Main Logo

Wednesday 3 March 2021

අනේ කුඹින්නේ

 

අනේ කුඹින්නේ

 

තවත් කළු දිනයක්. ඒ ගමන කළු ඉරිදාවක්. කළු මළගමට නරකට තියෙන පාටක්. ඒත් බෞද්ධයන් අතර නොවෙයි. බෞද්ධයන් නම් මළගමටත් පින්කමටත් සුදු අඳින්නෙ. ඒක කවද පටන් ගත්ත එකක් ද දන්නෙ නැහැ. ඒත් බෞද්ධයන් කළු නම් අඳින්නෙ නැහැ. නීතිඥයන් නම් කළු අඳිනවා. කළු කර පටියක් ද බඳිනවා. ඒකෙ තේරුම දන්නෙ නැහැ. නීතිඥයන් අයහපත් බවේ සංකේත ද? ඒ වුණත් ලංකාවෙ නීතිඥවරියන් නම් කැමති සුදු අඳින්න වගෙයි. ප්‍රථම උපාධි ලෝගුවත් කළු පාටයි. ඒකෙ තේරුම මොකක් ද? සාමාන්‍යයෙන් බටහිර ක්‍රමයට අඳින මනමාලයන් අඳින්නෙත් කළු කබායක් සහ කළු කලිසමක්. කොහොමත් බටහිර කබාය හා කලිසම සාමාන්‍යයෙන් කළු. බටහිරයන් කළු පාටට මෙතරම් කැමති ඇයි. ඔවුන් අවිඥානික ව දන්න දෙයක් තියෙනවා ද? ඊනියා මනෝ විශ්ලෙෂකයකුට එයට කතාවක් හදන්න පුළුවන් ද?

 

ඒ කොහොම වුණත් කළු ඉරිදා ව පනවල තියෙන්නෙ කාදිනල්තුමා. එ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ වාර්තාවෙන් යුක්තිය ඉටු වුණේ නැහැ කියන පදනමෙන්. ඒ වාර්තාවෙ එක වෙළුමක් පමණක් දීල කියල සජිත් කෑ ගහනවා. අනෙක් වෙළුම්වල තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් ලියවිලි වෙන්න ඕන. වාර්තාව හැටියට ලියල තියෙන එක තමයි පළමුවැනි වෙළුමෙ තියෙන්නෙ. මා ඒ බව කියන්නෙ සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම නිසා. ඉතිරි වෙළුම් ටිකත්  සජිත්ගෙ පිනාබර දෝතට ලැබේවි. මේ රටේ කවුරු විපක්‍ෂයෙ සිටියත් කරන්නෙ ආණ්ඩුවෙ ඇති වැරැද්දටයි නැති වැරැද්දටයි ඔක්කොට ම ආණ්ඩුවට දොස් කියන එක.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණෙ ඊනියා යහපාලන ආණ්ඩුව කාලෙ. ඒකෙ මෛත්‍රිපාල ජනාධිපති, රනිල් අගමැති. සජිත්ලා කිරිඇල්ලල ඇමතිවරු. ඔය කොමිසමත් කොමිසමට ඉස්සෙල්ල විමර්ශන කමිටුත් පත් කෙළෙ ඊනියා යහපාලනෙන්.  වාර්තාව පිටවුණෙ නම් ගෝඨාභය ආණ්ඩුව කාලෙ. විපක්‍ෂය කියන්නෙ ඔවුන් බලයෙ හිටිය නම් වෙනත් වාර්තාවක් පිටවෙන්න තිබුණ කියල ද? මේ ආණ්ඩුව කොමිසම ලවා වාර්තාව තමන්ට ඕන විධියට සකස් කරව ගත්ත කියල ද?

 

එහෙම ඉඩක් නැහැ කියල  මා කියන්නෙ නැහැ. ඒත් විපක්‍ෂය එහෙම මතයක් දරනව නම් ප්‍රසිද්ධියෙ ඒ බව කියන්න ඕන. ඉන් කොමිසමට අපහාසයක් වෙනව කියල නොකිය ඉන්න එක හරි නැහැ. වාර්තාවෙ සාක්‍ෂි හා වෙනත් ලිය කියවිලි අඩංගු ඉතිරි වෙළුම් ටික ඉල්ලල කෑ ගහන සජිත් කොමිසම් වාර්තාව ලියවිල තියෙන හැටි කියන්න බය ද? 

 

වාර්තාව ගැන විවිධ අය විවිධ කතා කියනවා. සජිත්ලත් වාර්තාව ගැන කියන්නෙ එය මේ ආණ්ඩුවෙ වැඩක් බව පෙන්නන්න. මා දන්නෙ නැහැ මේ ආණ්ඩුවෙන් කොමිසමේ වැඩ කටයුතු වෙනස් කෙරුව ද කියල. ඒත් කොමිසමේ සාමාජිකයන් වෙනස් වුණෙ නැහැ කියලයි මගේ මතකය. මෙහි දී මා වැරදි වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව සජිත්ලගෙ චෝදනාවලට නිසි පිළිතුරු දෙන්නෙ නැත්තෙ ඇයි ද කියන එක නම් ප්‍රශ්නයක්.

 

මේ වාර්තාවෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නෙ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට මෛත්‍රිපාල සිරිසේන, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු ආදීන් කටයුතු නොකිරීමෙන් වගකීම පැහැර හැරි බවයි. රනිල්ට ඒ චෝදනාව ඒ අයුරින් එල්ල කෙරෙන්නේ නැහැ. ඔහු ආණ්ඩුවේ අගමැති. අපේ රටේ කියන විධියට පූජිත මෛත්‍රිපාලගෙ මිනිහෙක් නො වෙයි. ඔහු රනිල්ගෙ මිනිහෙක් ද? එහෙම නම් රනිල් දක්‍ෂ ලෙස චෝදනාවෙන් බේරුණා ද? රනිල්ට විරුද්ධ ව කියැවෙන්නෙ මුස්ලිම් අන්තවාදයක් පැතිරෙන බවක් විශ්වාස කළ නොහැකි බව කීමයි.

 

අනෙක් අතට මුස්ලිම් දේශපාලනඥයන් නිදොස් වෙලා තියෙනවා. බැරි වෙලාවත් සහාරාන් මැරුණෙ නැත්තන් ඔහුත් නිදහස් වෙන්න තිබුණා. මුස්ලිම් දේශපාලනඥයන් පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නොදැන සිටියා කියා විශ්වාස කරන්න අමාරුයි. යම් කිසිවකු මුස්ලිම් දේශපාලනඥයන් නිදහස් කර ගන්න කළ උත්සාහයක් ද පේන්න තියෙනවා. කෙසේ වෙතත් මුස්ලිම් දේශපාලනඥයන් ඒ මත පදනම්වෙලා උදම් අනන බවක් පේන්න තියෙනවා.

 

මේ අතර බොදු බල සේනාව හොඳ කතාවක් කියල තිබුණ. ඒ බෝන් අගේන් අයකු වාර්තාව සකස් කිරීමේ දී යම් මැදිහත්වීමක් කර ඇති බවයි. අප බොදු බල සේනාව සමග එකට වැඩ කරන්නේ නැහැ. ඒත් මේ කතාවෙ ඇත්තක් තියෙන්න පුළුවන්. මුල සිට ම අපේ මතය වුණෙ පාස්කු ප්‍රහාරය බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනය විසින් මුස්ලිම් අන්තවාදය යොදා ගෙන කරන ලද්දක් ලෙසයි. 2019 අප්‍රේල් මාසෙත් අපේ ස්ථාවරය වුණෙ ඒකයි. බටහිරයන් හා චීනය අතර ඇති ප්‍රශ්නය හා නව සේද මාර්ගය අසාර්ථක කිරීමට බටහිරයන්ට ඇති අවශ්‍යතාවත් මේ ප්‍රහාරය මෙන් ම පිලිපීනයේ කරන ලද ප්‍රහාරය පිටුපසත් ඇති බව අප කියා ඇති. බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනයෙ ගාමක බලවේගය බවට මේ වන විට බෝන් අගේන් පත්වෙලා.

 

බෝන් අගේන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි සභාවලට, විශේෂයෙන් ම කතෝලික සභාවට විරුද්ධයි. මඩකලපුවේ හැරෙන්න පාස්කු ප්‍රහාරයේ දී පහර දුන්නෙ කතෝලික පල්ලිවලට. මේ ප්‍රහාරය සමග හෝටල්වලත් බෝම්බ පිපිරුණා. මෙහි එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමක් ද පේන්න තිබුණා. සැලසුම් කරුවන්ට  සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරල සිංහලයන්ට විරුද්ධ ව තවත් ඊනියා ජාත්‍යන්තර මතයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් ද තිබුණා. එහෙත් එය හරි ගියේ නැහැ. මා හිතන විධියට කාදිනල්තුමාට බෝන් අගේන් සම්බන්ධය ගන වැටහීමක් තියෙනවා. එතුමා බලාපොරොත්තුවෙන් ඉන්න ඇති කොමිසම් වාර්තාවෙන් බෝන් අගේන් කතාව හෙළිදරවු වේවි කියා. ඒත් එය සිදු වෙලා නැහැ. අද ලෝකයේ මුස්ලිම් අන්තවාදය මෙහෙයවනු ලබන්නෙ ඇතැම් ක්‍රිස්තියානි සභා විසින්. බෝන් අගේන් ඉන් ප්‍රධානයිි.

 

කොමිසම සහාරාන් පිටුපස හිටියෙ කවුද කියල හොයල බලල නැහැ. එහෙම හෙවුව නම් බෝන් අගේන් හා මුස්ලිම් අන්තවාදය හෙළිදරවු වෙන්න තිබුණ. මුස්ලිම් සම්බන්ධය වහන්න ඕන වෙච්ච අයට ම බෝන් අගේන් සම්බන්ධයත් වහන්න ඕන වුණා කියා අපට කියන්න බැහැ. කොහොම වෙතත් කොමිසම ඒ ගැන හොයල නැහැ. ඒ නොසොයා ඔවුන් ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ගැන පමණක් හොයල. එහිදිත් රනිල්ට හොඳ චරිත සහතිකයක් දීල. පාස්කු ප්‍රහාරයට ඒ අවස්ථාවෙ ලංකාව තෝරා ගැනීමට නම් මෙරට ඊනියා යහපාලනයෙ තිබූ හවුල් අවුල බුද්ධි අංශය දුර්වල වීම ආදිය බලපාල.

 

ප්‍රහාරයේ සැලසුම් කරුවනට සිංහලයන්ට විශේෂයෙන් ම  සිංහල බෞද්ධයනට විරුද්ධ ව තවත් ඊනියා ජාත්‍යන්තර මතයක් ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණ බව නම් පැහැදිලියි. අද ලංකාවෙ ඉන්න සිංහල ජාතිය හා අනෙක් ජනවර්ග හා ජන කොටස් සැලකුව ම ජාත්‍යන්තර ව දුර්වල ම සිංහල බෞද්ධයන්. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ සභ්‍යත්ව ගැටුම පොත ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන්. ඔහු විවිධ සභ්‍යත්ව ගැන කියනවා. එහෙත් ථෙරවාද සභ්‍යත්වයක් නැති බව පැහැදිලි ව කියනවා. ඔහු සභ්‍යත්වයක් කියන්නෙ මනුෂ්‍යත්වයට පසු පොදු බවක් කතා කරන්න පුළුවන් විශාල ම ජන එකතුවකට. සභ්‍යත්වය කියන්නෙ බටහිර සංකල්පයක්. සභ්‍යත්වය කියන එක අප ළඟ තිබිල නැහැ. සංස්කෘතිය නම් ඒ නමින් නැතිවුණත් තිබුණ. සිංහල බුද්ධාගම කියන්නෙ සංස්කෘතියක්. ඒත් ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් තිබිල නැහැ. මියන්මාවෙ බෞද්ධ සංස්කෘතීන් ම රාශියක් තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙනවා. තායි ලාම් කාම්බෝජ බෞද්ධ සංස්කෘතීන් තියෙනවා. ඒත් අප ථෙරවාදීන් ලෙස බැඳිල නැහැ.

 

අද මේ ගැටුමට මැදිහත්වන සභ්‍යත්ව  රාශියක් තියෙනවා. ක්‍රිස්තියානි සභ්‍යත්වය, කතෝලික සභ්‍යත්වය, මුස්ලිම් සභ්‍යත්වය, චීන සභ්‍යත්වය, වෛදික සභ්‍යත්වය. වෛදික සභ්‍යත්වය හැරෙන්න ඒ ඒ සභ්‍යත්වවලට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා. වෛදික සභ්‍යත්වය ඉන්දියාවෙ විවිධ සංස්කෘතීන් එක් කරනවා. ඒ සම්බන්ධකම් නිසා තමයි කාදිනල්තුමා පසුගිය දා තර්ජනය කෙළෙ ජාත්‍යන්තරයට යනවා කියල. මුස්ලිම් සභ්‍යත්වයට ප්‍රශ්නයක් වෙන කොට ඉම්රාන් ඛාන් හරි මැදිහත් වෙනවා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් මැදිහත් වෙන්නෙ කවුද?  ථෙරවාද හිඩැස පුරවන්න චීනය මැදිහත් වෙන්න ඉඩ තියෙනවා.

 

චීන රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් කියා මාටින් යක් කියනවා. අප සභ්‍යත්ව රාජ්‍යයක් කරා යනව කියන්නෙ චීන සභ්‍යත්ව රාජ්‍යයට එකතු වෙන එක ද? අපට තිබී ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. එය සංස්කෘතික රාජ්‍යයක්. එය එක්සේසත් රාජ්‍යයක්. අපට තනියම සභ්‍යත්ව රාජ්‍යයක් හදන්න බැහැ. අප සංකල්ප අවුල් කර ගන්න ඕන නැහැ. අප විවිධ සංස්කෘතීන් ලෙස පවතිනවා පමණක් නොව අපට නායකයන් ද නැහැ. කාදිනල්තුමා කතෝලිකයන් වෙනුවෙන් කතා කරනවා. කතෝලික සභාවට අඩු තරමෙන් ප්‍රසිද්ධියේ තියෙන්නෙ එක මතයයි. සිංහල බෞද්ධයනට මත කීයක් තියෙනවා ද? අපට ඒකනායකලා රාශියක් ඉන්නවා. මහානායක හාමුදුරුවරු කී නමක් වැඩ ඉන්නවා ද? අපෙන් ඇහුවොත් කියන්නෙ නම් ධර්මය ගුරු තනතුරෙහි තබා ගෙන කටයුතු කරනවා කියා.

 

ඒක පැත්තකින් තියමු. පාස්කු කොමිසම සහරාන් පිටුපස සිටි අය ගැන නොසෙවීමෙන් විවිධ අය චෝදනා නැති තත්වයකට පත් වෙනවා.  දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නෙ සහරාන් පිටුපස සිටි අය ගැන සෙවීම වැළැක්වීම පිටුපස කිසිවකු සිටියා ද කියා. ඒ කොහොම වෙතත් ඉන්දියාව මේ තොරතුරු ලබා ගත්තෙ කොහොම ද? අර ඉන්දියාවට පැන ගියා කියන දෙමළ කත කවුද? අපේ රට සභ්‍යත්ව ගැටුමේ මධ්‍යස්ථානයක් වී ඇත් ද? ඒ අතර අප තව තවත් බෙදෙනවා. අප විවිධ නායකයන් යටතේ බෙදෙනවා.  එසේ බෙදන්නට කිසිවකු කටයුතු කරනවා ද?