Main Logo

Saturday 1 February 2020

බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම නීති රීති තව ලිහිල් කළ යුතුයි. මේ සියල්ලෙන් පෙන්වන්නේ ජාතිකවාදයේ නැගී සිටීමක්. 


බ්‍රෙක්සිට් හෙවත් බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙන්වීම අපටත් සුළු වශයෙන් හරි බලපානවා. යුරෝපය සමග අපේ කටයුතු බොහෝමයක් තවමත් සිදු වන්නේ බිරිතානිය, ඒ කියන්නෙ එංගලන්තය හරහා. ඊනියා නිදහස ලැබී අවුරුදු හැත්තෑදෙකක් ගත වීමට යන නමුත් අපට එංගලන්තය සමග ඇති බැඳීම්වලින් නිදහස් වීමට නොහැකි වී තිබෙනවා. අප කොතරම් ප්‍රංශ විප්ලවය ගැන කතා කළත් පඬියන් සාත්‍රේලා ලියෝතාර්දාලා ෆූකෝලා ඩෙරීඩාලා ගැන කතා කළත් ප්‍රංශය අපට දුරින් ඇති රටක්. දෙවැනි රාජසිංහ රජු සමයේ දී බැරි වෙලාවත් ප්‍රංශය අප රටේ මුහුදුබඩ පෙදෙස් අල්ලා ගත්තත් මේ වන විට අප සංස්කෘතික වශයෙන් ප්‍රංශය අත්හැර ඉවරයි. අද කාම්බෝජයට සිදු වී ඇත්තේ එයයි. 

ජාතිකත්වය ජාතික දැනුම ආදිය අද යටත්විජිත යුගයෙන් පසු ක්‍රමයෙන් ඉදිරියට එනවා. නව කොරෝනා සම්බන්ධයෙන් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට දේශීය දැනුම ද එක්කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය ප්‍රකාශ කර තියෙනවා. එය පුදුමයට කරුණක් නො වෙයි. එතුමාට ජාතිකත්වයක් තියෙනවා. රෝසි සේනානායකත් පේයාවක් ගැන කියල තියෙනවා. එය හොඳයි. කවුරු කළත් හොඳ වැඩ හොඳයි.

ජාතිකත්වය කියන්නෙ ජාත්‍යන්තරය නැති කර ගන්න එක නොවෙයි. බෞද්ධයන් ජාත්‍යන්තරය අමතක කරලා නැහැ. එහෙත් අප ඊනියා ජාත්‍යන්තරවාදීන් වන්නේ නැහැ. මෙරට ඉන්න පඬියන් හීනමානයෙන් පිරුණු අය පමණයි. ඔවුන් ප්‍රංශය ගැන කියෙව්වත් ප්‍රංශය පඬියන් උන්න ද මළා ද කියා දන්නේ නැහැ. ප්‍රංශය තබා මෙරට ප්‍රංශ තානාපතිවත් ඔවුන් ගැන දන්නේ නැහැ. ඒ පඬියන්ගෙන් ලෝකයටවත් ප්‍රංශයටවත් කිසිවක් අලුතෙන් එකතු වී නැති නිසා. පඬියන්ට නරක ද ප්‍රංශ මිත්‍ර සංගමයක් ඇති කර ගත්තොත් කියල අහන්න වෙනවා. 

බෞද්ධයන් ජාත්‍යන්තර සම්බන්ධකම් නැති කර ගන්නෙ නැහැ. ජාතිකත්වයක් ඇතුළෙ ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති කර ගැනීම ගැනයි අප වෙහෙසෙන්නෙ. ථෙරවාද රටවල් තම අනන්‍යතාව නැති කර ගන්නෙ නැහැ. සැමුවෙල් හන්ටින්ග්ටන් තම ක්ලෑෂ් ඔෆ් සිවිලේෂන්ස් පොතේ ථෙරවාද සභ්‍යත්වය කියා එකක් නැති බව කියන්නෙ කුමන අර්ථයකින් වුණත් එහි වැදගත්කමක් තියෙනවා. ලංකාව හා මියන්මාරය අතර සම්බන්ධකම් අවුරුදු දහස් ගණනක් පැරණියි. එහෙත් අපට ඇත්තේ ථෙරවාද සංස්කෘතීන් මිස ථෙරවාද සභ්‍යත්වයක් නො වෙයි. මාටින් යක්ගේ සභ්‍යත්ව රාජ්‍යය කර පින්නා ගත් අය මේ බව මතක් කර ගන්නවා නම් හොඳයි. 

බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙන්වීමට තීරණය කළෙ 2016 දි. ඒත් එය සාක්‍ෂාත් කර ගැනීමට අවුරුදු හතරකට ආසන්න කාලයක් ගියා. කොන්සර්වෙටිව් අගමැතිවරු තුන්දෙනකු පත් කර ගන්න සිදු වුණා. එහෙත් එංගලන්තයේ දේශපාලනඥයන්ට හා ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන්ට වඩා ඉංගිරිසි ජාතිකයන්ට තම ජාතිකත්වය වැදගත් වුණා. ඔවුන් අවසානයේ දී බොරිස් ජොන්සන් අගමැති කර තම වැඩේ ඔහුට පැවරුවා. 

ජොන්සන් ප්‍රංශ විප්ලවයේ අදහස්වලින් වෙන් වන්නේ නැහැ. එහෙමත් නැත්නම් ජර්මන් යුදෙව්වකු වූ අයින්ස්ටයින්ගෙන්වත් ඩේනිෂ් නීල් බෝර්ගෙන්වත් ජර්මන් හයිසන්බර්ග්ගෙන්වත් ප්‍රංශ ෆූකෝගෙන්වත් වෙන් වන්නේ නැහැ. ඒ ජාත්‍යන්තරය එසේමයි. එහෙත් ජොන්සන් කම්කරු පක්‍ෂයේ ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරවාදියෙකු නො වෙයි. ඔහු ඉංගිරිසි ජාතිකයෙක්. ට්‍රම්ප් ඇමරිකන් ජාතිකයෙක්. බ්‍රෙක්සිට් නිසා එංගලන්තය හා ඇමරිකා එක්සත් රාජ්‍ය අතර සම්බන්ධය වැඩි වේවි. 

බ්‍රෙක්සිට් ගැන එංගලන්තයේ ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන් පවසන්නේ අසුබවාදී අදහස්. ඔවුන්ට සාමාන්‍ය ඉංගිරිසි ජාතිකයාගේ ජාතිකත්වය තේරෙන්නේ නැහැ. ඔවුන් ජීවත්වන්නේ හිතළු ලෝකයක. ඔවුන් බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සංස්ථාපනය රකින්න හදනවා. එහෙත් එය කළ හැක්කක් නො වෙයි. අද ඒ සංස්ථාපනය කඩා වැටෙමින් පවතිනවා. එහෙත් ඒ ජාත්‍යන්තරවාදී මාක්ස් කී ආකාරයකට ධනපති ක්‍රමය කඩා වැටීමෙන් නො වෙයි. 

ජාතික චින්තනවාදී ගුණදාස අමරසේකර ඊනියා බෞද්ධ සමාජවාදයක් ඇති කරන්න හිතනවා ඇති. මාක්ස්වාදය හරි හැටි හදාරා නැති ඔහුට තවමත් ඊනියා සමාජවාදී අදහස් තියෙනවා. මට නම් තියෙන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමක්. සිංහල බෞද්ධ රාජ්‍යයේ රජවරු (භාරකාරවරු) හිටියා. භික්‍ෂූන් වහන්සේත් වැඩ හිටියා. ඒ රජවරුන්ට උඩින්. සිංහල බෞද්ධ රාජ්‍යයේ දෙරණත් දිලිත් ජයවීරත් පවතින්න පුළුවන්. මහානායක හිමිවරුත් වැඩ වාසය කරන්න පුළුවන්. පඬියන්ටත් දෙයියන්ගෙ පිහිටෙන් හරි නැතිව හරි ඉන්න පුළුවන්. ඊනියා බෞද්ධ සමාජවාදයේ ඒ එලෙස ද කියා අමරසේකරගෙන් අහගන්න. ඔහු හා මා අතර පැහැදිලි වෙනසක් තියෙනවා. දෙරණ මගේ අදහස්වලට වඩා අමරසේකරගේ අදහස්වලට තැනක් දෙනවා. දෙරණට අමරසේකරගෙ  අදහස් වැදගත් ඇති.  දෙරණට මගේ අදහස්වලට වඩා වෙනත් ඕනෑම අයකුගේ අදහස් වැදගත්!  ඒකට කමක් නැහැ.

අප සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නගන්නේ මේ ජාත්‍යන්තර වටපිටාවෙ ම මිසක් වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ල නො වෙයි. අප ඩිජිටල් තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. ඒ අතර අප ආධ්‍යාත්මික ශක්තියත් ප්‍රයෝජනයට ගන්නවා. කෘත්‍රිම බුද්ධියට වුණත් කළ හැක්කේ මිනිසුන් කියන දේ පමණයි. ඒ බව අප දැන ගෙන බොහෝ කල්. 

ඇරිස්ටෝටලීය තර්කයෙන් දැනුම නිර්මාණය කරන්න බැහැ. දැනුම නිර්මාණය කරන්නෙ මිනිසුන් ඇතුළු සත්වයන් පමණයි. ඒ තර්කයෙන් නො වෙයි. ඒ සිතිවිලිවලින්. සිතිවිලි හා තර්කය අතර ඇත්තේ අහසට පොළොව වගේ වෙනසක්. චතුස්කෝටිකය අපට හිතන්න පුරුදු කරනවා. ඒ වගේම නෙහිතන්නත් පුළුවන් කියනවා. මිනිසුන්ගෙන් ස්වාධීන දැනුමක් මිනිසුන්ට නැහැ.