Main Logo

Thursday 20 February 2020

පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි

 සිංහල ලිත් ඉලක්කම් 


පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි



පරිසරය රැකීම කියන්නේ බටහිර සංකල්පයක්. පරිසරය රකින්න අවශ්‍ය වන්නේ පරිසරය විනාශ කරන අයටයි. පරිසරය විනාශ කරනු ලැබුයේ බටහිරයන් විසින්. ඒ ඔවුන්ගේ ඊනියා දියුණුව වෙනුවෙන්. බටහිර සංවර්ධන ආකෘතිය පෙරදිග ආකෘතියෙන් වෙනස්. බටහිරයන් සියල්ල බැලුවේ මිනිසාට සාපේක්‍ෂ ව. එයින් කියන්නේ ඔවුන් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුමත කළා ය යන්න නො වේ. මුළු ලොව ම මිනිසා වෙනුවෙන් මැවී ඇත යන්න ඔවුන්ගේ ආකල්පය වුණා.


එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්. ඒ චින්තනයට යුදෙවුවන්ගෙන් ලබා ගත් කොටසක් ද තියෙනවා. පරණ තෙස්තමේන්තුවේ අංගත් ප්‍රශ්න කිරීමත් තවත් දේත් එහි අඩංගුයි. දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ මිනිසා වෙනුවෙන්. ඉනුත් පිරිමියා වෙනවෙන්. ඒව මවනු ලැබුයේ ආදම්ට. සතා සිවුපාවා සර්පයා පමණක් නොව ගැහැණිය ද පිරිමියා වෙනුවෙන් මවා තියෙන්නෙ. 

යුදෙවුවන්ගෙ මේ සංකල්පය හා වියුක්ත චින්තනය ඇරිස්ටෝටල්ගෙ කර්කෂ නීරස න්‍යාය ආදිය පහළොස්වැනි සියවසෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය සූත්‍රගත කිරීමේ දි යොදා ගෙන  තිබෙනවා. ඇරිස්ටෝටල් සොක්‍රටීස් ආදීන්ගේ චින්තනය න්‍යාය ආපසු හැරවූ පුද්ගලයා. දරදඬු ද්විකෝටික න්‍යායට ග්‍රීසිය ගෙන යනු ලැබුයේ ඔහු සහ ඔහුගේ සගයන් විසිනුයි. 

එහෙත් ඒ න්‍යාය කතෝලිකයන් ගත්තේ නැහැ. කතෝලිකයන්ට තිබුණේ  ත්‍රිකෝටික න්‍යාය. දෙවියන් වහන්සේග් පුතා දෙවියන් වහන්සේ වහන්සේ වන්නේ ඒ න්‍යාය අනුවයි. මේ සම්බන්ධයෙන් මා ලියා තිබෙනවා. ඒ වගේ ම දේශන ද පවත්වා තියෙනවා. ඇරිස්ටෝටල්ගේ න්‍යාය අනුව දෙවියන් වහනසේගේ පුතා දෙවියන් වහන්සේ වෙන්න බැහැ. ඇරිස්ටෝටල් රේඛීය චින්තනයේ අයෙක්. 

යුදෙවුවන්ගේ යේසුස් වහන්සේ රෝමයන් අත්කර ගත්තාට පසුවයි ග්‍රීක යුදෙවු චින්තනයෙන් වෙනස ඇති වුණේ. රෝමයේ දී රෝමානු කතෝලික ආගම බිහිවුණා. එය ඇරිස්ටෝටල්ට පටහැණියි. තෝමස් ඇක්වයිනාස්තුමා කතෝලික ආගමට ඈරිස්ටෝටල් ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. 

පහළොස්වැනි සියවසෙන් පසුව තමයි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය බිහිවුණේ. එයත් සමග ත්‍රිකෝටික න්‍යායෙන් ඇරිස්ටෝටල්ගේ ද්විකෝටිකයට ගියා. 

මෙහි දී බොහෝ දෙනා තේරුම් නොගන්නා දෙයක් කියන්න ඕන. ත්‍රිකෝටිකයෙහි මෙන් ම චතුස්කෝටිකයෙහි ද ද්විකෝටිකයත් තියෙනවා. එයට අමතර ව තවත් අවස්ථාවක් හෝ දෙකක් හෝ තියෙනවා. අවශ්‍ය අවස්ථාවන්හි අපට ද්විකෝටිකය ද යොදා ගන්න පුළුවන්. මෙරට පඬියන් යොදා ගන්නේ ද්විකෝටිකය පමණයි. එහෙත් ඔවුන් එහි දී වැරදි කරනවා. අප ඒ වැරදි පෙන්වීමටත් ද්විකෝටිකය යොදා ගන්නවා. 

කෙසේ වෙතත් නිවුටන් ත්‍රිකෝටිකය යොදා ගත්තා. අවකලනය (differentiation) කරන්න බැහැ ත්‍රිකෝටිකය නැතිව. ස්පර්ශක අඳින්න බැහැ ත්‍රිකෝටිකය නැතිව. බටහිර ගණිතයේ හා විද්‍යාවේ නව අදහස් ලබාගත් පසු ඊනියා අර්ථදැක්වීම් හෙවත් නිර්වචන මගින් ඒ අදහස් ද්විකෝටිකය තුළ බහාලනවා. ද්විකෝටිකයෙන් හා ඇරිස්ටෝටලීය න්‍යායෙන් නව අදහස් නිර්මාණය වන්නේ නැහැ. 

බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ කේන්ද්‍රීය සංකල්පයක් තමයි පෞද්ගලිකත්වය. එහෙත් බටහිර ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ද තියෙනවා. ඒ අදහස් තියෙන අයට ද අවසානයේ දී පෞද්ගලිකත්වයෙන් මිදෙන්න බැහැ. බටහිර රටවල ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඇති වී තිබෙන නමුත් පඬියන් කියන විධියට සිස්ටම් චේන්ජ් වෙලා නැහැ.

යුදෙවු චින්තනයේ තිබූ ලෝකය පිරිමියා වෙනුවෙන් මවා ඇත යන්න තමයි පරිසර විනාශයේ මුල. අද එය ලෝකය සුදු පිරිමියා වෙනුවෙන් මවා ඇත යන්නට පරිවර්තනය වෙලා. මෙරට පඬි පිරිමින් ද මවා ඇත්තේ සුදු පිරිමින් වෙනුවෙන්. මා කතා කරන්නේ සමරිසි බව ගැන නොවෙයි. මෙරට පඬියන් මවා ඇත්තේ සුදු පිරිමින්ගේ අදහස් මෙරට සමාජයට ගෙන යෑම සඳහා පමණයි. 

සුදු පිරිමින්ගේ සුබ සෙත (ඔවුන් අර්ථ නිරුපණය කරන අන්දමට) වෙනුවෙන් තමයි බටහිර සංවර්ධන ආකෘතිය ක්‍රියාත්මක වන්නේ.මුළු ලෝකය ම නොව විශ්වය ම මවා ඇත්තේ බටහිර සුදු පිරිමින් වෙනුවෙන්. සුදු පිරිමින්ට මුළු ලෝකය ම තමන් වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. සතා සිවුපාවා ගහ කොළ සමග සහජීවනයක් බටහිර පිරිමින් බලාපොරොත්තු වන්නේ නැහැ. සතා සිවුපාවා ගහ කොළ පමණක් නොව සුදු නොවන පිරිමින් ද සියළු ගැහැණුන් ද ඔවුන්ට අවශ්‍ය අන්දමට සූරා කනවා. ඊනියා කම්කරු පංති සූරා කෑම හි අංගයක් පමණයි. යටත්විජිතවාදයට ද එය බලපානවා. 

පරිසරය "නොරුකුණේ" මේ සූරා කෑම නිසා. එහෙත් අද වන විට පරිසරය සූරා කෑමේ විපාක සුදු පිරිමින්ට ද අත් දකින්න සිදු වෙලා. ඒ නිසා ඔවුන් කලබල වෙලා. ඔවුන්ගේ පැවැත්ම ම අද අභියෝගයට ලක් වෙලා. ඊනියා පරිසරවේදීන් පරිසර විද්‍යාව ආදීය ඇති වී තිබෙන්නේ සුදු පිරිමින්ට එල්ල වී ඇති අභියෝගය ජය ගැනීමට පමණයි. පරිසර විිද්‍යාව අනුකාරකයන්ට පෙළහර පෑමට ඇති තවත් පිට්ටනියක් වෙලා. පොළොවේ උෂ්ණත්වය වැඩි වීම  බටහිර සුදු පිරිමින්ට මුහුණ පෑමට සිදු වී ඇති එක් තර්ජනයක් පමණයි. 

මෙරට පඬියන්ට පඬිනියන්ට පඬි නැට්ටන්ට පඬි පෝතකයන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට කළ හැක්කේ බටහිර අදහස් කිහිපයක් තමන්ට තේරෙන අන්දමට පුනරුච්චාරණය කිරීම පමණයි. ඒ සඳහා ඔවුන් පරිසරය රැකීම කියන බටහිර සංකල්පය   යොදා ගන්නවා.

දේවානි ජයතිලක කරන්නේ ද එයයි. අපේම වූ සංවර්ධන ආකෘතියක් නැති විට අප බටහිර සංවර්ධන ආකෘතිය පසුපස යන විට සමහර විට පඬියන් නොවන්නන්ට ද පරිසරය රැකීම කියන සංකල්පය ද යොදා ගන්න වෙනවා. ඇය පඬිනිිනියක් නොවන බවක් පේනවා. පඬියන් නොවන්නන්ට ද අද ඇත්තේ බටහිර සංකල්ප පමණක් වීම ඔවුන්ගේ නොව අධ්‍යාපනයේ (ආකෘතික අනාකෘතික) වරදක්.

කලකට පෙර අලවත්තාගොඩ පේමදාස හා මා අතර පරිසරය පිළිබඳ විවාදයක් විදුසර පත්‍රයේ කෙරුණා. සියළු ජාතිකවාදීන් එක මතයක නැහැ. අප අද මෝසම් වැස්ස කිව්වාට එකල කීවේ අක්වැස්ස කියා. අක්වැස්ස හා මෝසම් වැස්ස කියන්නේ එකක් නො වෙයි. මෝසම් වැස්ස පරිසරය රැකීම සඳහා නො වෙයි. අක්වැස්ස පරිසරය සමග සහජීවනයෙන් විසිම සඳහා. ඒ විවාදයෙහි දී මා මේ කරුණ පැහැදිලි කළා. අවශ්‍ය අයට මේ ලිපි සොයා ගෙන කියවන්න පුළුවන්. මා දේවානි සම්බන්ධයෙන් ලියූ ලිපියෙහි සඳහන් කෙළේ මෙවැනි ලිපි ගැනයි. 

1981 පමණත් මා සංක්‍රමණීය අවධියක සිටි කාලයේත් පරිසරය ගැන ලියා තියෙනවා. ඒ එක් ලිපියක් පළ කෙළේ එවකට තිබූ ඇත්ත පත්‍රයෙහි. ඒ ලිපියත් තවත් ලිපිත් පරිසරය හා බටහිර ආකල්ප නම් පොතෙහි තියෙනවා. පඬියන්ට ඒ පොත කියවන්නට ලැබී නැති වගක් පේනවා. පොත පළවූයේ 2006 වසරේ. 

අප කළ යුත්තේ පරිසරය රැකීම නොව පරිසරය සමග සහජීවනයෙන් විසීම. පරිසරය හා අප යනුවෙන් ද්විමය වෙන් කිරීමක් නොකර පරසරය අප එක ම පද්ධතියක් ලෙස සැලකීම. එතෙක් පිට්ටනි සෑදීමට කඩොලාන විනාශ නොකර සිටීම.