Main Logo

Wednesday, 24 March 2021

පරිසරය සංවර්ධනය හා මෝල්ගස්

 

පරිසරය සංවර්ධනය හා මෝල්ගස්

 

මට ඇති ලොකු ම ශක්තිය මා උගතකු බුද්ධිමතකු වියතකු නො වීම. ලංකාවට ඇති ලොකු ම ප්‍රශ්නය උගතුන් බුද්ධිමතුන් වියතුන් වැඩි වීම. සිංහලයන් අතර බහුතරය බෞද්ධයන්. බෞද්ධයන් නිතර දෙවේලේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියවනවා. එහෙත් ඔවුන් මධ්‍යම ප්‍රතිපදාව මොකක් ද කියා කියන්න දන්නේ නැහැ.

 

මේ දිනවල පරිසරය ගැන කියවනවා. අද පරිසරය පිළිබඳ විශේෂඥයන් සංඛ්‍යාව සිංහරාජයේ ඇති ගස් සංඛ්‍යාවට වැඩි වෙන්න ඕන. සිංහරාජය වැහි වනාත්තරයක් කියා කියනවා. එය ලෝක උරුමයක් කියලත් කියනවා. සිංහරාජය කපා දමනවාට මාත් කැමති නැහැ. ඒ ඇයි ද කියා මගෙන් ඇහුවොත් මටත් කියන්න වෙන්නෙ ඔය වැහි වනාන්තර කතාව ජල පෝෂණ ප්‍රදේශයක් වීම ආදිය. එහෙත් එතනින් එහා ගිය විශේෂඥ දැනුමක් මට නැහැ.

 

මා කෙදිනකවත් සිංහරාජය බලන්න ගිහින් නැහැ. ඒ කූඩැල්ලන් ඉන්න නිසා නො වෙයි. මා හිතන්නේ ඒ වගේ තැන් බලන්න යෑමෙනුත් වළකින්න ඕන කියල. මා ගිහින් බැලුව කියල සිංහරාජයට වැඩක් වේය කියා මා හිතන්නේ නැහැ. සමහර විට අවැඩක් නම් වෙන්න පුළුවන්. සිංහරාජය බලලා ඒ ගැන උපදෙසක් දෙන්න මා වියතකුවත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. සිංහරාජය නොබැලුව කියල මගේ ජීවදත්තවලට ප්‍රශ්නයක් වේය කියා මා හිතන්නේ නැහැ.

 

පරිසරය රැකීම හා සංවර්ධනය කියන්නෙ මොන අතින් බැලුවත් එකිනෙකට විරුද්ධ දේ. බටහිර සංවර්ධනය පිළිබඳ ආකල්ප සමග පරිසරය රකින්න බැහැ. මා ඒ ගැන ලියූ ලිපි එකතු කරල පොඩි පොතක් හැටියටත් පළ කරල තියෙනවා. ඒ පොත දැන් පොත්හල්වල නැහැ. මා දෙවැනි මුද්‍රණයක් ගැන හිතුවෙත් නැහැ. ඒ කඩදාසි ලබා ගැනීම සඳහා ගස් කපන්න වෙන නිසා නො වෙයි. ලංකාවෙ උගතුන් බුද්ධිමතුන් වියතුන් ඒකෙ තියෙන දේට වඩා දන්න නිසා.

 

බොහොම ඉස්සර කාලෙ මා සංකල්පයක් ඉදිරිපත් කළා ගතික සමතුලිතතාව කියල. ඒක පරිසරය හා සංවර්ධනය ගැන පමණක් නොව එකිනෙකට විරුද්ධ ප්‍රපංච සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් එකක්.  අත්හැරීම හා සමාජයේ ජීවත්වන විට අත්නොහැරීම කියන එකිනෙක විරුද්ධ ප්‍රපංච සඳහාත් ගතික සමතුලිතතාව යොදා ගන්න පුළුවන්. එහෙත් පඬි නැට්ටන් සුපුරුදු පරිදි ගතික සමතුලිතාවට හිනහ වුණා. ලංකාවෙ ඉන්න උගතුන් වියතුන් බුද්ධිමතුන් ඒ සංකල්පය ගැන අහන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

 

ගතික සමතුලිතතාව ස්ථික සමතුලිතතාවෙන් වෙනස්. ව්‍යවහාරික ගණිතයෙ හරි භෞතික විද්‍යාවෙ හරි මූල් පාඩම්වල ස්ථිත සමතුලිතතාව ඉගැන්වෙනවා. අපට පාසලේ හිටිය අරසරත්නම් කියල ඉතා දක්‍ෂ ගුරවරයෙක්. මා ඔහුගෙන් තමයි ස්ථිතික සමතුලිතතාව ඉගෙන ගත්තෙ. ඒ සාමාන්‍ය පෙළ ව්‍යවහාරික ගණිතය පාඩම්වල. ඒ 1960 අවුරුද්දෙ. මගේ මතකය සාමාන්‍යයෙන් ඉතා දුර්වල වුණත් ඔහු අවුරුදු හැටකට එහා කී දේ මට තවමත් මතකයි.

 

බල දෙකක් පමණක් සමතුලිතතාවෙ තියෙනව නම් ඒ බල එක ම සරල රේඛාවක් දිගේ දෙපැත්තට ක්‍රියා කරන්න ඕන කියල ඔහු පෙන්නා දුන්න. ඒ බල විශාලත්වයෙන් සමාන වෙන්න ඕන කියලත් ඔහු කිවුව. ඒක තමයි අද අපට අදාළ. එහෙත් ඔහු බල තුනක සමතුලිතතාව ගැනත් හොඳ කතාවක් කිවුව. ඔහු අපට කියා දුන්නෙ බල තුනක් ස්ථිතික සමතුලිතතාවෙ තියෙනව නම් ඒ බල තුන ඒක තල වීම අනිවාර්ය බව. එහෙත් ඒ සමග ම ඔහු කීවා එය ප්‍රමාණවත් නැති බව. ප්‍රමාණවත් වෙන්න නම් ඒ ලක්‍ෂ්‍යයක දී හමුවිය යුතු බවත් ලාමි ප්‍රමේය සපුරාලන්න ඕන බවත් කිවුව. ඒ කතාව මගේ හිතේ තාමත් රැව් පිළිරැව් දෙන්නෙ මොකද කියල මට හිතා ගන්න බැහැ. අනිවාර්ය හා ප්‍රමාණවත් කතාව හොඳට ම තේරුණා.

 

ඔහු ගතිකයත් ඉගැන්නුව. ඔහු තමයි අපට ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උසස් ගණිතය විෂය තුනම ඉගැන්නුවෙ. මා ඔහුත් තවත් ගුරුවරු කිහිප දෙනකුත් දිනපතා සිහි කරනවා. මගේ ගණිත හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යා දැනුමට පදනම දැමුවෙ ඔහු. ක්‍රිස්ටි ගුණසේකර කියල ගුරුවරයෙක් මට හිතන්න ඉගැන්නවා. ඔහු උගන්නපු රසායන විද්‍යාව නම් මට මතක හිටියෙ නැහැ. 1959 අවුරුද්දෙ දවසක අම්ල ගැන උගන්වන අතරෙ ඔහු කිවුව අම්ලයක් අර්ථදක්වන්න. අවුරුදු දහහතරක අපට ඔහුට පිළිගන්න පුළුවන් අර්ථදැක්වීමක් කරන්න බැරි වුණා. ඔහු ඊට පසු කිවුවා අර්ථදැක්වීමක් යන්න පැහැදිලි (explain definition) කරන්න කියා. එය කොහොමටවත් කරන්න බැරි වුණා. ඊළඟට ඔහු කිවුවා පැහැදිලි කිරීම අර්ථදක්වන්න (define explanation)  කියා. ඒ තමයි මා චක්‍රීය චින්තනයට යොමු වූ පළමු දිනය.

 

ගතිකය උගන්වන කොට P= mf උගන්නවනවා. අපේ ගුරුතුමා අපට කිවුව දේතමයි බලයත් ත්වරණයත් එකම දිශාවට තියෙන්නෙ කියන එක. ඒකත් හොඳ කතාවක්. බලය එක් දිශාවකටත් ත්වරණය තවත් දිශාවකටත් තියෙන්න බැහැ.  පස්සෙ කලක් ගිහින් විශ්වවිද්‍යාලෙ දී ඩලම්බෙයාර් ලග්රාන්ජෙ ආදීන්ගෙ අදහස් ඉගෙන ගන්න කොට තමයි මට මතක් වුණෙ P= mf සමීකරණය P-mf=0 ලෙස ලියන්න පුළුවන් කියා. ඒ තමයි ගතික සමතුලිතතාව.

 

ලග්රාන්ජෙ සමීකරණ මේ දිනවලත් මා කළු කුහර සම්බන්ධයෙන් යොදා ගන්නවා. තානාපති රස්සාවෙ පනුවන් කන සාම පරෙවියන් බලමින් ධීවරයන් ගැන හිත යොමු කරමින් බිම්ස්ටෙක් කියන්නෙ කලාපීය කතාවක් මිස ද්විපාර්ශ්වීය කතාවක් නොවන බව කියන අතරෙ කළු කුහර ගැනත් කල්පනා කරන්න ඉඩ ලැබෙනවා. මට දැන් තේරෙනවා කළු කුහර ඔය කියන තරම් කළු නැහැ කියල හා එතැනත් තියෙන්නෙ ගතික සමතුලිතතාවක් කියල. ඒ ගැන පස්සෙ වැඩි විස්තර. 

 

පඬි නැට්ටන් හිනහවෙන්නෙ එ ගතික සමතුලිතතා සංකල්පයට. පරිසරය රැකීම – සංවර්ධනය =0 කිවුවොත් අත්හැරීම – අත්නොහැරීම =0 කිවුවොත් එතැන ඇත්තෙ ගතික සමතුලිතතාව. ඒත් මේ ගතික සමතුලිතතාව සාදාකාලිකව එකම තැනක ඇති එකක් නො වෙයි. අවුරුදු පන්දාහකට එහා පැත්තෙ තිබුණු ගතික සමතුලිතතාව නො වෙයි අනුරාධපුර කාලෙ තිබුණෙ. දඹදෙණියෙදි තවත් එකක්. දැන් වෙනත් ම ගතික සමතුලිතාවක්.

 

අපට පෞද්ගලිකවත් සමාජයක් ලෙසත් මේ ප්‍රශ්නයට මුහුණ පාන්න වෙනවා. අධිවේගී මාර්ගයක් ගේ අසළින් තියෙනව නම් බොහෝ දෙනකු කැමති වේවි. ඒත් අධිවේගී මාර්ගයට තම ඉඩමෙන් කොටසක් දෙන්න වෙනව නම් එතැන ප්‍රශ්නයක්. අපි වල් අලි බලන්න කැමතියි. ඒත් කොළඹට වල් අලි ආවොත් මොක ද කරන්නෙ. ලංකාවෙ තරමක් ඈත පළාතකට යන විට පරිසර සෞන්දර්යය දැක බලාගන්න අපි කැමතියි. ඒත් ඒ ප්‍රදේශයේ පදිංචි වෙන්න අප අකමැතියි. අපරාදෙ කියන්න බැහැ මියන්මාහි ලංකා තානාපති කාර්යාලය පිහිටල තියෙන්නෙ සද්දයක් බද්දයක් නැති කලබලයක් නැති ප්‍රදේශයක. බිම්ස්ටෙක් ප්‍රශ්නයෙදි නම් අපි හිතුව උද්ඝෝෂකයන් තානාපති කාර්යාලය ඉදිරිපිටට ඒවි කියල. බිම්ස්ටෙක් රැස්වීමට තව කල් තියෙනවා. ඒක අතථ්‍ය රැස්වීමක් තියෙන්නෙ බටහිරයන් කියන විධියට මෝඩයාගෙ දවසෙ.

 

සංවර්ධනය කියන එකෙන් අප අද අදහස් කරන්නෙ බටහිර ක්‍රමයෙ සංවර්ධනයක්. අපට මතක් වෙන්නෙ එකක් උඩින් තව එකක් යන මහා මාර්ග, තට්ටු නිවාස, අධිවේගී දුම්රිය, සුපිරි වෙළෙඳ සල්, අධිතාක්‍ෂණික රෝහල්, විනෝද ශාලා, සුපිරි මාධ්‍ය, දැන් නම් රූහඬ මාධ්‍ය, ආදිය. කෙටියෙන් කියනව නම් නගර සංවර්ධනයක්. නගර සංවර්ධනය කියන්නෙ නාගරික සංවර්ධන අමාත්‍යාංශෙ වැඩක් නො වෙයි. නගර සංවර්ධනය කියන එකෙන් මා අදහස් කරන්නෙ නගරය සංවර්ධනය කිරීම. මිනිසා සංවර්ධනය නොකිරීම.

 

මේ කොවිඩ් ප්‍රශ්නයි දේශපාලන ප්‍රශ්නයි නිසා අපට තවම හරියට මියන්මා දැක බලාගන්න බැරි වුණා. ඒත් දැකපු ටිකෙන් කියන්න පුළුවන් තවමත් පැරණි ගම් තියෙනව කියල. ඒවා කල් යෑමේ දී වෙනස් වේවි. ලංකාවෙ පැරණි ගම් ඒ ආකාරයෙන් ම තියා ගන්න ඕන කියල මා කියන්නෙ නැහැ. එහෙම කියන්නෙ නගරයෙ ජීවත්වෙලා මානසික ආතති හැදුණට පස්සෙ ගිහින් විවේකයක් ගන්න ගම් තියෙන්න ඕන කියල හිතන අය වෙන්න පුළුවන්.

 

අපි වෙනස් වෙන්න ඕන. අර එකල කොළඹ විශ්වවිද්‍යාලෙ සුවාදීනයන් අපේ අදහස් වැරදියට ගෙන, එහෙමත් නැත්නම් අමරසේකර සූරිය ගුණසේකර ධර්මසේකර අදහස් සමග පටලවා ගෙන අපට කිවුවෙ බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යනවා කියල. බරකරත්තෙන් ගියත් දැන් පස්වැනි සියවසේ අනුරාධපුරය දකින්න නැහැ. මෙය ආපසු යෑමක් නොවෙයි. එහෙත් ලන්ඩන් නැත්නම් නිව්යෝක් යෑමක් ද නො වෙයි. මට නම් මා දැක ඇති නගරවලින් අවලස්සන ම නගරය නිව්යෝක්. ආසියාවෙ ඕනම රටකට ගියොත් පොඩි පොඩි කැත ලන්ඩන් නගර දකින්න පුළුවන්.

 

අප ඉවත් වෙන්න ඕන මේ නගර සංවර්ධනයෙන්. එහි ඇති සංවර්ධනයක් නැහැ. ඇත්තේ අවලස්සණ වර්ධනයක්. කලින් තිබූ මියන්මා හමුදා ආණ්ඩුව අගනුවර යැන්ගොන් නගරයෙන් හැතැප්ම දෙසිය පනහක් පමණ  පිටතට ගෙන ගිහින්. නෙ පි ටෝ කියල නගරයකට. ඒ නගරයෙ සුන්දරත්වයක් තියෙනවා.

 

වත්මන් ආකාරයේ නගර සංවර්ධනයක් එක්ක පරිසරය රකින්න බැහැ. මෙහි අර ගතික සමතුලිතතාවට ඉඩක් නැහැ. කළු කුහරවලට ඒ නම දැම්මෙ කොල්කතාවෙ තියෙන ගියොත් ආපසු නොඑන ප්‍රදේශයක නමින් කියල කියනවා. කොල්කතාව තමයි බිරිතානින් ඇති කළ ඉන්දියාවෙ අගනුවර. පස්සෙ තමයි පැරණි දිල්ලියට මාරු වුණෙ. නව දිල්ලිය කියල අමුත්තක් නැහැ. අප වෙනත් ම ආකෘතියක නගර හා ගම් ගැන හිතන්න ඕන. ඒත් ලංකාවෙ ප්‍රශ්නය රට හිතන්න  බැරි උගතුන් වියතුන් බුද්ධිමතුන්ගෙ අම්බලමක් වීම.

 

පින්වතිය , මේ ගස කුමක් ද?

එය පඬු කරද ගසක් ස්වාමිනි

 

මේ පඬු කරද ගස හැරෙන්න තවත් පඬු කරද ගස් තිබේ ද?

එසේය ස්වාමිනිි, තවත් ගස් පහක් විතර තියෙනවා.

 

ඒ පඬු කරද ගස් හැරෙන්න තවත් ගස් තිබේ ද?

එසේය ස්වාමිනි, විවිධ ගස් තියෙනවා.

 

ඒ පඬු කරද ගස් හා පඬු කරද නොවන ගස් හැරුණු විට තවත් ගස් තිබේ ද?

එසේය ස්වාමිනී ඒ මෝල් ගස් .