අපි වෙනුවෙන් අපි
යම්කිසි රටක තිබිය යුතු රාජ්‍යය කුමක් ද? ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ද? ඊනියා සමාජවාදී රාජ්‍යයක් ද? ඒකාධිපති රාජ්‍යයක් ද? කතිපයාධිපත්‍යයක් ද? හමුදා රාජයක් ද? දාර්ශනිකයන්ගේ රාජ්‍යයක් ද? නිර්රාජ්‍යයක් ද එනම් රාජ්‍යයක් නොමැති රටක් ද? අපේ සමාජයේ කියමනක් තියෙනවා රටක් රාජ්‍යයක් ලැබුණ වගේ කියල. ඒක හොඳ කියමනක්. පඬිනැට්ටන්ට අනුව නම් මෝඩ ගැමියන් බයියන් වූ අපේ රටේ ජනතාව රටක් කියන එක හා රාජ්‍යයක් කියන එකේ වෙනස දැනගෙන ඉඳලා තියෙනවා. ඒ විතරක් නො වෙයි ඒ මෝඩ ගැමියන් රාජ්‍යයක් නැති රටක් ගැන මාක්ස්ට ඉස්සෙල්ල දැනගෙන ඉඳලා තියෙනවා. ඒක මාක්ස්ගෙ හිතළුව වගේ නම් නො වෙයි.
මාක්ස් කතා කරනවා සමාජ විකාශයේ ප්‍රතිඵලයක්
හැටියට අවසානයේ දී රාජ්‍යය වියැකී යැම ගැන. ඔය කියන කොමියුනිස්ට් සමාජයක රාජ්‍යයක්
නැහැ. එය වියැකී ගිහින්. සමහරු කොමියුනිස්ට් රාජ්‍යයක් ගැන කියනවා. එය වැරදියි.
කොමියුනිස්ට් රටක සමාජයක රාජ්‍යයක් තියෙන්න බැහැ. ඊනියා සමාජවාදී රාජ්‍යයක්
සංකල්පීය වශයෙන් පොතේ තියෙන්න පුළුවන් වුණත් කොමියුනිස්ට් රාජ්‍යයක් පොතේවත්
තියෙන්න බැහැ. මා හිතන්නේ මාක්ස් සමාජ
විකාශය ගැන කී හිතළු වැඩ කෙළේ නැහැ කියන එක. ඔහු සමාජ ගතිකය නිව්ටෝනීය ව හිතන්න
වෑයම් කළා. ඔහු දැන සිටි එක ම ඊනියා විද්‍යාවත් එයයි. මාක්ස් ඉතාමත් අසාර්ථක පඬි
නැට්ටන්ගේ බසින් කියන්නේ නම් අසමත් ම බුද්ධිමතා. ඔහු නිසා සිදු වී ඇත්තේ කෝටි සංඛ්‍යාත
ජනතාවක් ඝාතනය වීම පමණයි. අද සමාජවාදය බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. බෞද්ධ සමාජවාදයක්
ගැන කියන්නෙ විහිළු කතා.
මාක්ස්ගේ හිතළුව, කතාව කුමක් වුවත් මෙරට ගැමියන් දැන
සිටියා අග්ගඤ්ඤ සූත්‍රය ගැන. එහි කියැවෙන්නේ මාක්ස්ගේ කතාවේ අනෙක් පැත්ත. රාජ්‍යයක්
නැති ව තිබූ රටක, සමාජයක රාජ්‍යයක් ඇති වන්නේ කොහොම ද කියන එක
එහි විස්තර වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව කියන දේ බොහෝ වෙලාවට හරියනවා, වැඩ
කරනවා. අද වන විට රාජ්‍යය එන්න එන්න ශක්තිමත් වෙනවා. රාජ්‍යය වියැකී යෑමක් නම්
කොහේවත් පේන්න නැහැ.
නිව්ටෝනීය සංකල්ප බටහිර භෞතික විද්‍යාවේමත් අසාර්ථකයි. මා සඳහන්
කරන්නේ ක්වොන්ටම් වෙනස්කම් ගැන නො වෙයි. නිව්ටෝනීය සංකල්ප ක්‍රියාත්මක වන්නේ දෙන
ලද අවකාශයක හා කාලයක. එහි අවකාශය එක් අතකින් ගතහොත් නිෂ්ක්‍රීයයි. අවකාශයේ අංශු
චලනය වෙනවා. අවකාශය නිසොල්මනේ තියෙනවා. මේ අවකාශයේ වස්තු ගුරුත්වාකර්ෂණ කතාව අනුව
සංකෝචනය වෙනවා. ගුරුත්වාකර්ෂණය යටතේ හැකිළීමක් සිදුවෙලා අවසානයේ දී පීඩනයට හැකිළීම
නවතා ගන්න බැරි වෙලා ඊනියා කළු කුහර හැදෙනවා. සාමාන්‍ය තත්වයක දී වස්තුවක පීඩනය
විසින් ගුරුත්වාකර්ෂණ හැකිළීම නවතනවා.
එහෙත් අවකාශය නිෂ්ක්‍රිය නැත්නම් අවකාශයත් ක්‍රියාත්මක
වෙනව නම් (අවශ්‍ය නම් පංච මහා භූතයන්ගේ ආකාශ කියා හිතන්න) අවකාශය යම් අවස්ථාවක
ඊනියා ගුරුත්වාකර්ෂණය හැකිළීමට එරෙහි ව ක්‍රියා කරනවා නම් අර හැකිළීම වෙනුවට ප්‍රසාරණයක්
තල්ලු කිරීමක් සිදුවන්න පුළුවන්. එවිට වස්තුවේ (ගෝලිය යැයි ගනිමු) ද්‍රව්‍යය
කේන්ද්‍රය දිසාවට ඇදගන්නවා වෙනුවට කේන්ද්‍රයෙන් පිටතට තල්ලු වෙන්න පුළුවන්. එසේ
තල්ලු වී ගොස් එක් තැනක (පෘෂ්ඨයක) නවතින්න පුළුවන්. ඒ පෘෂ්ඨයේ පෘෂ්ඨ ඝනත්වය අනන්තය
කරා ඇදී යනවා වෙන්න පුළුවන්. ඊනියා කළු කුහර යනු ඒ ඝනත්වය ඉතා අධික වූ පෘෂ්ඨ වෙන්න
පුළුවන්. අර සුද්දන් කියනව වගේ ඒ කතාව මිළ දී ගන්න කෙනකු ඉන්නවා ද? අර
හැම දේ ම දන්න බටහිර වෙද මහත්තුරු මොකද කියන්නෙ?
එය පැත්තකින් තියමු. රාජ්‍යයට මොකද වෙන්නෙ. අද
බටහිර තියෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ජනතාව සඳහා වූ ජනතාව විසින් පත්
කෙරෙන ජනතාවගේ රාජ්‍යයක් කියල කියනවා. ඒත් එයට ජනතාව සහභාගි වන්නේ කොයි අවස්ථාවේ ද? මට
නම් කිසිම අවස්ථාවක් පෙනෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මනඃකල්පිතයක්
පමණයි. එය ටික දෙනකුගේ පාලනයක්. කතිපයාධිපත්‍යයක්.
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දේශපාලන සංවිධාන
අවශ්‍යයයි. ඒ කියන්නෙ දේශපාලන පක්‍ෂ අවශ්‍ය වෙනවා. අද ලංකාවේ ක්‍රියාත්මක වන ජේ
ආර් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ස්වාධින කණ්ඩායමකට දිස්ත්‍රික්කයක් ජය ගන්න එක පහසු
නැහැ. ප්‍රාග් ජේ ආර් ප්‍රජාතන්ත්‍රවාදයේ නම් ස්වාධීන අපේක්‍ෂකයකුට ඉදිරිපත් වී
මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමේ අවස්ථාව තිබුණා. අද එහෙම බැහැ. පක්‍ෂයකින් ඉදිරිපත්
වෙන්න ඕන. පක්‍ෂය ඉදිරිපත් කරන කණ්ඩායමට නම දාගන්න ඕන. දැන් ඔය කණ්ඩායම තෝරන්නෙ
ඊනියා ජනතාව නොවෙයි. ඒ තේරීම සඳහා මහා ජනතාවක් ඉන්නවා. ඔවුන් පක්‍ෂවල නිලතල දරණ
මහා ජනතාව.
ඒ මහා ජනතාව ඉදිරිපත් කරන ලැයිස්තුවලට ජනතාව
ඡන්දය දෙනවා. ඉන්පසු ඒ ලැයිස්තුවේ ඉන්න කිහිප දෙනකුට මනාප දෙනවා. ජනතාවට පුළුවන් ද
මහා ජනතාව ඉදිරිපත් කරන ලැයිස්තුවේ නැති අයකුට මනාපයක් දෙන්න. දෙන්න පුළුවන් එත්
මැතිවරණ කොමිසම ඒ ඡන්දය අවලංගු කරනවා. අනෙක් අතට අද ස්ථාපිත වෙලා තියෙන ඊනියා
ද්විපාක්‍ෂික ක්‍රමය යටතේ අනෙක් පක්‍ෂවලට ඒ
තරම් ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඒ අනෙක් පක්‍ෂ සුදුසු කියන එක නොවෙයි මා
කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ දිහා බැලුවම එක පේනවා. ඒත් එවැනි සුදුසු පක්‍ෂයක්
ඇති කර ගත්තත් ජනතාව ඡන්දය දෙන්නේ නැහැ. ජනතාව මොන බයිලා කිවුවත් විශ්වාස කරන්නේ
ප්‍රධාන පක්‍ෂවල මහා ජනතාව පමණයි.
දේශපාලන බලය ලබා ගැනීමට අවශ්‍ය නම් පළමුව ඊනියා
ප්‍රධාන පක්‍ෂයකට බැඳෙන්න ඕන. ඉන් පසු මහා ජනතාවත් එක්ක එකතු වෙන්න ඕන. ඉන්පසු
ලැයිස්තුවට යන්න ඕන. ලැයිස්තු දෙවර්ගයක් තියෙනවා. ජනතා ලැයිස්තුව හා ජාතික
ලැයිස්තුව කියා. ජනතා ලැයිස්තුවේ නම් මළ ගෙවල් මගුල් ගෙවල් කොටහළු ගෙවල් අත්
හරින්න බැහැ. ජාතික ලැයිස්තුවේ නම් මහා ජනතාවට වඩ වඩා කිට්ටු වෙන්න ඕන. සියල්ල
වන්නේ මහා ජනතාවට අවශ්‍ය අන්දමට. ජනතාවට මහා ජනතාව ඉදිරිපත් කරන අයගෙන් කිහිප
දෙනකුට මනාප දීමේ අවස්ථාව පමණක් හිමි වෙනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තමයි
බටහිරයන් ලෝකයට දී ඇති ලොකුම මායාව, මනඃකල්පිතය. නම කුමක් වුවත් එය
කතිපයාධිපත්‍යයක්. සුද්දන්ගෙ පෞද්ගලික නම් හැර අනෙක් නම් ගැන විශ්වාසයක් තියන්න
බැහැ. ජෝන්ගෙ මුුණුබුරත් ජෝන්. ජෝ බයිඩන් ජෝ ම තමයි. සුද්දන් පෞද්ගලික නම් කෙටි කරන්න හපන්නු. විලියම් බිල්
වෙනවා. නිකොලස් නික් වෙනවා. වැලන්ටයින් දිනය වැල් දිනය කරන්නෙ නැත්තෙ මොක ද? වල්
දිනය නොවෙයි. ඒ පෞද්ගලික නම් හැරෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය
ගුරුත්වාකර්ෂණය වගේ නාම වැල් බයිල නැත්නම් මනඃකල්පිත නැත්නම් පට්ටපල් බොරු.
මගේ මූලික ප්‍රශ්නය යම් රටක තිබිය යුතු රාජ්‍යය
කුමක් ද කියන එක. අද මූලික වශයෙන් බටහිරයන් තම ආධිපත්‍යය පවත්වාගෙන යන්නෙ ඔවුන්
එයට දෙන පිළිතුර මත පදනම් වෙලා. ඔවුන් කියන්නෙ ඔවුන් අර්ථදක්වන විධියට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී
රාජ්‍යයක් තියෙන්න ඕන කියල. ඒ රාජ්‍යයෙ ඊනියා මානව අයිතිවාසිකමුත් ඔවුන් අර්ථදක්වන
විධියට තියෙන්න ඕන. වෙනත් වචනවලින් කියනව නම් රටක බටහිරයන් විසින් සැදුණු බටහිරයන්
සඳහා වූ බටහිරයන්ගෙ රාජ්‍යයක් තියෙන්න ඕන. එසේ නොවන රාජ්‍යයක් තියෙනව නම් බටහිරයන්
තමන්ගෙ ආරක්‍ෂා කිරීමට ඇති වගකීම (R2P) වැනි වැල් බයිලවලට මුවා වෙලා හැකි නම්
ඒ රාජ්‍යය වට්ටනවා. එතනදි ඔවුන් යොදා ගන්නෙ ඒ රටවල ඊනියා මානව අයිතිවාසිකම් ආරක්‍ෂා
කිරීම කියන එක.
බටහිරයන්ගෙ රටවල මානව අයිතිවාසිකම් කියන්නෙත්
ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම වැල් බයිලාවක්. කවුද අහන්න යන්නෙ කළු මිනිසුන්ගෙ
ආසියාතිකයන්ගෙ ක්‍රිස්තියානි නොවන්නන්ගෙ මානව අයිතිවාසිකම් රැකෙනවා ද කියල. තම රටේ
සංස්කෘතිය අනුව ජීවත් වෙන්න බැරි නම් ආපු රටවලට යන්න කියල මුස්ලිමුන්ට කියා ඇත්තෙ
එක් බටහිර රටක් පමණක් නො වෙයි. එංගලන්තය ඉතා සියුම් ව මේ හැම එකක් ම කළමනාකරණය
කරනවා. ඔවුන් කාටවත් කියන්නෙ නැහැ තම රටේ සංස්කෘතිය අනුව ජීවත් වෙන්න කියා. ඔවුන්
නොකියා ම එසේ ජීවත් කරවනවා. ඒ තමයි ඉංගිරිසි කළමනාකරණය. අපරාදෙ කියන්න බැහැ
මෙරට අග්‍රාණ්ඩුකාරයකු ව සිටි සෝල්බරි අහල
තියෙනව සිංහලයන්ට එහෙම කරන්න බැරි ඇයි කියල. ඒක මොනව වුණත් හොඳ ප්‍රශ්නයක්.
එංගලන්තෙ මුස්ලිම් නගරාධිපතිල කී දෙනෙක් ඉන්නවා ද? ඔබාමා ජනාධිපති වුණෙ කළු හින්ද ද ඔහුගෙ ක්‍රිස්තියානි සංස්කෘතිය හින්ද ද? කමලා
හැරිස් උප ජනාධිපති වුණෙ දකුණු ආසියාතික සම්භවය හින්ද ද ඇගෙ ක්‍රිස්තියානි
සංස්කෘතිය හින්ද ද?
බටහිරයන් ඊනියා මානව අයිතිවාසිකම් යොදා ගන්නෙ තමන් අකමැති ආණ්ඩුවලට විරුද්ධව කටයුතු කරන්න ඕන වුණා ම. යම් රටක තියෙන්න ඕන ආණ්ඩුව තීරණය කරන්න ඕන ඒ රටේ ජනතාව (මහා ජනතාව යැයි කියමු) මිසක් බටහිරයන් නො වෙයි. ලෝකයේ තියෙන දැනුම් ආධිපත්‍යය නිසා සංකල්ප නිර්මාණය කරන්නෙ බටහිරයන්. ආරක්‍ෂා කිරීමේ වගකීම කියන එක අප කැමති ආණ්ඩුව ආරක්‍ෂා කිරීම කියල අපි අර්ථදක්වමු. ඒත් මා දන්නවා මෙතැනදි අප කියන්නෙ කවුද කියන එක ප්‍රශ්නයක් වෙන බව. රටේත් දැනුම් ආධිපත්‍යය තියෙන්නෙ පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට. ධම්මික වෙද මහතාගෙ පැණිය වෙලාවෙ බටහිර වෙද මහත්තුරු තමන්ට නොවෙයි තමන්ගෙ ස්වාමිවරුන්ටත් ප්‍රතිකාරයක්
නැති වෙලාවෙ රෝගීන් නොවූ ආසාදිතයන් සුද්දන්ගෙ 1898 නිරෝධායන ආඥා පනත යටතෙ තම ආධිපත්‍යය යටතට ගෙන කාලෝ ක්‍රමයට ඊනියා රෝගීන් සුව කරන අන්දම අපි බලා ගෙන ඉන්නවා. ඔවුන් රෝගීන් නොවෙයි නිරෝගීන් සුව කරනවා! මේ පඬි නැට්ටන්ට නොවෙයි අපි අප කියන්නෙ. බටහිරයන්ගෙ දාසයන් නොවන අයයි අප කියන්නෙ. බටහිරයන්ගෙ දාසයන් පිට අය, පරයන්. අපි වෙනුවෙන් අපි. මේක තමයි යුද්ධය.