Main Logo

Saturday 15 February 2020

අද කළ යුත්ත

         සිංහල ලිත් ඉලක්කම් 


අද කළ යුත්ත


අද කළ යුත්තේ කුමක් ද කියා ඇතැමුන් අහනවා. ආණ්ඩුව යන්නේ කොහේ ද කියාත් සමහරු අහනවා. සමහරු එයටත් එහා ගිහින් අහනවා ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා ද කියා. ඒ අහන්නෙ කසිකබල් මාක්ස්වාදියො පශ්චාත් මාක්ස්වාදියො පශ්චාත් නූතනවාදියො (නූතනත්ව අර්ථයෙන් - පශ්චාත් හිරුණිකාවාදීන්) ආදීන්. ඔවුන් අහන කරන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් කම්කරු පංති ආඥාදායකත්වය ලෝකෙ කිසිම රටක පිහිටුවාගන්න බැරි වෙච්ච අය තමයි අවුරුදු පහකින් දහයකින් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න කතා කරන්නෙ. 


මෙතනදි ඊනියා සභ්‍යත්ව රාජ්‍යය ගැනත් යමක් කියන්න ඕන. සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනගන්න කතා කරන අයත් ඉන්නවා. ඒ කියන්නෙ සභ්‍යත්ව රාජ්‍යයක් ඉස්සර තිබුණ කියන එක ද? ඒ කියන සභ්‍යත්ව රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යයෙන් වෙනස් වෙන්නෙ කොහොමද? ගුණදාස අමරසේකර කියන්නෙත් ඒ සභ්‍යත්ව රාජ්‍යය ද? ධර්මපාල පරපුරේ ඇත්තන් කියන්නෙත් ඒ සභ්‍යත්ව රාජ්‍යය ම ද? සභ්‍යත්ව රාජ්‍යය නිරවුල් අදහසක් නොවන බව පැහැදිලියි.

අමරසේකර සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පය ගත්තෙ සුපුරුදු විධියට බටහිරින්. ජාතික චින්තනය කියන එකත් බටහිර සංකල්පයක්. අමරසේකර සභ්‍යත්ව රාජ්‍යය ගත්තෙ මාටින් යක්ගෙන්. ඔහු චීනය ජාතික රාජ්‍යයක් ලෙස පිළිගන්න කැමති නැති බටහිරයන්ට සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පයක් හඳුන්වල දීල අනෙක් බටහිරයන් සමග ඔහුත් රැවටුණා. අමරසේකර ඒක කිසිම වගවිභාගයක් නැතිව ගත්තා. ඔහුට වුවමනා සභ්‍යත්ව රාජ්‍යයක් කරා යෑමට. ඒ වෙනුවෙන් ලියූ පොතෙහි ඔහු සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස කියන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. දැන් යුතුකමේ අය යුතුකමක් ලෙස සලකල ද කොහෙ ද සභ්‍යත්ව රාජ්‍යය යළි පිහිටුවන්න කතා කරනවා. පැහැදිලි ව ම අමරසේකර හා යුතුකම කියන්නෙ සභ්‍යත්ව රාජ්‍ය දෙකක් ගැන.

ධර්මපාල පරපුර කියන්නෙ තමන් සභ්‍යත්ව රාජ්‍යයක් ගැන කතා කරන්න පටන් ගත්තෙ අමරසේකරට කලින් කියල. ධර්මපාල පරපුර කියන්නෙ වෙනත් ම සභ්‍යත්ව රාජ්‍යයක් ගැන. මා හිතන විධියට ඔවුන් කතා කරන්නෙ සිංහල සභ්‍යත්වය මත පදනම් වූ රාජ්‍යයක් ගැන. සිංහල සභ්‍යත්වය කියන්නෙ මොකක් ද කියන එක ප්‍රශ්නයක්. සිංහල සංස්කෘතිය (හැදියාව) ගැන නම් අප දන්නවා. සිංහල සභ්‍යත්වය සිංහල සංස්කෘතියෙන් වෙනස් ද? මේ අය සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නගන්න කතා කරන්නෙ නැත්තෙ මොකද? 

අද කළ යුත්තේ සිංහල බෞද්ධ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නගන්න වැඩ කිරීමයි. එයට තරමක කාලයක් යාවි. සිංහල බෞද්ධ රාජ්‍යයක ඕනෑම ජනවර්ගයකට තමන්ට වෙනත් ආගමක් තියෙනව නම් ඒ ආගමත් අදහමින් නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි සිංහල බෞද්ධ රාජ්‍යය නැති කරන්න වැඩ කරන්නෙ නැත්තන්. විජාතිකයන්ගෙ ආධාරය ඇතිව හරි නැතිව හරි සිංහල බෞද්ධ රාජ්‍යය නැති කරන්න උත්සාහ කළොත් ඔවුන් වැඩ වරද්දා ගන්නවා.

සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීමේ දී අද ප්‍රධාන කාර්යය වන්නේ ජාතිකත්වය ශක්තිමත් කිරීම. ගෝඨාභය රාජපක්‍ෂ වටා ජාතිකත්වය ශක්තිමත් කිරීම. එහි දී ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ශක්තිමත් කරන්න ඕන. පොදු ජන පෙරමුණ, ශ්‍රී ල නි පක්‍ෂය හා අනෙක් පක්‍ෂ හා සංවිධාන පහළොව එකට බැඳ තබන්න ඕන. ඇතැමුන් පෞද්ගලික හේතු මත, මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුවට ඇතුල්වීමට, මන්ත්‍රීවරයකු වීමට, ඇමතිවරයකු වීමට උත්සාහ කරනවා. 

ඒ උත්සාහයේ දී ඇතැමුන් ශ්‍රී ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් කරන්න කටයුතු කර නවා. එය අන්තිම අසික්කිත වැඩක්. ගිවිසුම් අත්සන් කරල ගිවිසුම් කඩන්න කියන අයට මනාප දෙන්න වටින්නෙ නැහැ. පොදුජන පෙරමුණට ජාතිකත්වයක් ඇතුල් කරන්න නම් ශ්‍රී ල නි ප නව සංධානයෙහි තබා ගන්න ඕන. ඇතැමුන් ශ්‍රී ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් කරන්න හදන්නෙ විජාතිකත්වයට අවශ්‍ය නිසා ද? 

තවත් සමහරු ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත්කම් පාමින් පක්‍ෂය සංධානයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය පොදු ජන පෙරමුණ හැරෙන්න වෙනත් පක්‍ෂ සමග එකතු කරන්න. ඔවුන් දන්නවා එමගින් ශ්‍රී ල නි පක්‍ෂය නැති කරන්න පුළුවන් කියලා. ජාතිකවාදීන් ඔවුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන. 

ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකවාදීන් ඉන්නවා ද කියල අහන අය ඉන්නව. කවුරු හරි ඇහුවොත් පොහොට්ටුවෙ ජාතිකවාදීන් ඉන්නව ද කියල ඒකට දෙන උත්තරෙ මොකක් ද? ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකවාදීන් නැතැයි කියමු. ඒත් ශ්‍රී ල නි පක්‍ෂය මෙරට තවමත් ප්‍රධාන ජාතිකවාදී පක්‍ෂය. එය පනස්හයේ දරුවන්ගේ පක්‍ෂය. පනස්හයේ දරුවකු නොවූ චන්ද්‍රිකාත් පක්‍ෂයේ නායකත්වය දැරුවා. එහෙත් එකලත් පක්‍ෂය ජාතිකවාදී පක්‍ෂයක්. 

අද ප්‍රධාන ප්‍රශ්නය ජී එල් පීරිස් සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණ ජාතිකත්වයේ පක්‍ෂයක් බවට පත් කිරීම. ඒ පක්‍ෂයට ව්‍යුහයක් නැහැ. මහින්ද සුළඟට නමක් දීම පමණයි සිදු වී ඇත්තේ. අද එහි ඇතැම් සාමාජිකයන්ට තියෙන්නෙ මන්ත්‍රිකම රැක ගැනීමේ ප්‍රශ්නය පමණයි. එහි දී ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂය ගිවිසුගත වූ සංධානයෙන් ඉවත් කරන්න හදනවා. එය ගිවිසුම් අත්සන් කළ ජනාධිපති ගෝඨාභයටත් කැළලක්.