Main Logo

Sunday 24 November 2013

අයවැය, වකුගඩුව, දෙමළ ප්‍රශ්නය හා එංගලන්තය


කරුණු හතරක් ලෙස පෙනී ගිය ද මෙහි ඇත්තේ එකම කරුණකි. එ ජා පක්‍ෂය අයවැය ද පොදු රාජ්‍ය මණ්ඩල නායක රැස්වීම ද වර්ජනය කළේ ය. එය ප්‍රශ්නයක් නොවන්නේ එ ජා පක්‍ෂය සමස්ත දේශපාලනය ම වර්ජනය කර දේශපාලනයෙන් ඉවත් වී ඇති බැවිනි. අනෙක් වර්ජිතයන්ගේ නම් සඳහන් කිරීම වුව ද අනවශ්‍ය ය. මේ පක්‍ෂ සියල්ල ම කටයුතු කරන්නේ එංගලන්තයට (බටහිරට) අවශ්‍ය අන්දමට ය. ඔවුන්ගේ දැනුම මූලික ව එක්කෝ ලිබරල් ය. නැත්නම් සමාජවාදී ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විජාතික ය. එහෙත් මෙයින් කියැවෙන්නේ ආණ්ඩුව මුළුමනින් ම ජාතික බව නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වුව ද එය උපදෙස් ගන්නේ විජාතික දැනුමැත්තන්ගෙනි. ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන අති බහුතරය ජාතික බලවේගයට අයත් වෙති. එහෙත් උපදේශකයන් සිතන්නේ එංගලන්තයට අවශ්‍ය අන්දමට ය. අයවැයෙන් ආණ්ඩුව සහන රාශියක් සාමාන්‍ය ජනතාවට ලබා දී ඇත. ඒ ආණ්ඩුවේ දේශපාලනයට එකඟ ව ය.  එය ප්‍රශංසනී ය. එහෙත් ඒ අතර බටහිර දැනුම ගැන ආණ්ඩුවේ උපදේශකයන් දක්වන ගැති බව ද අයවැයෙන් ප්‍රකාශ වෙයි. අයවැයෙන් විශ්වවිද්‍යාලයීය ඇදුරන් ඇතුළු බටහිර වෘත්තීයකයන්ගේ දීමනා වැඩි වී ඇත. බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයට කෝටි ගණනින් වෙන් කෙරී ඇත. එහෙත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ හා අනෙක් ජාතික දැනුම් ඇත්තන්ගේ ශුභ සාධනයට සතපහක් වෙන් කෙරී නැත. මෙරට ට වැඩක් ඇත්තේ විජාතික දැනුමෙන් නොව ජාතික දැනුමෙනි. මම ද බටහිර විද්‍යාව උගත්තෙමි. එහෙත් මගේ බටහිර දැනුම රටට බරක් පමණකි. හෝඩියේ සිට ආචාර්ය උපාධිය තෙක් ජනතාව මා වෙනුවෙන් වියදම් කළ මුදල මට කිසිදාක ආපසු ගෙවිය හැකි නො වේ. මා මිය යන්නේ ජනතාවට ණය කරුවකු ලෙස සහ ජනතා මුදල් අනීවාරතේ වියදම් කළ අශිෂ්ටයකු ලෙස ය. 

ආණ්ඩුව වකුගඩු රෝගයට පිළියම් සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. ඒ ගැන මම පෞද්ගලික ව සතුටු වෙමි. ඒ අතර කණගාටු වෙමි. මේ අසිත තවුසාට ඇති වූ ආකාරයේ හැඟීම් නො වේ. ඇතැම් විට මා නායකත්වය දුන් කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු කණ්ඩායම ආසනික් හෙළිදරවුව නොකරන්නට වකුගඩු රෝගය පිලිබඳ ප්‍රශ්නය ජනතාවගේ අවධානයට යොමු නොවන්නට තිබිණි. මා නොවන්නට අදාළ පරීක්‍ෂණ ඒ විශ්වවිද්‍යාලයේ නොකෙරෙන බව නම් මට සහතික ය. ඒ පර්යේෂණ දිගට ම කරගෙන යෑමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කසිකබල් උගතුන්ගේ විරෝධය නොතකා මට සේවා දිගුවක් ලබාදීම ගැන ජනතාව ආණ්ඩුවට ණය ගැති ය. මගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව මේ ඊනියා විද්‍යාඥයෝ ඒ පරීක්‍ෂණ නොකෙරෙන තැනට වග බලාගත්හ. කැලණිය සරසවියට ලැබෙන්නට තිබූ ගෞරවය නැතිකිරීමට කටයුතු කළ එක් අයකු අද එහි උපකුලපතිවීමට වළිකන බව සැළ ය. කෙසේ වුවත් ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ, අධිකාරි ඒ රෝගය පිළිබඳ හැදෑරීමට පත්කළ කිසිම කමිටුවකට මා ඇතුළත් නොකිරීමට වගබලාගත්තේ ය. ඒ මට බටහිර රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැති වීම නිසා නොවන්නේ මා තරම්වත් ඒ පිළිබඳ දැනුමක් නොමැති අය ද අදාළ කමිටුවලට ඇතුළත් වූ බැවිනි. මේ විජාතික උගතුන්ට ඇති ප්‍රශ්නය මා දේශීය දැනුමක් හා දේශීයව දැනුම් ලබාගැනීමක් ගැන කතාකිරීම ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊනියා ප්‍රකාශකයකු යැයි කියාගන්නකු පසුගිය දා අමාත්‍යාංශයේ ඉහළ ම නිලධාරීන් දෙදෙනකු හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙදෙනකු ඉලෙක්ට්‍රොනික සඟරාවක පළකළ පත්‍රිකාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (මේ සංවිධානය ගැන හෝ බටහිර වෛද්‍යවිද්‍යාව ගැන හෝ මගේ කිසිම ගෞරවයක් හෝ පැහැදීමක් හෝ නැත.) වාර්තාවක් යැයි හුවා දක්වමින් ඒ ඊනියා වාර්තාවට අනුව (කෘෂිරසායනික) වකුගඩු රෝගයට හේතුව ආසනික් නො වේ යැයි කීමට වග බලාගත්තේ ඔහුගේ කසිකබල් ඊනියා යථාර්ථවාදී බටහිර අදහස්වලට මගෙන් පහර වදින නිසා විය හැකි ය. වකුගඩු රෝගීන් මළත් ඔවුන්ට කමක් නැත. දේශීය දැනුමට තැනක් නොදීම ඔවුන්ගේ එකම අරමුණ ය. ජනාධිපතිතුමා එසේ නොසිතුවත් ආණ්ඩුවේ සතපහක්වත් නොවටිනා බොහෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට අනුව මම අන්තවාදියෙක්මි, කලබලකාරයෙක්මි. ඔවුන්ගෙන් ඇතැමකු සිතනු ඇත්තේ මා උන්මන්තකයකු බව ය.       

ආණ්ඩුව අයවැයෙන් රජරටට ඊනියා පානීය ලබාදීම සඳහා ප්‍රතිවර්ත්‍ය ආස්‍රැතිය (රිවර්ස් ඔස්මොසිස් හෙවත් ආර් ඕ) පදනම් කරගත් පෙරන යන්ත්‍ර බෙදා හැරීමට රුපියල් කෝටි ගණනක් වෙන්කර ඇත. මෙය තාවකාලිකව යහපත් වුවත් පිළියම එය නො වේ. මේ විජාතික උගතුන්ගේ උපදේශ මත කෙරෙන වැඩ ය. මධ්‍ය කාලීන ව කළ යුත්තේ කෘෂිරසායනික කෘෂිකර්මයෙන් ගොවියන් මුදා ගැනීම ය. ඒ බටහිර ම තවත් සංකල්පයක් වූ කාබනික පොහොර යෙදීමෙන් නො වේ. ගොවිතැන සඳහා යෙදිය හැකි දේශීය පොහොර රාශියක් වෙයි. කෘෂිරසායන යොදා ජලය අපවිත්‍ර කර පෙරන යන්ත්‍ර මගින් ජලය පිරිසිදු කිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ඇතැම් විට එකම සමාගමට කෘෂිරසායන ද පෙරන යන්ත්‍ර ද ආනයනය කිරීමේ “භාග්‍යය” එමගින් උදාවීමට ද ඉඩ ඇත. එහි දී කෙටිකාලීන ව කළ යුත්තේ ජනතාවට වැව්ජලය ලබාදීමට කටයුතු කිරීම ය. වැව්ජලය පානය කරන්නන් අතර වකුගඩු රෝගය දක්නට නැත. විලච්චියේ ගැමියන් අප සමග පැවසුවේ ඒ බව ය. විලච්චි ග්‍රාම නිලධාරී වසම තුළ පමණක් වැව් තුන්සියයක් පමණ ඇති බව අපට දැනගන්නට ලැබිණි. මේ ඇතැම් වැව් (විල්) ප්‍රතිසංස්කරණයෙන් පසුව ඊනියා පානීය ජලය ලබාදීමට යොදා ගත හැකි බව ගම්මු පවසති. විලච්චිය, විල්පත්තුව, විල්ලුව ආදියෙන් කියැවෙන්නේ හෙළ (යක්‍ෂ ගෝත්‍රික) බොදුනුවන්ගේ විල් සංකල්පය ය. විලට පසුව පැමිණි සංකල්පයක් වන වැව සිංහල බෞද්ධ සංසකෘතියට අයත් වෙයි. ආණ්ඩුව ගැමියන්ගෙන් උපදෙස් ගැනීමට කටයුතු කළ යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. එහෙත් පාරම්පරික වෙදමහතුන්ට ඒ සඳහා ප්‍රතිකාර ඇත. ආණ්ඩුව ඒ වෙදමහතුන් සොයාගෙන රෝගීන්ට ප්‍රතිකාරකිරීමට වහා වැඩ පිලිවෙළක් සකස් කළ යුතු ය. ඒ සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කළ යුතු නො වේ.  


දෙමළ ප්‍රශ්නයේ ද මුල ඇත්තේ එංගලන්තයෙහි යෂ බටහිර දැනුමෙහි ය. එංගලන්තය නොවන්නට මෙරට වකුගඩු රෝගයවත් දෙමළ ප්‍රශ්නයවත් නැත. චැනල් 4 යනු කැමරන්ට අවශ්‍ය වීඩියෝපට නිෂ්පාදනය කරන ආයතනයක් පමණකි. කැමරන් නොමග ගොස් ඇතැයි මුරලිදරන් පවසා තිබිණි. ඒ ප්‍රකාශය ගැන මුරලිදරන්ට අප ස්තුතිවන්ත විය යුතු ය. එහෙත් සිදුවන්නේ කැමරන් හා ඔහුගේ මුතුන් මිත්තන් විසින් දෙමළ ජනයා නොමග හරිනු ලැබීම ය. මේ පිළිබඳ තව දුරටත් විස්තර කළ යුතු ය. කෙසේ වෙතත් ආණ්ඩුව කැමරන්ට මුහුණ දීමේ දී ඊනියා දේශපාලන විශ්ලේෂකයන්ගෙන් උපදෙස් නොපැතිය යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2013-11-24