Main Logo

Sunday 3 November 2013

මන්මෝහන් සිං එන්නේ මොකට ද? කැමරන් එන්නේ මොකාට ද?


මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට එන බව දැනට දින කිහිපයකට පෙර ඉන්දීය විදේශ ඇමති අතින් කියැවිණි. ඇමතිවරයා තමා ස්ථිරව ම පැමිණෙන බව කියා අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳ නිවැරදි තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේ ය. එහි දී ඔහු කට බොරු කිවුවත් දිව බොරු නොකියන බව පෙන්වමින් කියා සිටියේ ඉන්දියාවට තව දුරටත් බලපෑම් කිරීමට හැකි වීමට නම් අගමැතිවරයා රැස්වීමට සහභාගි විය යුතු බව ය. ඒ කෙටි එහෙත් වැදගත් ප්‍රකාශය ජනමාධ්‍යවේදින්ට නො ඇසිණි. ඔවුන්ට ද තමිල්නාඩුවට ද ඇසුණේ විදේශ ඇමතිවරයා ස්ථිරව ම ලංකාවට පැමිණෙන බවට කරන ලද ප්‍රකාශය පමණකි. තමිල්නාඩුවේ බෝම්බ කිහිපයක් පිපිරුණේ විදේශ ඇමතිවරයාගේ පැමිණීමට විරුද්ධව ය. ඉන්දියාවට පකිස්ථානය හා චීනය ඉදිරියේ කොළඹ මගහැරිය නො හැකි ය. දැන් අගමැතිවරයා ද එන බව ඉන්දීය පූවත්පත්වල වාර්තා වෙයි. තමිල්නාඩුවේ තව තවත් කලබල ඇතිවීමට ඉඩ ඇත. එහෙත් අප කලබල විය යුතු නො වේ. අපි සිං පැයකට පැමිණියත්, නම ලකුණු කිරීමට පමණක් පැමිණියත් සාදරයෙන් පිළිගනිමු. එහෙත් ඔහුට බලපෑම් කිරීමට ඉඩ නො දෙමු. දහතුන ක්‍රියාත්මක කරන්නේ ද, එසේ ක්‍රියාකරන්නේ නම් ඒ කරන්නේ කෙසේ ද, දහතුන අහෝසි කරන්නේ ද ආදිය අපේ තීරණ මිස ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ හෝ බටහිරයන්ගේ තීරණ නො වේ.  අප සිංටත් අනෙක් රාජ්‍ය නායකයන්ටත් දිය යුතු වැදගත් පණිවුඩයක් වෙයි. ඒ අන් කිසිවක් නොව ඊනියා පශ්චාත් යුද සමයක් තිබිණි යැයි පිළිගත්ත ද එය විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මහඇමති ලෙස දිවුරුම් දීමෙන් පසුව අහෝසි වී ඇති බව ය. බටහිරයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන් වන ඊනියා රාජ්‍ය නොවන බැළයන්ට ද කිව යුත්තේ ඔවුන්ට සෙල්ලම් කිරීමට හැකි සදාකාලික පශ්චාත් යුද සමයක් නැති බව ය. මේ නිවට ඇංකර බැළයන් බටහිර රටවල සිටින ව්‍යාජ සරණාගතයන්ගේ මෙන් ම විසිරුණු දෙමළ ජනයාගේ ද ආධාරය ලබමින් සම්මන්ත්‍රණ උද්ඝෝෂණ පවත්වනු ඇත. ජාතිකත්ව මඟින් ඉවතට යමින් ඒ අනුව ඡන්ද පදනමෙන් ද ඈත් වෙමින් සිටින  එ ජා ප නායකයන් ද මේ උද්ඝෝෂණවලට සහභාගිවනු ඇත. අද ඉතා පැහැදිලිව සියළු ජාතිකත්ව විරෝධීහු රටටත් ආණ්ඩුවටත් රාජ්‍යයටත් විරුද්ධව බටහිරයන්ගේ තුරුළේ නැළවෙති.   

මෙවර කොළඹ පැවැත්වෙන රැස්වීම අපට ඉතා වැදගත් ය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු හිරු නොබැසි ඉංගිරිසි අධිරාජ්‍යය වෙනත් මුහුණුවරකින් පවත්වාගෙන යෑමට කරන ලද අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් පමණකි. අද එංගලන්තයට ඇත්තේ යටත්විජිත තුනක් පමණකි. ඒ වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ය. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වඩාත් ආර්ථික, සංස්කෘතික හා දේශපාලන වාසි ලබන්නේ සුදු රටවල් ය. අපට ද ශිෂ්‍යත්වයක් අධිශිෂ්‍යත්වයක් විද්‍යා උපකරණයක් ලැබෙයි. එමගින් මෙරට ඊනියා උගතුන් බා ගැනීමේ අවස්ථාව එංගලන්තයට හ පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙක් සුදු රටවල්වලට හිමි වෙයි. අප බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වී ඇති බැවින් කේම්බ්‍රිජ් ඩොයිලිගේ මුණුබුරෝ අපට කොකා පෙන්වති. ඒ කෙසේ වෙතත් මෙවර රැස්වීම ලංකාවේ පැවැත්වීම කඩාකප්පල් කිරීමට කැනඩාව පමණක් නොව එංගලන්තය ද උත්සාහ ගත්තේ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ සභාපතිවීම වැළැක්වීමට ය. එහෙත් ඔවුන්ට එය කළ නො හැකි විය. ඔවුන්ට එය දරුණු පරාජයකි. අපට ලැබෙන ශිෂ්‍යත්වය නිසා නොව, යටත්විජිතවාදීන්ගේ සැලසුම් අසාර්ථක කිරීමට අපට හැකිවීම නිසා සමුළුව ලංකාවේ පැවැත්වීම රටේත් විශේෂයෙන් ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් ජයග්‍රහණයකි. ඔවුන් විසින් යුද අපරාධකරුවකු ලෙස චෝදනා කරනු ලැබූ ජනාධිපතිතුමාගේ සභාපතිත්වය ඉදිරි අවුරුදු දෙකෙහි දී පිළිගැනීමට ඔවුන්ට සිදු වී තිබේ. එහෙත් ඔවුන්ගේ පළිගැනීම්වල කෙළවරක් නැත. ඒ රටවල් පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිපාදන ඉදිරි වසරවල නොදීමට තීරණය කර ඇත. ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවීම ය.

දෙවියන් වහන්සේ මියගියත් තවම භූමදානය කෙරී නැත. කඩා වැටෙන යුදෙවු ක්‍රිස්තියානි තවමත් ලෝක ආධිපත්‍යය දරයි. කැමරන් ලංකාවට එන්නේ අපට ඒ හයිය පෙන්වීමට ය. ඔහු හන්දියේ ගණන්කාරයාගේ චරිතය ඇඟට ගෙන ඇත. ඔහු මියන්මාරයේ බටහිර ගැති අවුං සාන් සුකීට කියා ඇත්තේ අපේ ජනාධිපතිතුමාට තදින් කතාකරන බව ය. කැමරන් සමග චැනල් ෆෝ හා වෙනත් බටහිර මාධ්‍යකරුවන් ද අපට ඊනියා මානව අයිතිවාසිකම් ඉගැන්වීමට කටයුතු කරනු ඇත. ඔවුන්ට කියන්නට ඇත්තේ එකකි. සමුළුව ලංකාවේ පැවැත්වීම හරි ද වැරදි ද යන්න  තීරණය කරන්නේ ඔවුන් නො වේ. එය තීරණය කෙරී ඇත. ඔවුන්ගේ රාජකාරිය කිරීම පසෙකින් තබා ඔවුන් ආණ්ඩු පෙරළීමට, රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ක්‍රියා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීම රජයේ අදාළ අංශවලට භාරවෙයි. රාජ්‍ය නොවන බැළයන්ට ද ඒ බව මතක් කළ යුතු ය. මානව අයිතිවාසිකම් රැකීමේ මුවාවෙන් මෙරට හෝ පිටරට හෝ කිසිවකුට අපේ ස්වෛරිභාවයට ඇඟිලි ගැසීමට අයිතියක් නැත. දෙවියන් වහන්සේ භූමදානය කිරීමට කාලය පැමිණ ඇත. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බිඳ දැමීමට පියවර ගැනීමට සමුළුව යොදාගත යුතු ය. කැමරන්ට අවශ්‍ය නම් යාපනයට ගියාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත් කැමරන්ටවත් වෙනත් අයකුටවත්, විදේශීය රාජ්‍යයකටවත්, කිසිම ආයතනයකටවත්,  මෙරට  රාජ්‍යයේ අනුමැතිය නැතිව කිසිම පළාත් සභාවකට, පළාත් පාලන ආයතනයකට, වෙනත් ආයතනයකට ආධාර කිරීමට ඉඩදිය යුතු නො වේ. මේ ආධාර ආණ්ඩු වෙනස් කිරීමට පමණක් නොව රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ද යොදා ගැනීමට ඉඩ ඇත. රටේ ඒකීයබව වෙනස්කිරීම රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීමකි. මෙරට අනාදිමත් කාලයක සිට එක්සේසත් රාජ්‍යයකි. එක්සේසත් යනු ඒකීය රාජ්‍ය ක්‍රමයක් වුවත් එක්සේසත් සංකල්පය අපට ලැබුණේ බටහිරයන්ගෙන් නොවන බව පඬියන්ගේ ද දැනගැනීම සඳහා සඳහන් කළ යුතු ය. එක්සේසත් රාජ්‍යයක් වෙනුවට රනිල්ගේ හෝ වෙනත් අයකුගේ හෝ එක්සත් රාජ්‍යයකට අපි එකඟ නො වෙමු. එක්සේසත් හා එක්සත් යනු දෙකක් මිස එකක් නො වේ. රාජ්‍ය නොවන බැළයන්ට ජනමාධ්‍ය මගින් ලැබෙන ප්‍රචාරයේ ප්‍රමාණයට ජනපදනමක් නැත. ඔවුන්ට ඇත්තේ කැමරන්ලාගේ පවුම්, යුරෝ හා ඩොලර් පමණකි. කැමරන් සිතන්නේ ඔහු තුන්වැනි ජෝර්ජ්ගේ අගමැති කියා ය. දෙවැනි එලිසබෙත්ට තුන්වැනි ජොර්ජ්ට හෝ වික්ටෝරියාට හෝ තිබූ බලය නොමැති බව ඔහුට කියා දෙමු. මියගිය දෙවියන් වහන්සේගේ භූමදාන කටයුතු සැලසුම් කිරීම ලංකාවේ දී ආරම්භ කරමු.


නලින් ද සිල්වා

2013-11-03