Main Logo

Wednesday 5 February 2020

අලි කුලප්පුව හා විසඳුමක්

                      සිංහල ලිත් ඉලක්කම්




අලි කුලප්පුව හා විසඳුමක්



ඇතැම් උපාසකම්මලා පන්සල් යන්නේ බුදුන් වැඳීමට නොව අලින්ගේ පින්තූර ගැනීමටයි. මේ උපාසකම්මලාට ඇත්තේ අසීමිත සත්ව කරුණාවක්. පන්සලක අලියකු හරි ඇතකු හරි නාවන විට ඇත්ගොවුවා කිසියම් කරුණකට අලියාට හරි ඇතාට හරි වේවැලකින් පහරක් දෙකක් ගැහැවුවොත් උපාසකම්මලාගේ හිත උණු වී කරුණා ධාරා ගලා යන්නේ ගින්නට හසු වුණු ඇන්කර් බටර් වගේ. අද එදා වගේ නොවෙයි. ඇංකර් ගැන හැමෝ ම වගේ දන්නවා. කැමරා උපාසකම්මලා ගැනත් දන්නවා.


මේ උපාසකම්මලා හැඳි ගාන්නෙ නැතිව පිසුණු හොද්දක් වගේ ද කියලත් හිතෙනවා. ඔවුන්ට කොහොම වෙතත් ඇතකුට නම් වේවැල් පහරක් උහුලන්න බැරිව වෙන්නැති. ඇතුන් බොහොම සියුමැලි සතුන්. ඇතුන් නාවන විට උන්ගේ කකුල් අතුල්ලන්නේ පොල් ලෙලිවලින්. ඇත්ගොවුවන්ට ඒ සඳහා කසී සළු දෙන්න කියන්න ඕන. පොල් ලෙල්ලකින් අතුල්ලන එක ඇතාගෙ ඇත් අයිතිවාසිකම්වලට පටහැණියි. ඉස්සර සමහරු පොල්ගස්වල පිට ඇතුල්ලුවා. කැමරා උපාසකම්මලාගෙ පිට පොල්ලෙලිවලින් අතුල්ලන්න කියල නොවෙයි මා ඉල්ලා සිටින්නෙ.

මේ උපාසකම්මලාට හා එවැනි උපාසක මහත්තුරුන්ට ඕන කරන්නෙ මොකක් ද කියන එක පැහැදිලියි. කලින් කිවුව ආකාරයට ඔවුන්ට ඇත්තේ අසීමිත සත්ව සෙනෙහසක්. ඔවුන්ට ඕන කරන්නෙ අලි ඇතුන් පන්සල්වල කෙරෙන වද හිංසාවලින් මුදවා ගන්න. ඒක නිවන් දැකීම කෙසේ වෙතත් යුරෝපා සංගමයේ රටවල් දැකීමට තරම් පින්කමක්. ඔවුන්ට ව්‍යාපාරික පංතියේ ගුවන් යානා ආසන ලැබෙනවා ද කියා මා දන්නේ නැහැ. ඒත් සත්ව අහිංසාවත් ව්‍යාපාරයක් බව නම් පැහැදිලියි.

මේ අයගෙ කරුණාව අලි කරුණාවක්. පන්සල්වල ඇතුන්ට දම්වැල් දාන එකට ඔවුන් විරුද්ධයි. ඇතුන් නිදැල්ලෙ තියනව නම් හොඳයි කියල මාත් හිතනවා. හැබැයි හැම තිස්සෙ ම නොවෙයි. අර කැමරා උපාසකම්මලා පන්සල් එන වෙලාවට. උපාසකම්මලාට දුවන්න විතරක් පාර හදල දුන්න ම ඇති. කැමරා ගැන ඒ අය බලා ගනීවි. ඒක ඇත්ගොවුවන්ගෙ ප්‍රශ්නයක් නො වෙයි. අලි කරුණාව තියෙන ඇත්තො පෙරහැරවල අලි ඇතුන් ගෙන යනවාට විරුද්ධයි. ඒක අලින්ගෙ අලි අයිතිවාසිකම් නැති කිරීමක් කියල කියනවා.

උපාසකම්මලා අලි අයිතිවාසිකම් මොනවා ද කියල ලියල දෙනව නම් කාටත් පහසුයි. ඒ අයිතිවාසිකම් දෙන එක එවිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අලි අයිතිවාසිකම් ලියල හැම පන්සලකට ම පත්‍රිකාවක් බෙදල දෙන්න බැරි ද? ජාතික ගීය දෙමළෙන් ගයන්න ඉල්ලන වෙලේ ඒ පත්‍රිකාව දෙමළෙනුත් බෙදා හැරිය නම් හොඳයි. අලි භාෂාවකින් එහෙම ඒක කියන්න බැරි ද? එහෙම කිවුවෙ නැත්නම් අලි ඇතුන් තම අයිතිවාසිකම් ගැන දැන ගන්නෙ කොහොම ද?

මේ රටේ අශ්වයන් ඉන්න තැන් හරියට ම දන්නෙ නැහැ. තවමත් ඇතැම් පළාත්වල කරත්තයට ගොනුන් බඳිනවා. අශ්වයන්ට කට කලියාව දානවා. ගොනුන්ට නාස් ලණුව දානව. බටහිර රටවලින් කැමරා උපාසකම්මලාට නාස් ලණු දාලා තියෙනවා ද කියලා මා දන්නෙ නැහැ. නාස් ලණුව දාන්නෙ පාලනය කරන්න. උපාසකම්මලා පාලනය කරන්නෙ කවුද කියල බටහිර රටවලින් ම තමයි අහන්න ඕන.

කැමරා උපාසකම්මලා අශ්වයන්ගෙ බල්ලන්ගෙ ගොනුන්ගෙ දුක් ගැනවිලිවලට සවන් දෙන්නෙ නැත්තෙ ඔවුන්ගෙ භාෂා නොදන්න නිසා දපුත්තලම් බූරුවන්ට කොච්චර නිදහසක් තියෙනවා ද කියල අහන්න ඕන බූරුවන්ගෙන් ද සත්ව අහිංසා උපාසකම්මලාගෙන් ද? එහෙමත් නැත්නම් ජෙනීවාවලින් ද? පුත්තලමේ සිට ජෙනීවා නගරයට තරමක් දුර හින්ද ඒක පහසු වෙන එකක් නැහැ.

දැන් මේ සත්වොද්‍යානවල ඉන්න සතුන්ගෙ සත්ව අයිතිවාසිකම් ගැන කවුරන්වත් හොයල බලන්නෙ නැද්ද? ඒ සතුන් කූඩුවල දාල ඉන්න එක ගැන සතුන් ඉන්නෙ සතුටින් වෙන්න ඇති. ගෙවල්වල ඉන්න බෙල්ල හිර කරපු බල්ලො කුඩුවල ගිරවු වීදුරු කුඩුවල මාළු සනීපෙන් ඉන්නවා ඇති. කැමරා උපාසකම්මලගෙ ගෙවල්වල ඒ සත්තු නැතිව ඇති. කැමරා උපාසකම්මලා සත්වොද්‍යානයට යන්නෙ නැතිව වෙන්නැති. ඇත්තට ම සත්වොද්‍යනය කාගෙ සංකල්පයක් ද? ලංකාවෙ නම් වෙන්න බැහැ. එහෙම නම් ඉතින් ප්‍රශ්නයකුත් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ පන්සල්වල අලි ඇතුන්ට දම්වැල් දාල තියෙන විට. සත්වොද්‍යානයෙ අලි ඇතුන්ට දම්වැල් දැම්මට ඒක බලන්න උපාසකම්මලා සත්වොද්‍යානයට යන්නෙ නැතිව වෙන්න පුළුවන්.

එතකොට අර අලි නැටුම් බලන්න යන්නෙත් නැත් ද? අලි නටන එක, අලි කුඩා කනප්පු වගේ භාණ්ඩවල නගින එක, තනි කකුලෙන් ඉන්න එක අලින්ට විනෝදය ගෙන දෙන්නක් වෙන්න ඕන. පෙරහැරෙ යන විට තමයි අලින්ට ප්‍රශ්න ඇති වන්නෙ. කැමරා උපාසකම්මලා ඒ බව දැන ගන්න මොන තරම් මහන්සියක්  ගන්න ඇත් ද? ඒ ගැන පර්යේෂණ පත්‍රිකා උපාධි නිබන්ධන එහෙම ලියල තියෙනවා නම් විශ්වවිද්‍යාලවලට යවනවා ද? විශ්වවිද්‍යාලවල නරක ද සත්වහිංසාව ගැන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ව දේශන ආරම්භ කළා නම්.

මේ අනම් මනම්වලින් වැඩක් නැහැ. උපාසකම්මලාට ඕන පන්සල්වලින් පෙරහැරවලින් අලි ඇතුන් අයින් කරන්න මිසක් වෙන සත්ව අහිංසාවක් නො වෙයි. දෙහිවලින් පින්නවලින් අලි ඇතුන් ඉවත් කරන්න කිසිවකු කතා කරන්නෙ නැහැ. පන්සල තමයි ප්‍රශ්නය. මේ කවුරුත් දන්න පරිදි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට කරන වැඩක් මිස වෙනත් දෙයක් නොවෙයි.

අද ලංකාවෙ පෙරහැර රාශියක් පැවැත්වෙනවා. මේ පෙහැරවලට අලි ඇතුන් ඕන. පන්සල්වලටත් අලි ඇතුන් නඩත්තු කරන එක ප්‍රශ්නයක්. පුළුවන් පන්සල්වලට අලි ඇතුන් නඩත්තු කරන්න ඉඩ දෙන්න ඕන. ඕන ම නම් කැමරා උපාසකම්මලා ලවා දම්වැල් නැතිව අලි ඇතුන් නාව ගන්න පුළුවන්. එහෙත් මා හිතනවා එය ප්‍රමාණවත් නැහැ කියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව්  නවවැනි වගන්තියට අනුව බුදු සසුන පෝෂණය කිරීමට රජය බැඳලා ඉන්නවා. පෙරහැර පවත්වා ගෙන යෑමත් සිංහල බෞද්ධ ශාසනයේ කාර්යයක්. ඒ සඳහා එක් පියවරක් ලෙස රජයට අලි ඇතුන් වත්තක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ පෙරහැරවලට අලි ඇතුන් සැපයීම සඳහා. දෙහිවල හා පින්නවල අලි ඇතුන් රැක බලා ගන්නා ආකාරයට ඒ අලි වත්තෙත් අලි ඇතුන් බලා ගන්න පුළුවන්. ඒ හුදෙක් පෙරහැරවලට අලි ඇතුන් සැපයීමට.