සිංහල ලිත් ඉලක්කම්
දේශපාලන අනාථයන්ගේ අම්බලම
අද මෙරට දේශපාලන අනාථයන් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ අම්බලමක. ඒ පිරිස තමන් වම ද දකුණ ද කියාවත් දන්නේ නැහැ. සුප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ වචනයෙන් කියනවා නම්, ඔවුන් හිටපු ගමන් අම්බලමෙන් පිටතට ඇවිත්, ඉව වැරදුණු බල්ලන් මෙන් එහාට දුවනවා, මෙහාට දුවනවා. බොරු පඬි කතා ඇද බානවා.
මා කතා කරන්නේ මෙරට සාම්ප්‍රදායික වම ගැන නො වෙයි. තිහේ දශකයේ මුල බිහි වූ වාමාංශික ව්‍යාපාරය යටත්විජිත විරෝධි වුණා. එහි යම් ජාතිකත්වයක් තිබුණා. මාක්ස්ගේ එංගල්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ කිසි දා වලංගු නොවූ අදහස් වැමෑරීමක් වුව ද රට නිදහස් කිරීම පිළිබඳ අදහස් ජාතිකවාදීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. සාම්ප්‍රදායික වම ජාතිය නොව පංතිය ඉහළින් තැබීමෙන් සහ ඇතැමුන් ජාතිය යන්න ප්‍රතික්‍ෂෙප කිරීමෙන් විශාල වශයෙන් පැතිරීමට තිබූ ඉඩකඩ අහිමි කර ගත්තා. ජාතිකත්වයක් ඇති පක්‍ෂයක් ලෙස ශ්‍රී ල නි ප සකස් වීමෙන් පසු වමේ අභාවය ඇරඹුණා.
ඔවුන් තම ඊනියා පංති දේශපාලනයෙන් දෙමළ ජාතිවාදයට පක්‍ෂපාතිවුණේ එය ඉංගිරිසින්ගේ අවශ්‍යතාවට ඇති කළ එකක් බව නොදැනීමෙන්. නැති කම්කරු පංතියක් මුල් කරගත් දේශපාලනයක යෙදෙන විට යටත්විජිතවාදය වුණත් අවබෝධ කර ගත්තේ එහි ඇතැම් අංග මගහැර. ඒ කෙසේ වෙතත් සාම්ප්‍රදායික වමේ නායකයන් සිංහලත්වය නැති කර ගත්තේ නැහැ. ඔවුන්ට ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය සමග සම්බන්ධකම් ඇති කර ගැනීමට හැකි වූයේ එබැවින්.
සාම්ප්‍රදායික වම පක්‍ෂයක් හරි පක්‍ෂ හැටියට හරි එ ජා පක්‍ෂයට සහාය දුන්නේ නැහැ. ඊනියා දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය යුද්ධයට පක්‍ෂ වුවා. ඒ සෝවියට් රුසියාව යුද්ධයට ඇතුල් වීමෙන් පසුව. එහි ප්‍රතිඵලයක් ලෙස කොමියුනිස්ට් පක්‍ෂය එ ජා ප පූර්වගාමින් සමග කටයුතු කළා. එහෙත් එය ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස සලකන්න පුළුවන්. අදටත් සාම්ප්‍රදායික වම සිංහලත්වය නැති කර ගෙන නැහැ. ඔවුන් සිංහල හා දෙමළ භාෂාවලට සමතැන් ඉල්ලීම අර පංතිය මුල් කරගත් දේශපාලනයක් නිසා සිදු වූවක්.
එහෙත් ඒ සාම්ප්‍රදායික වමෙන් විවිධ අවස්ථාවල කැඩී ගිය කණ්ඩායම්වලට අද දේශපාලනයක් කර ගෙන යෑමට නොහැකි තත්වයක් උදා වී ගෙන එනවා. බාලා තම්පෝලා එඩ්මන්ඩ් සමරක්කොඩිලා මෙරිල් ප්‍රනාන්දුලා මෙන් ම ඔවුන් ආරම්භ කළ ව්‍යාපාරත් මිය ගිහින්. මේ කැඩී යෑමේ ඉතිහාසය ශන්මුගදාසන් විජේවීර කීර්ති බාලසූරිය විජේගුණසිංහ වික්‍රමබාහු හරහා ඊනියා පශ්චාත්මාක්ස්වාදීන් පශ්චාත්නූතනවාදීන් කරා දිව යනවා. අද ඔවුන් ආරම්භ කළ ව්‍යාපාර එක්කෝ මියගිහින් (තුල්සිරි අන්ද්‍රාදිට හරි විජේගුණසිංහට හරි කරන්න පුළුවන් බලපෑමක් නැහැ) එහෙම නැත්නම් චම්පක වික්‍රමබාහු ආදීන් මෙන් එ ජා පක්‍ෂවලට හේත්තු වී. චම්පක සජිත්ටත් වික්‍රමබාහු රනිල්ටත් පක්‍ෂපාත බව තමයි දක්නට ඇත්තේ.
ඒ අතර යහපාලනයට ගොස් 6% නොලැබී මුහුණු පොතේ වල්වැදී කල් ගෙවන පිරීසක් ඉන්නවා. ඔවුන්ට ඇත්තේ ජාතිකත්ව විරෝධී බව පමණයි. ඔවුන් සමහර දෙනකු පහුගිය ජනාධිපතිවරණයේ දී ජ වි පෙරමුණට ආධාර කළා. ඒ අනුව ඔවුන් හා එ ජා ප අතර යම් සම්බන්ධයක් ගොඩ නැගුණා. අවසානයේ දී ජ වි පෙරමුණට 6%ක් තබා 3%ක්වත් නැති වුණා. මහා මැතිවරණයේ දී නිෂේධ ඡන්ද දීමේ ඉඩ කඩක් තිබුණොත් එය සෘණ ප්‍රතිශතයකට වැටේවි.
සාම්ප්‍රදායික වමටත් අද රටේ එතරම් බලයක් නැහැ. එහෙත් සාම්ප්‍රදායික වමෙන් කැඩී ගිය අයට ඒ තරම්වත් බලයක් නැහැ. ඊනියා වම දකුණ අද දේශපාලනයේ නැහැ. වම දකුණ ඇත්තේ හමුදා භටයන් හා වෙනත් එවැන්නන් අතර පමණයි. චම්පකට හා වික්‍රමබාහුට යම් ආකාරයක පක්‍ෂ දේශපාලනයක් තියෙනවා. විජේගුණසිංහත් තවමත් දේශපාලනයක් කරනවා. ඔවුන් සියල්ලන්ට ම දේශපාලන සංවිධාන තියෙනවා. එහෙත් මුහුණු පොතේ අය කරන දේශපාලනය මොකක් ද?
ඔවුනුත් දේශපාලනයක් කරනවා. ඕනෑම ක්‍රියාවක් දේශපාලන ක්‍රියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය පිහිටුවන්න උත්සාහ කරන බවක් නම් පේන්න නැහැ. ඒ අතින් ඔවුන් අසාර්ථක වෙන එකක් නැහැ. ඔවුන්ට සාර්ථක වන්න දේකුත් නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් චතුස්කෝටිකය තහවුරු කරන එක පමණයි. සාර්ථකත් නැහැ අසාර්ථකත් නැහැ. ඒත් ඔවුන්ට දේශපාලනයක් තියෙනවා.
ඔවුන් ඇත්තට ම අනාථවෙලා. ඔවුන් තවමත් හිතන්නෙ ජාතික චින්තනය (අමරසේකරගෙ) කියන්නෙ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම කියා. මා මේ ලිපිය සකස් කරන්නෙ ලැප්ටොප් යන්ත්‍රයකින් මිස පන්හිඳකින් තල්පතක නොවෙයි. ලිපිය කාලයට එකතු කරන්නෙ හීයකින් විදලා නොවෙයි. මට මගේ ම කියා ලෝක දැක්මක් නිර්මාණය කිරීමට ක්වොන්ටම් භෞතිකය විශාල වශයෙන් බලපෑවා. මට ගෝඨාභය රාජපක්‍ෂ කරන කියන දේ තේරෙනවා. මා හිතන්නෙ ඔහුටත් මා තේරෙනවා කියා.
ද්විකෝටිකය මත පදනම් වුණු බටහිර දැනුමට මේ ආණ්ඩුව තේරෙන්නෙ නැහැ. ඊනියා අපෝහක ද්‍රව්‍යවාදයටත් එය තේරෙන්නෙ නැහැ. පරස්පර (විසංවාද) ගැන කතා කරත් ඒ කරන්නෙ ද්විකෝටිකය තුළමයි. අපෝහකයේ රූපිකය කියවන්න. මේ ආණ්ඩුවෙ ඒකත් නැහැ මේකත් නැහැ කියන්න පුළුවන්. ඒ වගේ ම ඒකත් තියෙනවා මේකත් තියෙනවා කියල කියන්නත් පුළුවන්.
එක ම එක දෙයක් තියෙනවා. මුහුණු පොතේ වල්වැදුනවුන් ජාතිකත්වයට විරුද්ධයි. ඔවුන්ගේ දේශපාලනය එයයි. ඔවුන්ට සියල්ල පටන් ගැනෙන්නේ එතැනින්. අද ජාතිකත්වයට විරුද්ධ ප්‍රධාන ම පක්‍ෂ සජිත්ගේ පක්‍ෂය හා රනිල්ගේ පක්‍ෂය. එබැවින් මේ අය ඒ පක්‍ෂ දෙකින් එකකට සෘජුව හරි වක්‍ර ව හරි ආධාර කරනවා. ජාතිකත්වයට විරුද්ධ සියල්ලන්ගේ අම්බලම එතැනයි.