Main Logo

Tuesday 25 February 2020

නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු

              සිංහල ලිත් ඉලක්කම්


නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු


මෙරට විවිධ ව්‍යාපාර තියෙනවා. පරිසරය රැකීමේ ව්‍යාපාර, මැතිවරණ නිරීක්‍ෂණ ව්‍යාපාර, අර දිනයේ ව්‍යාපාර මේ දිනයේ ව්‍යාපාර, සියයට හයේ සියයට තුනේ ව්‍යාපාර ආදී වශයෙන් ව්‍යාපාර රාශියක් තියෙනවා. පරිසරය රැකීම සඳහා ස්වෙච්ඡාවෙන් එකතු වී තම වියදමෙන් ඒ කටයුතු කරන අය ඉන්නවා. අපට ඒ අය ගැන ඇත්තේ ගෞරවයක්. මගේ පාසල් මිතුරන් කිහිප දෙනෙක් ද එහි නිරත වෙනවා. ඔවුන් ගන්නා වෙහෙස පිළිබඳ ව මට යම් දැනුමක් තියෙනවා. 


එහෙත් පරිසරය රැකීම ව්‍යාපාරයක් බවට පත් කර ගත් අය ඉන්නවා. ඔවුන් පරිසරය රකිනවාට වඩා  පරිසරයෙන් රැකෙනවා. පරිසරය ඔවුන්ට පාරාදීසයක්. පරිසරය නැතිවුවත් ඔවුන් නැතිවන්නේ නැහැ. ජනමාධ්‍ය සුපුරුදු පරිදි මේ ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියක් දෙනවා. ස්වෙච්ඡාවෙන් පරිසරය රකින අයට ලැබෙන ප්‍රසිද්ධියක් නැහැ. ඔවුන් වැඩ කරන්නේත් ප්‍රසිද්ධියක් බලාගෙන නො වෙයි.  

මැතිවරණ ගැනත් එවැනි ම දෙයක් වෙනවා. අද විවිධ නිරීක්‍ෂණ කණ්ඩායම් ඉන්නවා. ඔවුන් ජනමාධ්‍ය ද හවුල් කර ගන්නවා. මෙරට ජනමාධ්‍ය නම් අන්තිමයි. ඔවුන්ට වැදගත් හිට් ප්‍රකාශ හා ව්‍යාජ කතා පමණයි. මැතිවරණ නිරීක්‍ෂකයන් පිටරටින් ද එනවා. ඔවුන් ස්වෙච්ඡාවෙන් එන අය කියා මා හිතන්නේ නැහැ. ගමන් වියදම් හෝටල් ගාස්තු ගෙවා ගෙන අප කෙරෙහි වූ අනුකම්පාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ චිරස්ථිතිය වෙනුවෙන් මැතිවරණ නිරීක්‍ෂණයට එන අය ඉන්නවා කියා මා හිතන්නේ නැහැ.

අද උදේ මාර්තු 12 ව්‍යාපාරය කියා ගන්නා කණ්ඩායමක් අගමැති මහින්ද රාජපක්‍ෂ හමුවෙලා. මා ඒ ප්‍රවෘත්තිය අසා ටිකක් කලබල වුණා. අපේ ගෙදරත් මාර්තු 12 ව්‍යාපාරයක් තියෙනවා. අප මහින්ද රාජපක්‍ෂ හමුවීමට ගියේ නැති බව මා දන්නවා. ඒත් අපේ ඡායාරූප මහින්දත් එක්ක ඉන්නවා ප්‍රදර්ශනය වෙන්න පුළුවන්. නැති සිද්ධි ඡායාරූපවලින් මවන්න පුළුවන්. මා අර කිසිම වැදගත්කමක් නැති අයකුට බුලත් දෙන ඡායාරූපය එවැන්නක්. ඒ ඡායාරූපයෙහි මට අන්දවා ඇති ජාතික ඇඳුමේ මැණික් කටුව වසන කොටස මා අඳින ජාතික ඇඳුමක නොව කපටි කිට් කාරයන් අඳින ජාතික ඇඳුමක කොටසක්. මාර්තු 12 ව්‍යාපාරය ඇසුණු සැණින් මා ටිකක් කලබල වූයේ මේ ව්‍යාජ ඡායාරූප මවන්නන් ඉන්න බැවින්. 

අපේ ගෙදර මාර්තු 12 ව්‍යාපාරය මගේත් භාර්යාවගේත් දරුවන්ගේ, ඔවන්ගේ කලත්‍ර්‍රයන්ගේ හා අපේ මුණුබුරන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් සංවිධානය වූවක්. එයට මාර්තු 12 ව්‍යාපාරය කියන්නේ අපේ වැඩිමහල් දරුවාගේ උපන් දිනය එදිනට යෙදෙන බැවින්. දරුවන්ගේ සුභසිද්ධිය අප මහින්ද සමග කතා නොකළත් ව්‍යාජ ඡායාරූප හදන්නන් ගැන මට අවිශ්වාසයක් තියෙනවා. ජනමාධ්‍ය බලා ඉන්නෙත් ව්‍යාජ පුවත් සේයා රූ ලැබෙන තෙක්. 

මහින්ද හමු වූ මාර්තු 12 ව්‍යාපාරය මැතිවරණ නිරීක්‍ෂණ ව්‍යාපාරයක් ද කියා මා දන්නේ නැහැ. එහෙත් වෙනත් මැතිවරණ නිරීක්‍ෂකයන් පරිසර නිරීක්‍ෂකයන් ඉන්න බව අප දන්නවා. මොවුන් ක්වොන්ටම් නිරීක්‍ෂකයන් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ක්වොන්ටම් නිරීක්‍ෂණයකට පෙර අදාළ ගුණයට නිශ්චිත වශයෙන් නිරීක්‍ෂණය කළ හැකි  අගයක් නැහැ. මැතිවරණ නිරීක්‍ෂණයට පෙර වංචා තිබුණත් නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කිරීමට පෙර ඒ ගැන වාර්තාවන්නේ නැහැ. ඒ ක්වොන්ටම් ම නොවෙයි. 

මේ විවිධ නිරීක්‍ෂකයන් යැපෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් සමහර දෙනකු අවංක ව ම නිරීක්‍ෂණ කටයුතුවල යෙදෙනවා වෙන්න පුළුවන්. එහෙත් මේ සංවිධානවලට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙනවා ද? මා හිතන්නේ ඒ ගැන සොයා බලනවා නම් හොඳය කියා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙරට බොහෝ දෙනකුට ඉතා වටිනා වස්තුවක්. එයට මිළක් නියම කරන්න බැහැ! 

ඊනියා රාජ්‍ය නොවන සංවිධාන කියන්නෙ බටහිර රාජ්‍යවල අනුග්‍රහය ලබන ඔවුන්ගේ මතවාද අපේ රටවල ප්‍රචාරය කරන ආයතන. ඒවාහි රාජ්‍ය නොවන බව ඇත්තේ ලංකාව සමබන්ධයෙන් පමණයි. රාජ්‍ය නොවන මැතිවරණ පරිසර නිරීක්‍ෂකයන් ඉන්නවා නම් ඔවුන් ඇතුළු සියළු ඊනියා රාජ්‍ය නොවන ආයතන ගැන හොයල බලන්න ඕන. මෙරට රජයට සම්බන්ධ නොවී පිටරට රාජ්‍යවලින්  හෝ පිටරට ඊනියා ස්වාධීන ආයතනවලින් හෝ යැපෙන ආයතන ගැන හොයල බලන්න ඕන. නිරීක්‍ෂකයන් ගැන නිරීක්‍ෂණය කරන්න ඕන. 

මේ නිරීක්‍ෂකයන් හැමදාමත් කියන්නෙ එක ම දේ. පිරිසිදු මැතිවරණ පවත්වන්න, ජාතික ලැයිස්තුවලින් පරදින අපේක්‍ෂකයන පත් නොකරන්න ආදිය. ඔවුන් කිවුවත් නැතත් මෙරට ජනයාටත් අවශ්‍ය දේ තියෙනවා. මට නම් ජාතික ලැයිස්තුව තියෙන්නෙ පරාජිත අපේක්‍ෂකයන් පමණක් නොව දේශපාලනයේ යෙදෙන පරාජය විය හැකි අය ද පත් නොකරන්න. ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න ඕන දේශපාලනය නොකරන අය. එහෙත් ඒ කියන්නෙ කිසියම් රටක ඔත්තුකාරයන් නො වෙයි. 

වෘත්තියකයන් හමුදා නිලධාරීන් චින්තකයන් ආදී දේශපාලනය නොකරන එහෙත් පාර්ලිමේන්තුවේ කිසියම් එකතුවක් කරන්න පුළුවන් අය රටේ ඉන්නවා. ඔවුන් තමයි ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න ඕන. ඒ වගේ ම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් වැඩි පිරිසක් පත් කර ගන්න අවස්ථාව දෙන්න ඕන. ජාතික ලැයිස්තුවේ සමානුපාතය පක්‍ෂවලට ලැබෙන ඡන්ද අනුව ම තීරණය වෙන්න ඕන නැහැ. ආණ්ඩු පක්‍ෂයට විසිනවයෙන් දහඅටක්වත් අවම වශයෙන් ලැබෙන්න ඕන. එමෙන් ම ආණ්ඩු පක්‍ෂයට, ඒ කියන්නෙ වැඩිම මන්ත්‍රී ධුර ගණනක් මැතිවරණයෙන් ලබා ගන්නා පක්‍ෂයට හරි සංධානයට හරි 113ක් නැත්නම් 113 කර ගැනීම සඳහා මන්ත්‍රී ධුර ලබා දෙන්න ඕන. එවිට ඩීල් හෙවත් ගණුදෙනු දෙනු දේශපාලනයට යට වෙලා වෙනත් පක්‍ෂවලට දණ නැවීම වළක්වන්න පුළුවන්.