Main Logo

Monday 24 February 2020

ටිල්වින්ගේ සොයා ගැනීම

 සිංහල ලිත් ඉලක්කම්


ටිල්වින්ගේ සොයා ගැනීම


විපක්‍ෂය තියෙන්නෙ ආණ්ඩුවේ වැරදි පෙන්නලා නිවැරදි කරන්න. ඒත් ඒක පොතේ තියෙන එකක් පමණයි. බටහිර රටවල ඒක තරමක් ක්‍රියාත්මක වෙනවා. පොතේ කුමක් තිබුණත් විපක්‍ෂය බලන්නෙ ආණ්ඩුව හැකි ඉක්මණින් ගෙදර යවල තමන් ආණ්ඩු පක්‍ෂය බවට පත් වෙන්න. ලංකාවෙ නම් එහෙම ම පමණයි. ඒත් වික්‍ෂයෙ ඉන්න ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි පක්‍ෂවලට හා සංධානවලට කරන්න පුළුවන් කුමක් ද? ඔවුන්ටත් වුවමනා ආණ්ඩුව පෙරලන්න. ඒත් ඔවුන්ට ආණ්ඩු පිහිටුවන්න බැහැ. ඔවුන් කරන එකම දේ එ ජා පක්‍ෂයට (පෙරමුණට)  සහාය දීල ඒ ආණ්ඩුවේ වලිග බවට පත්වීම. එක ගණුදෙනු (ඩීල්) දේශපාලනයක්. 


ජ වි පෙ නායකයන් කියන්න පුළුවන් ඔවුන් ඩීල් දේශපාලනයෙ නැහැ කියල. ඒත් 1990න් පස්සෙ ඔවුන් කරන්නෙ ඩීල් දේශපාලනයක්. ඔවුන් එක් අවස්ථාවක චන්ද්‍රිකාගෙ ආණ්ඩුවක ඇමති පදවි ලබා ගත්තා. වැව් දාහක් හැදුවා. ඒ වැව් ආයෙ හදන්න පටන් ගන්න ඕන. ජ වි පෙ නායකයන් පෙන්නපු එක ම දෙය ඔවුන් වැඩ බැරි ටාසන්ලා බව පමණයි. 

නලින්ද ජයතිස්ස කියල ජ වි පෙ හවුල් ආණ්ඩුවලට ගිය පක්‍ෂ සමග කිසිම සම්බන්ධකමක් ඇති කර ගන්නෙ නැති බව. ඒක හොඳයි. දැන් ජ වි පෙරමුණට ජ වි පෙ සමග සම්බන්ධකම් ඇති කර ගන්න බැහැ. ජ වි පෙ හකීම් සමග සංධානයකට එළඹුනත් නැතත් ඔවුන් අතුගා දැමීම ස්ථිර වශයෙන් සිදු වේවි. අප්රේල් මැතිවරණයේ දී ඡන්දදායකයන් ජ වි පෙ පාර්ලිමේන්තුවෙන් අතුගා දැමීමට කටයුතු කරාවි.

ජෙනීවා 30/1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීම ඉවත් කිරීම ගැන ජ වි පෙ, දෙමළ ජාතික සංධානය හා එ ජා පක්‍ෂය කියන්නෙ එක ම දෙයක්. ඒ පහුගිය යහපාලන ආණ්ඩුවේ කොටස් කරුවන් හැටියට කියන දෙයක්. යහපාලන ජඩපාලනයෙ විදේශ ඇමති මංගල සමරවීර තමයි ඒ යෝජනාවටත් පසුව තවත් යෝජනාවලටත් අනුග්‍රහය/පක්‍ෂපාතීත්වය දැක්වූයේ. පාර්ලිමේන්තුව ඒ යෝජනා අනුමත කළේ නැතත් ඇමති මණ්ඩලය අනුමත කළත් නැතත් සම අනුග්‍රහකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවේ සියල්ලන් ම එයට වග කියන්න ඕන.  ඔවුන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනට දිය යුතු ගෞරවය නොදී  අවතක්සේරු කරන්න හදනවා.

අද ටිල්වින් සිල්වා, අජිත් පෙරේරා හා සම්බන්ධන් කරන්නෙ ආණ්ඩුවට ලැබිය යුතු ගෞරවය නොදී සිටීමට වෑයම් කිරීම. ටිල්වින් සිල්වාට ලෙනින් පදක්කමක් දිය යුතු සොයා ගැනීමක් කර තියෙනවා. ආණ්ඩුව ජෙනීවා යෝජනාවලින් ඉවත් වුණාට යෝජනා එහෙම ම තියෙනවයි කියල ටිල්වින් සහෝදරයා කියනවා. ඇත්ත නේන්නම්. මොන තරම් සොයා ගැනීමක් ද? මා සොයා ගැනීම කියන වචනය යොදා ගැනීමට අකමැති වුණත් මෙතන දි ඒක යොදා ගන්න ඕන. අජිත් පෙරේරාත් සම්බන්ධනුත් ඒ අදහස ම පස්සෙ කිවුව. 

යෝජනාවක් සම්මත වුණාට පස්සෙ ඒක පරාජය කරන්න පුළුවන් ඒ සම්මේලනයට විතරයි. 30/1 යෝජනාව ඉදිරිපත් කළ එක්සත් රාජ්‍යය (ඇමරිකාව) අද එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලයෙ නැහැ. ඔවුන්ට කවුන්සිලය ගැන හොඳ වැටහීමක් ඇති. එහෙත් එරට නැති වූ පමණින් යෝජනාව නැති වෙන්නෙ නැහැ. යෝජනාව එකී කවුන්සිලයෙ සම්මත වෙච්ච එකක්. වැඩි ඡන්දයෙන් සම්මත වෙච්ච එකක්. එය පරාජය කරන්න බැහැ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ රුසියාව චීනය වගේ රටවල් නිෂේධ බලය යොදා ගන්න අවස්ථාවල හැරෙන්න බටහිර රටවල අතකොළුවක් පමණයි. මේ යෝජනාව එදත් අපට පටහැණිව තිබුණා. අදත් අපට විරුද්ධ ව තියෙනවා.

එහෙත් එදා ඒ යෝජනාවට, රණවිරුවන් පාවාදුන්, අධිකරණ පද්ධතිය දෙබිඩි කර අගෞරවයට පාත්‍ර කළ, රටේ ස්වෛරිභාවය නැති කළ යෝජනාවට ජ වි පෙ, දෙමළ ජාතික සංධානය ද කොටස්කරුවන් වූ ජඩපාලන ආණ්ඩුව අනුග්‍රහකත්වය දැක්වීම හේතුවෙන් එය මෙහි ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණා. ආණ්ඩුව ජ වි පෙරමුණ ද ඇතුළුව එයට සහාය දෙන්න සැදී පැදී සිටියා. එහෙත් එය කළ නොහැකි වූයේ එදා විපක්‍ෂයේත් ජාතික බලවේගවලත් කැප වීම නිසයි. ඒ කැප වීම නොවන්නට මෙලහකටත් ඊනියා ජාත්‍යන්තර අධිකරණවලින් රණවිරුවන්ට දඬුවම් දීලා. විදුලි පුටුවලටත් යවන්න තිබුණා.

අජිත් පෙරේරා පුරසාරම් දොඩනවා ඔවුන් විදුලි පුටුව අයින් කළ බවට. ඔවුන් අයින් කළ විදුලි පුටුවක් නැහැ. විදුලි පුටු අයින් කෙළේ එදා විපක්‍ෂය හා ජාතික බලවේගයි. විදුලි පුටු කතාව අප කිවුවේ බොහෝ කලකට පෙර. 2015 මැතිවරණවලටත් පෙර. විපක්‍ෂය හා ජාතික බලවේග නොවන්නට දෙබිඩි අධිකරණ ක්‍රියාත්මක වෙනවා. අජිත් පෙරේරාලාට විදුලි පුටු ගෙන  ඒමේ විපාකය ජනාධිපතිවරණයේ දී පල දුන්නා. අප්රේල්  මැතිවරණයේ දී ඉතිරි ටිකත් හෝදල යාවි. ජ වි පෙ නම් ස්වයං හේදීමක යෙදේවි.
 
අද ඇති වී තිබෙන වෙනස ඉතා බලවත්. අද ලංකාව ඒ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන්නෙ නැහැ. ආණ්ඩුව යෝජනාවට විරුද්ධයි. එදා ජඩපාලන ආණ්ඩුව යෝජනාවට පක්‍ෂයි. අද ආණ්ඩුව කීයටවත් ඉඩ දෙන්නෙ නැහැ විදුලි පුටු ගේන්නවත් දෙබිඩි අධිකරණ පිහිටුවන්නටවත්. යෝජනාව සම්මත වී තිබුණත් ආණ්ඩු දෙකේ ආකල්ප වෙනස්. එදා ආණ්ඩුව රණවිරුවන් පාවා දුන්නා. රණවිරුවන් සිරගත කළා. අද එසේ කෙරෙන්නේ නැහැ. ඉන් ඔබ්බට ගිහින් සිරගත කර ඇති රණවිරුවන් නිදහස් කරන්න ඕන. 

එහෙත් මෙහි අවදානමක් නැත්තෙ නැහැ. අපට විරුද්ධව තහංචි පනවන්න ඉඩ තියෙනවා. අප එයට සූදානම් විය යුතුයි. අප බටහිර නොවන රටවල සමග වැඩි වැඩියෙන් සම්බන්ධකම් ද්විපාර්ෂික ගිවිසුම් ඇති කර ගන්න ඕන. තහංචිවලට බියෙන් අපට රණවිරුවන් පාවා දෙන්න බැහැ. රටේ ස්වෛරීභාවය නැති කර ගන්න බැහැ. අධිකරණය බාල්දු කරන්න බැහැ. බඩට වඩා රට වැදගත් බව ටිල්වින්ලා අජිත්ලා කෙසේ වෙතත් ඡන්දදායකයන් තේරුම් ගෙන ඉන්නවා.