Main Logo

Saturday 22 February 2020

සයින්දමරදු මරු කට

  සිංහල ලිත් ඉලක්කම්


සයින්දමරදු මරු කට

සයින්දමරදු වෙන ම නගර සභාවක් කළ ගැසට් නිවේදනය අස්කර ගෙන. ඒක හොඳයි. ඒත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒක වෙන ම නගර සභාවක් කෙළේ කාගෙ වුවමනවට ද? පහුගිය ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුවක් අනුව ද? ඒ ඡන්ද පොරොන්දුව ඉටු කරලා ඒක අස්කර ගන්නෙ ඇයි? ඒ ඡන්ද පොරොන්දුව රටේ බහුතරය නොපිළිගත් නිසා ද? එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයෙදි පොරොන්දු වුණත් එයට ජනාධිපති අපේක්‍ෂක සහාය නොදුන් නිසා ද?


සයින්දමරදු ෆයිස් මුස්තෆාගෙ පිටින් යවන එක අමාරු වැඩක්. ෆයිස් මුස්තෆාගෙ ක්‍රියාදාමය ඇමතිවරුන්ගෙන් අහන්නෙ නැතිව නිළධාරීන් ඉදිරියට ගෙන ගියා ද? අදාළ ගැසට් නිවේදනයට ජනක බණ්ඩාර ඇමති ලෙස අත්සන් කෙළේ නිලධාරීන්ගේ අවශ්‍යතාවට ද? නිලධාරීන් එ තරමට ම බලවත් ද? ජනක බණ්ඩාරට වෙනත් බලපෑමක් වී ද?

එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයට මුස්ලිම් ඡන්ද ලැබෙන එකක් නැද්ද? සයින්දමරදු වෙන ම නගර සභාවක් ලෙස පවත්වාගෙන ගියා නම් මුස්ලිම් ඡන්ද ලැබෙන්න තිබුණ ද? මුස්ලිම් ඡන්ද වෙනුවෙන් විවිධ පොරොන්දු දීම හා ඒ පොරොන්දු ඉටු කිරීම නවතින්නේ නැද්ද? ඒ නැවැත්වීමට සිංහල ඡන්දවලට පුළුවන් ද? සයින්දමරදු ප්‍රශ්නයේ දී නම් සිංහල ජාතිකත්වය ජයග්‍රහණය කර තියෙනවා. 

ඒ කුමක් වුණත් සයින්දමරදු වෙන ම නගර සභාවක් බවට පත් කරන්න ගත් තීරණය වැරදියි. මා මේ ගැන මගේ අදහස් පසුගිය දා පැවති සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කළා. ජඩමාධ්‍යවේදීන් ඒ අදහස් ප්‍රචාරය කරන්නේ නැහැ. ඔවුන් එහි වැදගත්කමක් දකින්නෙ නැතිව වෙන්න ඇති.   
මෙරට දේශපාලනයේ ජනවාර්ගික යැයි කියන බෙදීම් තියෙනවා. මෙරට ඇත්තේ එක ම ජාතියක් පමණයි. ඒ සිංහල ජාතිය. දෙමළ ජනවර්ගයක්වත් නැහැ. දෙමළ කතාකරන ජනකොටස් තුනක් මෙරට තියෙනවා. ඒ උතුර, නැගෙනහිර හා කඳුකර යනුවෙන්. ඔවුන් මූලික වශයෙන් විවිධ කාලවල දී ලන්දේසීන් හෝ ඉංගිරිසින් හෝ විසින් ලංකාවට ආනයනය කරනු ලැබූ අයගෙන් පැවත එන්නන්. ලන්දේසින් ගෙනා වෙල්ලාලයන් යථා කාලයේ දී යාපනයේ සිටි සිංහලයන් ඊනියා අඩුකුලවලට පත්කර දෙමළ හින්දු සංස්කෘතියකට අවශෝෂණය කළා

මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බව මා අනේක වාරයක් පෙන්ව දී තිබෙනවා.   පියසිරි අමරකෝන් ඉදිරිපත් කරන දත්තවලට අනුව ඒ නිර්මාණය 1800 පමණ දක්වා දිව යනවා. ඉංගිරිසින්ට මෙරට බෙදීමේ වුවමනාව දහනවවැනි සියවසේ මුල දී ද තිබූ බව පැහැදිලියි. ඔවුන් මුස්ලිමුන් ද වෙල්ලාලයන් ද සිංහලයන්ට විරුද්ධ ව මෙහෙයවූවා. ඊනියා ජනවර්ග අනුව ජනතාව වර්ග කරනු ලැබුවේ ඔවුන් විසින්. බටහිරයන්ට පෙර මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පෘතුගීසීන්ගෙන් බැට කෑ මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුයේ සිංහල බෞද්ධ රජවරුන් විසින්. 

ඉංගිිරිසින්ට අවශ්‍ය වූයේ පොන්නම්බලම් කුමාරස්වාමි පවුලට මෙරට නායකත්වය ලබා දීමට. එය වැරදී යන විට වෙල්ලාලයන් ජාතිවාදී දේශපාලනය ආරම්භ කළා. මෙරට ඇති කළ පළමු දේශපාලන සංවිධානය (එය වත්මන් අරුතින් පක්‍ෂයක් නොවන්න පුළුවන්) පොන්නම්බලම් අරුණාශලම් 1912 දී පමණ ඇති කළ හින්දු මහජන සභාව. ඔහු සහ ඔහුගේ සොහොයුරු රාමනාදන් තමයි මෙරට ජාතිවාදී දේශපාලනයේ පුරෝගාමී දේශපාලනඥයන්. එදා සිට අද දක්වා දෙමළ (හින්දු) මුස්ලිම් නමින් විවිධ දේශපාලන පක්‍ෂ ඇති වී තිබෙනවා.

මෙවැනි පක්‍ෂවලට ඉඩ දිය යුතු ද යන ප්‍රශ්නය අද අප හමුවේ තියෙනවා. ඊනියා ලාංකික ජාතියක් ගැන කතා කරන අය ම තමයි වැඩිපුර ජාතිවාදී පක්‍ෂ තනා ගෙන ඉන්නෙ. ඉතා පැහැදිලි ව මේ සියල්ලන් කතා කරන්නේ වැඩ කරන්නේ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට  මෙරට හිමි තැන නැති කරන්න. ජන කොටස් මත පදනම් ව පක්‍ෂ පිහිටුවීමත් ඒ මත පදනම් ව රටේ කොටස් වෙන් කිරීමත් නොකළ යුතුයි. 

අරුණාශලම්ලා ඇති කළ ජාතිවාදී දේශපාලනයේ එක් අවස්ථාවක දී ජී ජී පොන්නම්බලම් පනහට පනහ යෝජනාව ඉදිරිපත් කළා. එයින් ඔහු අදහස් කෙළේ සිංහල නොවන්නන්ට ආසනවලින් සියයට පනහකුත් අනෙක් සියයට පනහ සියල්ලන් අතර බෙදී යා යුතු බවත් (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත සහ තවත් ලිපි කියවන්න).   පසුව වෙල්ලාල නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් කියා සිටියේ සිංහලයන්ට ආසන බහුතරයක් ලැබීම වළක්වන ආකාරයට සීමා නීර්ණය කරන්න කියා. සෝල්බරි ඔවුන්ට කීවේ 75%ක් 50%කට අඩු කිරීමට ක්‍රමයක් නැති බවයි. එහෙත් ඔහු ඊනියා බහුආසන වෙන් කිරීමෙන් ජාතිවාදී වෙන් කිරීමක් කළා. මේ සියල්ල සිදු වූයෙ 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට පෙර බව දෙමළ ජාතිවාදී පඬියන්ට පෙනෙන්නේ නැහැ. 

සයින්දමරදු වෙන ම නගර සභාවක් කරන ලෙස ඉල්ලන්නේ මුස්ලිම් ජනයා එහි 100%ක් වන බව කියමින්. ඒ පදනම ම වැරදියි. ජනකොටස්වලට නගර සභා හෝ පළාත් සභා හෝ වෙනත් දේශපාලනික සභාවක් වෙන් කිරීම සම්පූර්ණයෙන් ම වැරදියි. ඉන් කරන්නේ අරුණාශලම්ලාගේ රාමනාදන්ලාගේ ජාතිවාදී දේශපාලනයට පැවැත්මක් ලබා දීම පමණයි. අද දේශපාලනයේ දී ඇතැමුන් මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට විවිධ කප්පන් දෙනවා. මෙය වහාම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරන්නේ නම් රටට වැඩදායකයි. 

අද  තොරතුරු අනුව සයින්දමරදු නගර සභාව පිහිටුවීම තාවකාලික ව නතර කරලා. රටේ ම මෙවැනි තත්වයන් ඇති ප්‍රදේශ සොයා බලා ඒ අනුව පලාත් පාලන ආයතන සීමා නීර්ණය කිරීමට කටයුතු කරන බවයි පැවසෙන්නේ. සමහරවිට සිංහලයන්ට ප්‍රාදේශීය සභාවක් දී පසුව සයින්දමරදු රාශියක් ඇති කිරීමට කිසිවකුට අදහසක් තියෙනවා ද දන්නෙ නැහැ. එහෙම තිබුණත් ඒ සියල්ල නවතා දැමිය යුතුයි. ජාති ජනවර්ග ජනකොටස් මත කිසිම සීමා නීර්ණයක් නොකළ යුතුයි. 

අවශ්‍ය වන්නේ ඊනියා ජනවර්ගය මත පදනම් ව රට විවිධාකාරයේ කොටස්වලට බෙදීම නැවැත්වීමයි. සයින්දමරදු ඕනත් නැහැ වෙනත් මරදුවක් ඕනෙත් නැහැ. ඒ මරදු මරු කට පමණයි. අලුත් ජාතියක් ගොඩ නගන්න මෙය අලුත් රටක් නොවෙයි.  අලුතෙන් ජාතියක් ගොඩ නගන්න ලංකාව 1948 දී බිහි වූ රටක් නො වෙයි. අවශ්‍ය වන්නේ ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීම සහ සිංහල ජාතියට විවිධ ජනකොටස් තම අනන්‍යතාව රැක ගනිමින් එකතු කර ගැනීමයි.