Main Logo

Monday 17 February 2020

එළවළු මාෆියාව

  සිංහල ලිත් ඉලක්කම්


එළවළු මාෆියාව


අද එළවළු මිළ ඉතා අධිකයි. එය නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා සිදු වූවක් නොවෙයි. එහෙත් එ ජා පක්‍ෂය හා එහි වාටියේ ඉන්න ජ වි පෙ එළවළු මිළ ඉහළ යෑම ආණ්ඩුවට විරුද්ධ ව යොදා ගන්නවා. යාපනයෙන් එළවළු දඹුල්ලට පැමිණයත් ඒ නිසා දඹුල්ලට එන එළවළු මිළ අඩු වුවත් දඹුල්ලෙන් යන එළවළු මිළ අඩු වන්නේ නැහැ. ආණ්ඩුව එයට පිළියමක් ලෙස වවුනියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කරන්න පිඹුරුපත් සකස් කරනවා. එහෙත් එය කල් යන වැඩක්.


එළවළු මිළ ඉහළ යන්නෙත් සහල් මිළ ඉහළ යන්නෙත් අතරමැදියන් නිසා. සහල් සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් වී හාල් බවට පත් කිරීමෙන් සුළු වශයෙන් වුණත් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. එහෙත් එළවළු අතරමැදියන් කරන්නේ කුමක් ද? ඔවුන් කරන නිෂ්පාදන කාර්යය කුමක් ද? ඔවුන් මිළ දී ගෙන විකුණන ක්‍රියාවලියට සම්බන්ධවන්නන් පමණයි. මේ බයින් ඇන්ඩ් සෙලින් සෙල්ලම සුළු වෙළෙන්දන් ද කරන්නක්. කඩේ මුදලාලිත් එවැනි සුළු වෙළෙන්දෙක්.

මේ අයගෙන් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නෙ නැහැ. එහෙත් ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධයි. ඒ භාණ්ඩ බෙදා හැරීමේ දී. ගමේ මුදලාලිට වඩා මහා අතරමැදියන් මහා ලාභ ලබනවා. නිෂ්පාදකයන්ට කෙළින් ම පාරිභෝගිකයාට ළඟා වෙන්න බැහැ. අතරමැදි මහා මුදලාලිගේ සිට සුළු මුදලාලිලා දක්වා පිරිසක් අවශ්‍ය වන්නේ එබැවිනුයි. 

මේ වෙළෙන්දන් නැති ව කටයුතු කරන්න බැහැ. එහෙත් ඔවුන්ට, විශේෂයෙන් ම මහා මුදලාලිලාට ඇති ඒකාධිකරය නැති කරන්න පියවර ගන්න ඕන. ඔවුන් කරන්නේ පාරිභෝගිකයා සූරා කෑම පමණයි. මෙය කම්කරුවන් සූරා කෑමට වඩා භයානකයි. නිෂ්පාදකයා අඩුම තරමෙන් කම්කරුවන්ට රැකියාවක් ලබා දෙනවා. එහෙත් මේ අතරමැදි මහා වෙළෙන්දන් පාරිභෝගිකයාට ලබා දෙන්නේ කුමක් ද? කාට හරි කියන්න පුළුවන් භාණ්ඩය පාරිභෝගිකයා අතට පත් කිරීම කියා. එයත් එක් සේවයක් වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා පාරිභෝගිකයා කොතරම් මුදලක් ගෙවන්න ඕන ද?

මුළු රටේ ම වෙළෙඳාම ආණ්ඩුවට භාර ගන්න බැහැ. අතරමැදී මහා වෙළෙන්දන්ගේ කාර්යභාරය ඇතැම් අවස්ථාවක ආණ්ඩුවට කරන්න පුළුවන්. සතොස වැනි ආයතන යමක් කරනවා. එහෙත් එය කිසිසේත් ම සම්පූර්ණ නැහැ. අනෙක් අතට රාජ්‍ය නිලධාරී තන්ත්‍රයට ඒකාධිකාරයක් දෙන්නත් බැහැ. අන්ත දූෂිත රාජ්‍ය නිලධාරීන් ද සිටින බව කවුරුත් දන්නවා. අද ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නවලින් එකක් අතරමැදියන්.
මහා පරිමාණ අතරමැදියන් සාමාන්‍යයෙන් එ ජා පාක්‍ෂිකයන්. ඉතා ටික දෙනකු පමණයි ජාතිකත්වයක ඉන්නෙ. ඊනියා වාම කේන්ද්‍රීය මහා පරිමාණ අතරමැදියන් නැහැ. අර ජාතිකත්වයක් ඇති මහා පරිමාණ අතරමැදියන් පමණක් වත්මන් ආණ්ඩුවට සහාය දෙනවා. අනෙක් අයගෙන් විශාල පිරිසක් ආණ්ඩුවට අකුල් හෙළනවා. ඒ කුමන්ත්‍රණකාරි ව නොවෙයි. ඒක තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය

එළවළු හාල් ආදී ආහාර සඳහා වූ ද්‍රව්‍යවල මිළ වැඩ කිරීම පාරිභෝගික ජනතාවට විශාල වශයෙන් බලපානවා. ආණ්ඩුව බලයට පත් වූ විගස එළවළු මිළ අධික ලෙස වැඩිවීමට නියඟයක් ගංවතුරක් හෝ වෙනත් පාරිසරික ඇබැද්දියක් සිදු වුණේ නැහැ. එළවළු ගොවියන් තම ගොවිකම් ක්‍රම වෙනස් කෙළෙත් නැහැ. කෘමියකු හරි වෙනත් පලිබෝධකයක් හරි පටලැවිල්ලක් කෙළෙත් නැහැ. නව කොරෝනා වෛරසය ශාකවලට බලපාන බවක් කියලත් නැහැ. කියන්නෙ නැතිව බලපාන්න බැහැ කියල මා කියන්නෙත් නැහැ. එහෙත් වෛරසය චීනයේ ශාකවලට කිසිවක් කරන බවක් පේන්න නැහැ.

ඉතා පැහැදිලි ව එ ජා ප හිතවත් ජාතිකත්ව විරෝධී  අතරමැදියන් හිතුමතයේ මිළ ඉහළ දානවා. මෙය අතරමැදියන්ගේ ඒකාධිකාරය නිසා කෙරෙන්නක්.  එ ජා පක්‍ෂය හා එහි පරිධියේ ඇති ජ වි පෙරමුණත් ජාතිකත්ව විරෝධී පඬියනුත් එ ජා ප හිතවත් ජනමාධ්‍යයත් ආණ්ඩුවට එරෙහිව  ජනතා විරෝධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ඉතිරි කටයුතු කරනවා. ජාතිකත්ව විරෝධී පඬියන්ට නම් කළ හැකි ඉටිගෙඩියක් නැහැ. එහෙත් අනෙක් අංශ සංවිධානාත්මක ව තම භූමිකාවන් රඟපානවා. 

මේ කරුණු තේරුම් ගන්න ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැහැ. කොහොමටත් ඉල්ලුම හා සැපයුම මෙතන දී බලපාන්නේ නැහැ. මෙය මැතිවරණය හා සම්බන්ධයි. අතරමැදියන්ගේ ඒකාධිකාරය කැඩීමට ආණ්ඩුව වහාම පියවරක් ගන්න ඕන. කාට කාටත් ආහාර මිළ බලපාන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.  සියළු සත්වයන් ජීවත්වන්නේ ආහාරයෙන්.