන්මා
සම්බන්ධතා ඇති කිරීම, මියන්මාහි ලංකා පාසල් හා රෝහල්
පිහිටුවීම, දෙරට අතර වෙළෙඳාම හා සංචාරක ව්‍යාපාරය වර්ධනය
කිරීම, මියන්මා රෝගීන්ට ලංකාවේ ප්‍රතිකාර ගැනීමට
සැලැස්වීම ඇතුළු තවත් දේ කතා කර තියෙනවා. ඒ සියල්ල වැඩ නැති කතා. සංචාරක ව්‍යාපරය වර්ධනය කිරීම
සඳහා රූහඬ පටයක් නිපදවා ගැනීමට මා අසමත් වුණා. ලංකාව හා මියන්මා අතර සම්බන්ධතා ගැන
අතථ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ලංකාවෙන් දේශකයන් හොයා ගන්න බැරි වුණා.
විිද්‍යාඥයකු කථිකාචාර්යවරයකු හා තානාපතිවරයකු
ලෙස මා අසමත්. අමරසේකරලාට හා මහා සඟ රුවනට අනුව ජාතික ව්‍යාපාරයේත් මා අසමත්. මට
කුඩා කල පැවිදි වීමට අවශ්‍ය වුණා. මා
කල්පනා කරන්නේ පැවිදි ව අසමත් වී කුමක් කරන්න ද කියා. දැන් අඩු තරමින් දුක සැප බැලීමට දරුවන් හා
මුණුබුරන් සිටිනවා.