Main Logo

Sunday 21 March 2021

මධ්‍යම පංතිකයන් බිය වද්දන ජෙනීවා

 

මධ්‍යම පංතිකයන්  බිය වද්දන ජෙනීවා

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කියන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයේ එක් දේශපාලන මණ්ඩලයක ලංකාවට විරුද්ධ ව එංගලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයක් ගෙනෙන යෝජනාවට හෙට ඡන්දය පැවැත්වීමට නියමිතයි. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඡන්දයක් ගනීවි කියා. යම් රටක් ඉල්ලා සිටින්න ඕන ඡන්දයක් ගන්න කියා. නැත්නම් යෝජනාව සම්මුතියෙන් සම්මත වූ ලෙස සලකන්න පුළුවන්. යෝජනාව එලෙස සම්මුතියෙන් සම්මත වූවක් ලෙස සැලකෙනවාට වඩා පරාජය වෙන එක හොඳයි.

 

ලංකාව ඔය මණ්ඩලයේ සාමාජික රටවල් හතළිස්හතෙන් එකක් නො වෙයි. ඒ නිසා ලංකාවට යෝජනාවට ඡන්දයක් ගන්න කියා ඉල්ලන්න බැහැ. ලංකාවට සිද්ධ වෙනවා යම් මිත්‍ර රටක් මගින් ඡන්දයක් ඉල්ලන්න. මා හිතන්නේ ලංකාව ඒ සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කර ගත යුතු ය කියා. යෝජනාවට යම් රටවල් විරුද්ධ වේවි. තවත් රටවල් මධ්‍යස්ථ වේවි. ඒත් ඡන්දයකට ගියෙ නැත්තන් ඒ රටවල්වල ස්ථාවරය එළියට එන්නෙ නැහැ. ඒ වෙනුවට යෝජනාව සම්මුතිියෙන් සම්මත වූවක් ලෙස සලකන්න පුළුවන්.

 

තම යෝජනාව දිනුවයි කියල එංගලන්තය ප්‍රමුඛ රටවලට ලංකාවට විරුද්ධ ව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. ඔය ජෙනීවා මණ්ඩලය අපේ රටවල ඊනියා උගත් මධ්‍යම පංතියට වැදගත් වෙනවා ඇති. ඔවුන්ගෙ පිටරට ඉන්න මිත්‍රයන්  ලංකාව මානව අයිතිවාසිකම් රකින්නෙ නැති රටක් හැටියට  දකින එක මේ මැද පංතියෙ නෝනලට මහතුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපට ඒ ගැන කරන්න දෙයක් නැහැ. ඒ මිතුරන් ඕනෑ දෙයක් හිතා ගත්තාවෙ. ඔය මණ්ඩලය හුදෙක් බටහිර දේශපාලනය තහවුරු කිරීම සඳහා අවුරුදු කිහිපයකට පෙර අටවාගත් තවත් අටමගලක් පමණයි.

 

ඉම්රාන් ඛාන් ලංකාවට ආවේත් අගමැති මහින්ද බංග්ලාදේශයට ගියේත් ජෙනීවා නිසා මිස සැප දුක් සොයන්න නො වෙයි. අප අද මුස්ලිම් රටවල ඡන්ද බලාපොරොත්තු වෙනවා. එහි වරදක් නැහැ. යෝජනාව පරාජය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ එසේ නූණොත් අපට ආර්ථික වශයෙන් පාඩුවක් වෙන නිසා නො වෙයි. යෝජනාව පරාජය කර නන්දිකඩාල් හි දී මෙන් එංගලන්තයට තවත් කණේ පාරක් ගැසීම සඳහා. ඒත් අප අද ඡන්ද හිඟමනේ යන්න හොඳ නැහැ. ඡන්ද ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයට ඇති මුස්ලිම් සම්බන්ධය යටපත් කරන්න අවශ්‍ය නැහැ. බුර්කා තහනම් කරන්නෙ නැහැ කියන්න ඕනෙත් නැහැ.

 

එමෙන් ම අප ඉන්දියාවෙ ඡන්දය ලබා ගැනීමට පළාත් සභා ඡන්දය තියන්න පොරොන්දු වෙන්න ඕනෙත් නැහැ. ඉන්දියාව අපට කාලයක් තිස්සේ විරුද්ධයි. අවශ්‍ය නම් මෙවරත් විරුද්ධ වුණාවෙ. ප්‍රශ්නයක් නැහැ. අපි පළාත් සභා කෙළවරක් කරමු. පළාත් සභා කිසිම වැඩක් ඇති සංවිධාන නො වෙයි. ඒ සභා ඇති කෙළෙ ඉන්දියාවෙ වුවමනාවට තමිල්නාඩුව සනසන්න. ඒ ඉන්දියාව අප මත බලයෙන් පටවපු සංවිධාන. පළාත් සභාවලින් විසඳන්නෙ මොන ප්‍රශ්නය ද?

 

දෙමළ ජනතාවට ඊනියා අසාධාරණයක් ඇත්නම් එය කොළඹ ඉන්න දෙමළ ජනයාටත් තියෙන්න ඕන. උතුරු හා නැගෙනහිර එක්කරල වෙල්ලාලයන්ට පළාත් සභාවක් හදල දුන්නයි කියල විසඳෙන ප්‍රශ්නය මොකක් ද? අද ලංකාවෙ දෙමළ ජනයාගෙන් වැඩි පිරිසක් ඉන්නෙ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. ඒ පළාත් දෙකට ඊනියා දෙමළ පළාත් සභාවක් දීල ඒ පළාත්වලින් පිට ඉන්න දෙමළ ජනයාගෙ තියෙනවයි කියන ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද? අනෙක් අතට නැගෙනහිර පළාතෙ දෙමළ ජනයා වෙල්ලාලයන්ට යට වේවි ද?

 

ජෙනීවාහි ඉන්දියාවෙ ඡන්දය ලබා ගැනීම සඳහා පළාත් සභා ඡන්ද තියන්න ඕන නැහැ. මුස්ලිම් රටවල ඡන්ද සඳහා බුර්කා තහනම් නොකර ඉන්නත් ඕන නැහැ. ඒ ස්ථාවරය තමයි අප ගත යුත්තෙ. ජෙනීවාහි අපට විරුද්ධ යෝජනාව පරාජය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ එංගලන්තයට තවත් කණේ පහරක් ගහන්න. එහෙත් එසේ බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔය ජෙනීවා  යෝජනාවල නෛතික බැඳීමක් නැහැ. බටහිර අධ්‍යාපනයෙන් උන්මන්තක වෙච්ච මධ්‍යම පංතිකයන්ගේ ඊනියා ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා අප අපේ ජාතික ප්‍රතිපත්ති පාවා දිය යුතු නැහැ.

 

මේ ආණ්ඩුව හා විදේශ ඇමතිවරයා පහුගිය කාලයේ විශාල සේවයක් කර තිබෙනවා. මහාරාජාලා ද ඊනියා ජාතික චින්තකයන් ද ඇතුළුව ඇතැමුන් ඒ සියල්ල අමතක කර ආණ්ඩුවට පහර දෙන්නෙ වෙනත් න්‍යාය පත්‍ර සහිත ව. අපට එහෙම රුදාවක් නැහැ. එමෙන් ම පාස්කු කොමිසමේ වාර්තාව තමන්ට අවශ්‍ය ආකාරයට නොලියැවී ඇතැයි කියා තවත් පිරිසක් ආණ්ඩුවට පහර ගහනවා. ඒ පහර ගැසීම්වල වාසියත් අවසානයේ දී යන්නේ ඊනියා  යහපාලන සමයමේ දී ජෙනීවා හි අපට විරුද්ධව ගෙනා යෝජනාවට අනුග්‍රහ දැක්වූ ජාති ද්‍රෝහීන්ටයි. ඒ අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමම වැදගත්. එමෙන් ම එම් සී සී ගිවිසුමෙන් ඉවත් වීම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීම ආදී වශයෙන් ජාතික වැදගත්කමක් ඇති කාර්යයන් ඉටු වී තියෙනවා.

 

අප ඒ සියල්ල අමතක කර ආණ්ඩුවට පහර ගැසීමෙන් සිදු වන්නේ නැවතත් බටහිරයන්ට අවශ්‍ය ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට අවස්ථාව සලසා දීම. ආණ්ඩුව වැරැද්දක් කරන විට අප එය පෙන්වා දෙනවා. ඒ ආණ්ඩුව පරාජය කරන්න නො වෙයි. අද ලෝකයේ බටහිරයන් ක්‍රියා කරන්නේ තමන්ට අවශ්‍ය ආණ්ඩු ඇති කර ගැනීමට. ඔවුන් අකමැති ආණ්ඩුවක් ඇති වූ විගස මානව අයිතිවාසිකම් යගදාව අරගෙන ඒ ආණ්ඩුවට පහර දෙනවා. ජෙනීවාහි රටක් එල්ල කරගෙන යෝජනා ගෙනෙන්න බැරි වුණත් බටහිරයන් තමන් අකමැති ආණ්ඩු තියෙන රටවලට විරුද්ධ ව යෝජනා ගෙනෙනවා. මෙය දේශපාලන ව්‍යාපෘතියක්. අප බටහිරයන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට යටත් නොවිය යුතුයි. හෙට යෝජනාවට කුමක් වුණත් අපි පළාත් සභා අහෝසි කරමු. බුර්කා තහනම් කරමු. බටහිර රටවල් බුර්කා තහනම් කරන කොට ජෙනීවා මානව හිමිකම් අයිතිවාසිකම් අයිතිකාරයන් කළේ මොකක් ද?