Main Logo

Thursday 6 February 2020

නිදහස් උත්සවය ගැන පසු වදනක්

          සිංහල ලිත් ඉලක්කම්


නිදහස් උත්සවය ගැන පසු වදනක්



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමා රුවන්වැලි සෑ මළුවේ දී කරන ලද අනර්ඝතම කතාවෙන් පසු තවත් විශිෂ්ට කතාවක් නිදහස් දිනයේ දී කළා. ඒ කතාවේ සෑම කරුණක් ගැන ම සඳහන් කිරීමට මෙවැනි ලිපියකින් බැහැ. එහෙත් කරුණක් දෙකක් ගැනවත් කියන්න ඕන. එයට පළමුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ගැන කෙටි විස්තරයක් කරන්න ඕන. 


මා දැක්කා කනත්ත ඉදිරිපිට කිහිප දෙනකු දෙමළෙන් ගීයක් ගායනා කරනවා. එයට ජාතික ගීය කියන එක වැරදියි. දෙමළෙන් ජාතික ගීයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය කුමක් දැයි පැහැදිලිව සඳහන් වෙනවා. එය ඇත්තේ සිංහලෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංගිරිසි පරිවර්තනයේ ඇත්තෙත් ශ්‍රී ලංකා මාතා ඉංගිරිසි අකුරෙන් මිස එහි ඉංගිරිසි පර්වර්තනයක් නොවෙයි. එහි ශ්‍රී ලංකා මමී හෝ මදර් ශ්‍රී ලංකා යනුවෙන් හෝ සඳහන් වෙන්නේ නැහැ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ දී ජාතික කොඩිය ජාතික ගීය වැනි දේ වෙනස් කරන්න බැහැ. ජාතික කොඩිය ලෙස සිංහ කොඩිය මිස නන්දි කොඩිය යොදන්න බැහැ. ජාතික ගීය ඒ අයුරෙන් ම දෙමළ භාෂාවෙන් ද ලියන්න ඕන. දෙමළ ජාතික ගීය කියා එකක් නැහැ. හරි විධියට කියනවා නම් සිංහල ජාතික ගීය කියා එකකුත් නැහැ. ඇත්තේ ජාතික ගීයක් පමණයි. එය ඇත්තේ සිංහලෙන්. එය එක් එක් භාෂාවට පරිවර්තනය කරන්න බැහැ.

අප කියනවා තමයි ජාතික ගීය සිංහලෙන් පමණක් ගයනවා කියා. එයත් වැරදි ව්‍යවහාරයක්. අප ජාතික ගීය ගයනවා. එය ඇත්තේ සිංහල භාෂාවෙන්. එපමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ ජාතික ගීය දෙමළට පරිවර්තනය කිරීම බරපතළ වරදක්. එය ජාතික කොඩිය වෙනස් කළා වගේ දෙයක්. අප සොයා බැලිය යුත්තේ ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට (දෙමළ පරිවර්තනයට) ඇතුල් කෙළේ කාගේ අවසරයකින් ද කියා. ඉන්දියාවේ ජාතික ගීය වංග බසින් තියෙනව වගේ ලංකාවේ ජාතික ගීය සිංහලෙන් තිබීමට ඓතිහාසික හ සංස්කෘතික හේතු තියෙනවා.

ශ්‍රි ලංකා මාතා ගීය දෙමළට පරිවර්තනය කර ඇති බව මා දන්නවා. එය එක එක තැන්වල ගයන්නත් ඇති. එකල මෙන් ම ඉඳහිට දැනුත් හින්දි ගීත සිංහලට පරිවර්තනය කර ගයනවා. එහි මූලික වශයෙන් වරදක් දකින්න බැහැ. ස්වතන්ත්‍ර ගී රචනයට හානියක් නම් වෙන්න පුළුවන්.  ශ්‍රී ලංකා මාතා ගීතය ඇතැම් තැනක දෙමළට පරිවර්තනය කර ගැයීමේ වරදක් නැහැ.

එහෙත් ජාතික ගීය දෙමළට පරිවර්තනය කරන්න බැහැ. ජාතික ගීය හා ශ්‍රී ලංකා මාතා කියන්නේ එකක් ම නොවෙයි. ඒ දෙකක්. ශ්‍රී ලංකා තායි කියන්නේ ශ්‍රී ලංකා මාතා ගීතයේ අනුවාදයක් මිසක් ජාතික ගීය දෙමළෙන් නොවෙයි. නැවතත් අවධාරණය කරන්න ඕන ඇත්තේ ජාතික ගීයක් මිස සිංහල හරි දෙමළ හරි ජාතික ගීයක් නොවන බවයි. 

මා මිත්‍ර සිරිතුංග ජයසූරිය සහ තවත් පිිිරිසක් ශ්‍රී ලංකා තායි යනුවෙන් ගීයක් දෙමළ බසින් ගයා තියෙනවා. ජෝතිපාල මහතා සිංහලට පරිවර්තනය කළ  හින්දි ගීත කීයක් ගයන්නට ඇත් ද? මා අසා ඇත්තේ සිරිතුංග සාදුකින් පෙළෙනවුන් දැන් ඇතින් නැගිටියව් ගීය ගයනු පමණයි. සිිරිතුංග හා පිරිස දෙමළට පරිවර්තනය කළ ශ්‍රී ලංකා මාතා ගීය සිංහලෙන් ලියා ගෙන කනත්ත ළඟට ඇවිත් ගැයුවත් ඔවුන් ජාතික ගීයක් ගයා නැහැ. ඔවුන් ශ්‍රී ලංකා තායි ගීතය ගායනා කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ගීයක් ගයා තියෙනවා. සිරිතුංග නැවත ශ්‍රී ලංකා තායි ගයන විට කලින් මටත් කියනවා නම් හොඳයි. බැරිවෙලාවත් එය සංයුක්ත තැටියක තියෙනවා ද? 

ප්‍රශ්නය වූයේ පහුගිය ආණ්ඩුව  දෙමළ  ගීයක් නිල වශයෙන් ඊනියා ජාතික ගීයක් ලෙස ගැයීමෙහි. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව එයට තිත තියා තියෙනවා. ජාතික ගීය ගයා තියෙනවා. ඒ ගැන ජනාධිපතිතුමාට පින් දෙන්න ඕන. එතුමාට පින් දෙන්න ඕන එතුමාගෙ කතාවටත්. එහි පැහැදිලිව කිවුවා කිසිම අන්තවාදයකට ත්‍රස්තවාදයකට ඉඩක් නොතබන බව. එමෙන් ම සමහර විට එයටත් වඩා වැදගත් ව කිවුවා විධායකයේ වැඩවලට ව්‍යවස්ථාදායකයෙන් හරි වෙනත් තැනකින් හරි බාධා බලාපොරොත්තු නොවන බව. එමෙන් ම මත්ද්‍රව්‍ය පැතිරීමට විරුද්ධ ව ක්‍රියා කරන බව. 

අද මත්ද්‍රව්‍ය රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තරුණ වියේ දරුවන් මතට ඇබ්බැහි වෙනවා. එහෙත් එයට වරදකරුවන් ඒ දරුවන් නොවෙයි. මත්ද්‍රව්‍ය රටට ගෙන්වන්නේ වැඩි හිටියන්. බොහෝ විට දරුවන් ඉන්න දෙමව්පියන්. මේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සොයා ගෙන ඔවුන්ට නඩු පවරා, අවශ්‍ය නීති නැත්නම් අලුත් නීති සම්පාදනය කර ඔවුන්ගේ හා කලත්‍රයන්ගේ දේපොළ මුදල් රාජසන්තක කරන්න ඕන. ඒ සියල්ල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන්න  යොදා ගන්න ඕන. ඒ සඳහා බටහිර ක්‍රම පමණක් යොදා නොගත යුතුයි. දේශීය ව ආධ්‍යාත්මික ව ඔවුන් පුනරුත්ථාපනය කරන තැන් තියෙනවා. ඒ සඳහා ද රජය ආධාර දෙන්න ඕන. එහි දී බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතික ගෙන ඒමට නොකීමට වග බලාගන්න ඕන. 

අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට ඉඩක් නොදෙන බව පැවසීම අතිවිශාල බහුතරයකගේ සතුටට හේතු වනු නොඅනුමානයි. අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට පමණක් නොව ඔවුන්ට අනුබල දෙනවුන්ට ද ඉඩක් නොතිබිය යුතුයි. කලින් එසේ අනුබල දුන්නවුන්ට දඬුවම් කිරීමට නීති නැත්නම් නීති සම්පාදනය කළ යුතුයි. 

එහි දී බටහිර රාජ්‍යවලින් නඩත්තුවන  රාජ්‍ය නොවන ගැත්තන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරාවි. ඊනියා මානව අයිතිවාසිකම් බටහිර රටවලවත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ ඔවුන්ගේ රාජ්‍ය ඉතා බලසම්පන්න ව තිබිය දී. අපේ රටවල ඇත්තේ එවැනි බලසම්පන්න රාජ්‍ය නොවෙයි. අපට පළමුව ඇත්තේ රාජ්‍ය ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය මිස බටහිර පන්නයේ මානව අයිතිවාසකම් ප්‍රශ්න නො වෙයි. බටහිර රාජ්‍ය ශක්තිමත් නැති අවධියේ එහි තිබූ මානව අයිතිවාසිකම් ගැන පඬියන්ට හොයන්න පුළුවන් ද? පඬියන් කියන්නේ බටහිර මතවාද වෙනුවෙන් මෙරට පෙනී සිටින පුස්සන් අහිනකට.

දහනවවැනි සංශෝධනය තිබෙන තාක් ව්‍යවස්ථාදායකය හා වෙනත් ආයතන විධායකයට අකුල් හෙලන්නට උත්සාහ කරාවි. එය සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. මීළඟ මැතිවරණයෙන් ඒ බහුතරය ලබා දීමට අප කටයුතු කළ යුතුයි. දේශපාලන පක්‍ෂ බොහොමයක් එයට විරුද්ධ වේවි. එසේ වුවහොත් අපට ඔවුන්ට විරුද්ධ වන්න සිදු වේවි. අප කළ යුත්තේ අකුල් හෙලන්නන්ට අකුල් හෙලීමයි. ඔවුන්ට මනාප නොදීමයි. අප මැතිවරණයේ දී තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළට සහාය දෙන අය මිස අරයාගෙ මෙයාගෙ නියෝජිතයන් නො වෙයි. විධායකය පත් කර ගෙන ඇත්තේ මුළු රටේ ම බහුතර කැමැත්තෙන් බව අමතක නොකළ යුතුයි. ඒ ඒ දිස්ත්‍රික්කයෙන් පමණක් පත්වන අය තම ප්‍රාදේශීය අරමුණු ඉටු කර ගැනීම සඳහා විධායකයට බාධා නොපැමිණ විය යුතුයි.