Main Logo

Sunday 23 February 2020

යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?

       සිංහල ලිත් ඉලක්කම් 


යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?



බුදුදහම ගැන උනන්දුවක් දක්වන අය අතර මුහුණු පොතේ සංවාදයක් කෙරී ගෙන යන බව දැන ගන්නට ලැබ සමහර සටන් කියෙව්වා. බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ එක් එක් අයට තිබෙන්නේ එක් එක් මත කියන්න පුළුවන් වුණත් එහෙම කියන එක වැරදියි. ඉන් කියැවෙන්නේ බුදුදහම එක් එක් අය තමන්ට පේන විධියට තේරෙන විධියට අර්ථකථනය කරන එක. එහෙත් අප කරන්නේ එක් එක් අයගේ බුදුදහම් ඉදිරිපත් කරන එක පමණයි. අප ප්‍රකාශ කරන්නේ අප නිර්මාණය කරන අපේ බුදුදහම්. 

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අයින්ස්ටයින්ගේ ඇතුළු අනෙක් සාපේක්‍ෂතාවාදවලින් වෙනස් වන්නේ මෙහි දී. අයින්ස්ටයින්ගේ විශේෂ මෙන් ම සාධාරණ (පඬි නැට්ටකුගේ මහා නොවෙයි) සාපේක්‍ෂතාවාදවලත් නිරපේක්‍ෂයක් තියෙනවා. එය අවිචලක (invariants) ලෙස කියැවෙනවා. ඒ අවිචලක එකිනෙකාට පෙනෙන අයුරු, නිරීක්‍ෂණය කරන ආකාරය ගැන තමයි අයින්ස්ටයින් කතා කරන්නෙ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි අවිචලක නැහැ. හැම දෙයක් ම නිර්මාණයක්. ඒ ඒ අය තම තමන්ගේ සංස්කෘතිය චින්තනය මනස ඉන්ද්‍රිය පද්ධතිය ආදියට සාපේක්‍ෂ ව ඒ ඒ දේ නිර්මාණය කරනවා. පඬි නැට්ටකු කියා තිබුණා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය කියන්නෙ නිර්මාණාත්මක කියන පදය එකතු කළ අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය කියලා! 

මා අටුවාව තබා ත්‍රිපිටකයවත් සම්පූර්ණයෙන් කියවා නැහැ. මා සූත්‍ර කිහිපයක් මට සාපේක්‍ෂ ව නිර්මාණය කරගෙන තියෙනවා. මා හිතන්නේ මට එය ප්‍රමාණවත්. මට මගේ ම වූ ථෙරවාදයක් තියෙනවා. අප කාටත් තියෙන්නේ එකිනෙකාගෙ ථෙරවාද. මගේ ථෙරවාදයේ යථාර්ථයක් නැහැ. වයි කරුණාදාසගේ ථෙරවාදයේ නම් යථාර්ථයක් තියෙනවා. කවුරු හරි කියාවි මා ථෙරවාදය විකෘත කරනවා කියා. ඒ තමන්ට සාපේක්‍ෂ ව ත්‍රිපිටකය අටුවා ව නිර්මාණය කිරීමෙන්. 

මා අශෝක බුද්ධාගම කියන්නෙ තුන්වැනි සංගායනාවෙන් පස්සෙ බිහිවෙච්ච බුද්ධාගමකට. බුද්ධාගම හා බුදුදහම මට නම් දෙකක්.  බුද්ධාගමක් නිර්මාණය වන්නෙ බුදුදහමක් ආශ්‍රිත ව.  තුන්වැනි සංගායනාවෙන් පස්සෙ බුදුදහම් නිර්මාණය වුණා. මා අශෝක බුද්ධාගමක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. 

ලංකාවට බුදුදහම (ඒකවචනය යොදා ගත්තට එකිනෙකාට ඇත්තෙ විවිධ බුදුදහම්)  ගෙනාවෙ කවුද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා. මට නම් මිහිඳු හිමියන්ට පෙර මෙරට බුදුදහම තිබුණා. ඒ වගේ ම බුද්ධාගම තිබුණා. ථූපාරාමය මෙරට ඉදිකෙරුණු පළමු චෛත්‍යය නොවන බව බොහෝ දෙනාට අමතක වෙනවා. මිහිඳු හිමියන් සමග මෙරටට පැමිණියේ අශෝක බුද්ධාගම. මා කලින් සඳහන් කළ අන්දමට එය අශෝක රජු දේශනා කළ බුදුදහමක් ආශ්‍රිත බුද්ධාගමක් නො වෙයි. 

විජයාගමනයට පෙර මෙරට මිනිසුන් හිටියා. ඔවුන් අතර යක්‍ෂයන් නාගයන් දේවයන් මෙන් ම රාක්‍ෂසයන් ද වැදි ජනතාවද හිටියා. යක්‍ෂයන් තම නෑ යකුන්ට (මිය ගිය) පුද පූජා පැවැත්වුවා. මිහිඳු හිමියන්ට පෙර යක්‍ෂයන් යම් පිරිසක් ථෙරවාද බුද්ධාගමක් පිළිගත් බවට සාක්‍ෂි තියෙනවා. ඇතැම් ලෙන් ලිපි එයට සාක්‍ෂි දරණවා. එහෙත් ඒ ලිපි අරථකථනය කිරීමේ දී බුදුහාමුදුරුවන් මෙරට වැඩ විසූ බව කියන පිිරිසක් ද රටේ ඉන්නවා. එහෙත් ඒ අර්ථකථන ගැන මගේ පැහැදීමක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ සංඝයා වහන්සේ කියා මිස බුදුහාමුදුරුවන් හා සංඝයා වහන්සේ යනුවෙන් ඒ අර්ථකථනය කරන්න පුළුවන් ද යන ප්‍රශ්නය මගේ හිතට එනවා. 

මා වර්ගපූර්ණිකාව සම්පූර්ණයෙන් පිළිගන්නේ නැහැ. එය කුණු ගොඩක් කියා අහක දාන්නේත් නැහැ. ඇතැමුන් වර්ග පූර්ණිකාව බුදුහාමුදුරුවන් මෙරට වැඩ වාසය කළ බව පෙන්වීමට යොදා ගන්නවා. එහෙත් වර්ගපූර්ණිකාවෙ කියන්නෙ බුදුහාමුදුරුවන් ලංකාව වැඩි බවයි. වර්ගපූර්ණිකාව අනුව බුදුහාමුුදුරුවන් අභිධර්මය දේශනා කරල තියෙන්නෙ යක්‍ෂයන්ට. මාතෘ දිව්‍ය රාජයා ගැන එහි දී කියැවෙන්නේ නැහැ. වර්ගපූර්ණිකාව පිළිගන්නවා නම් බුදුහාමුදුරුවන් ලංකාවෙ වැඩ වාසය කළා කියා පිළිගන්න බැහැ.

මගේ ථෙරවාදය අනුව අප කාට පින්දුන්නත් හැමෝට ම පින් ගන්න බැහැ. පින් ගන්න පුළුවන් සත්ව විශේෂ කිහිපයක් ඉන්නවා. එහෙත් අප පොදුවේ නෑදෑයන්ට දෙවියන්ට හා වෙනත් සත්වයන්ට පින් දෙනවා. එහි වරදක් ඇතැයි මා කියන්නේ නැහැ. අප සියල්ලන්ට පින් දුන්න ම පුළුවන් අය පින් ගනීවි. අප කියන ගාථා මිහිඳු හිමියන්ගෙන් ම ලැබුණු දේ නො වෙයි. ආකාසට්ඨාච ගාථාව පසු කාලයක නිර්මාණය වූ ගාථාවක්. එහි යක්‍ෂයන්ට පින් දෙන්නේ නැහැ. අහසෙහි බිමෙහි ඉන්නා දෙවියන්ට නාගයන්ට පින් දෙනවා. අපට යක්‍ෂයන් ද දෙවියන් කියා ප්‍රශ්නයෙන් පැන යන්න බැහැ. නාගයන් දෙවියන් නොවේ ද කියා ප්‍රශ්න කරන්න පුළුවන්. 

කොහොමටත් මෙහි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකී ගාථාවෙන් ඉල්ලන්නේ පින් අනුමෝදන් වී ශාසනය දේශනය මාත් අනෙක් අයත් රකින්න කියා. යක්‍ෂයන් ශාසනය දේශනය රකින එකක් නැද්ද? එසේ නොරකින බවට මතයක් ඒ ගාථාව නිර්මාණය වන කාලයේ දී  තිබිණි ද? අනෙක් අතට දේව නාග යක්‍ෂ යනුවෙන් අප මනුෂ්‍ය වර්ග මෙන් ම මනුෂ්‍ය නොවන වර්ග ද හඳුන්වනවා. සාමාන්‍යයෙන් අප දෙවියන් කියන්නේ මනුෂ්‍යයන් නොවන අයට. මනුෂ්‍ය නොවන යන්නෙන් අමනුෂ්‍ය කියා කියැවෙන්නේ නැහැ. අමනුෂ්‍යයන් යන්නට වෙන ම අර්ථකථනයක් තියෙනවා. දෙවියන් අමනුෂ්‍යයන් නොවන එහෙත් මනුෂ්‍ය නොවන වර්ගයක්. එහෙත් දේව යනුවෙන් මනෂ්‍යයන් ද ඉන්නවා. අදත් ලංකාවේ දේව නමින් කුලයක් තියෙනවා. 

නාග යක්‍ෂ ගැන ද කිව හැක්කේ එවැන්නක්. නාගයන් හා යක්‍ෂයන් මනුෂ්‍යයයන් අතරත් ඉන්නවා. එමෙන් ම අමනුෂ්‍යයන් නොවන එහෙත් මනුෂ්‍ය නොවන අය අතර ද ඉන්නවා.  පින් දෙන විට පින් ගත්තත් නැතත් අප මේ සියල්ලන්ට පින් දෙන එකේ වරදක් නැහැ. සියළු සත්වයන්ට පින් දෙන එක හොඳයි. එත්තාවතාච ගාථාවෙහි දෙවියන්ට භූතයන්ට හා සියළු සත්වයන්ට පින් දෙනවා. එයට ප්‍රේතයන් ද අයත් වෙනවා. ඔවුන්ට පින් ගන්න පුළුවන්. 

ශාසනය රැක ගැනීම වැදගත්. ඒ සඳහා යක්‍ෂයන්ටත් (කොහේ හිටියත්) ආරාධනය කරමු. ඔවුන් අතීතයේ දී ශාසනය රැකි බවට සාක්‍ෂි තියෙනවා. සිංහල ජාතිය ශාසනය සමග බද්ධ කර ඇති ආකාරය අනුව සිංහල ජාතිය රැකෙන්නෙත් ශාසනය රැකීමෙන්. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය යක්‍ෂ බව මා කියන්නේ අද ඊයේ නො වෙයි. බොහෝ ථෙරවාදීන් මා යක්‍ෂයන් ගැන කියන දේට කැමති නැති බව දන්නවා. ඊනියා ඉන්දීය විරෝධීන් ද කැමති සිංහලයන් විජයගෙන් පැවත එන බව කීමට. ඔවුන්ට යක්‍ෂයන්ගේ ද පිහිටයි.