Main Logo

Wednesday, 12 February 2020

ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්


ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ, ශ්‍රී ල නි පක්‍ෂය හා තවත් පක්‍ෂ හා සංවිධාන පහළොවක් එකතු වී ගිවිසුමක් අත්සන් කළා. ඒ වගේ ම ශ්‍රී ල නි පක්‍ෂය තවත් ද්විපාක්‍ෂික ගිවිසුම් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ ජාතියේ අපේක්‍ෂකයාගේ ප්‍රධානත්වයෙන්. ඒ ගිවිසුම් එදින ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. බොහෝ දෙනා දන්නේ ඉතා ටික දෙනකු ඒ ගිවිසුම්වල තියෙනවයි කියන කරුණු පමණයි. මා හිතන්නේ මේ ගිවිසුම් සියල්ල ප්‍රසිද්ධ කළ යුතු බවයි. ඊයේ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධ කරලා. එකක් ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ අතර ගිවිසුම. අනෙක ශ්‍රී ල නි ප ජාතික අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග ඇති කර ගත් ගිවිසුම. ගිවිසුම් ජනාධිපතිවරණයට පෙර අත්සන් කළත් ඒ වඩා බලපාන්නේ මහා මැතිවරණයට කියා මා හිතනවා. අනෙක් ගිවිසුම් ද ප්‍රසිද්ධ කරන්න ඕන. 


ගිවිසුම් අනුව මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන නව සංධානයෙන්. මේ සංධානයට නමකුත් දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයයි. මගේ තේරුම නම් එහි ලකුණ පුටුවයි. දැන් කාට හරි කියන්න පුළුවන් ඒක එහෙම නොවෙයි කියලා. කවුද හරි? ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඉස්සෙල්ලා හරි කියන්නේ මොකක් ද කියල අහන්න පුළුවන්.

මේ ගිවිසුම් ගැන ඇතැමුන් හිතන්නෙ ඉතා සරල ව. ඒක වැරදියි. එදා ගිවිසුම් අත්සන් කරපු වෙලාවෙ ඒ රැස්වීමේ මූලාසනය හරි කේන්ද්‍රීය ආසනය හරි දැරුවෙ වත්මන් ජනාධිපතිතුමා. ඒ නිසා ම ගිවිසුම්වලට ලැබෙන වැදගත්කම බෙහෙවින් අධිකයි. යම් අයුරකින් ගිවිසුම් කැඩුවොත් එය ජනාධිපතිතුමාගෙ ප්‍රතිරූපයට කැළලක්. ජනාධිපතිතුමා එකල ජනාධිපති නූණත් ගිවිසුම්වලට අත්සන් කිරීම නිසා ගිවිසුම් ක්‍රියාත්මක වන බවට එතුමාට ද වග බලා ගන්න වෙනවා. එතුමා ඒ කරන බවට අපට විශ්වාසයක් තියෙනවා. එහෙත් ඇතැම් අය ගිවිසුම් කැඩීමට කතා කරනවා.

ගිවිසුම් කියන්නෙ එකට එක කිරීමේ අවස්ථා නො වෙයි. සමහරු බොරු තර්ක ගේනවා. පොහොට්ටුව තමයි ජනප්‍රිය ලකුණ. ඒ නිසා පොහොට්ටුවෙන් තරග කරන්න ඕන, පොහොට්ටුව කියන්නෙ මුළු ලෝකෙන් ම සංකේතයකින් හඳුන්වන එක ම පක්‍ෂය. මේ සියල්ල ළදරු තර්ක පමණයි. පොහොට්ටුව කියන්නෙ පොදු ජන පෙරමුණේ ලකුණ කියල විශාල පිරිසක් දන්නවා. එහෙත් හංසයා පක්‍ෂයෙ නම දන්න කී දෙනෙක් ලංකාවෙ ඉන්නවා ද? ඒ ලකුණෙන් ඉල්ලපු අයවත් පක්‍ෂයෙ නම දන්නවා ද? පනස්හයෙත් ප්‍රසිද්ධ වුණෙ අත ලකුණ.

2015 අගෝස්තුවෙ අද ඔය දළ වශයෙන් පොදුජන පෙරමුණ කියන පිරිස බුලත් කොළෙන් ඉල්ලවා. බුලත් කොළේ පක්‍ෂයෙ නම මොකක් ද? එක්සත් ජනතා නිදහස් සංධානය කියමු. ඒත් මිනිසුන් වැඩිය දන්නෙ බුලත් කොළේ. එහෙම තමයි අපි පුරුදු වෙලා ඉන්නෙ. පක්‍ෂයට වඩා පක්‍ෂයෙ ලකුණ ගැන කියන එක අපේ ලක්‍ෂණයක් වෙලා තියෙන්නෙ විවිධ සංධාන හදන්න පටන් ගත්ත දවසෙ ඉඳන්. පනස්හයේ මහජන එක්සත් පෙරමුණත් සංධානයක්. අද එය වෙන ම පක්‍ෂයක්.

2015 අගෝස්තුවෙ අප ඒකාබද්ධ විපක්‍ෂයට කිවුවා වෙන ම තරග කරන්න කියලා. ඒක අහන්නෙ නැතිව බුලත් කොළෙන් තරග කළා. මැතිවරණ ව්‍යාපාරයෙ අවසන් සතියෙ පමණ මෛත්‍රිපාල සිරිසේන කිවුව මහින්ද අගමැති කරන්නෙ නැහැ කියලා. ඒ මැතිවරණයෙන් එ ජා පක්‍ෂය දිනුවෙ ඒ ප්‍රකාශය නිසා නො වෙයි. අද පොදුජන පෙරමුණේ ඉන්න අය 2010-2015 කාලයෙ ජාතිකත්වය අමතක කරල වැඩ කරපු නිසා එදා පැරදුණා. කොහෙමටත් ඒ පරාජය ලැබුවෙ ජාතිකත්වය අමතක කරල වෙනත් ශක්තීන් කෙරෙහි විශ්වාසය තැබූ අය මිස ජාතිකත්වය නො වෙයි.

පරාජයෙ ප්‍රතිඵලයක් හැටියට මහින්දට අගමැතිකම විතරක් නොවෙයි විරුද්ධ පක්‍ෂයෙ නායකකමත් නැති වුණා. වෙන ම තරග කරල තිබුණ නම් අඩු තරමෙ විපක්‍ෂ නායකකම ලැබෙන්න තිබුණා. කතානායක කරුණාරත්න ජයසූරිය නිවැරදි ව තීරණය කළ පරිදි මහින්ද දිනේෂ් ඇතුළු පිරිස එක්සත් ජනතා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරුන් මිස වෙනත් පක්‍ෂයක හරි සංවිධානයක හරි සාමාජිකයන් නො වෙයි.

මේ සියල්ල පිටුපස ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නය. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂයක්. එහෙත් මෛත්‍රිපාල එය මරා දැමුවා. මා ඒ සම්බන්ධයෙන් ඔහුට පමණක් දොස් පවරන්නේ නැහැ. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් යැවූ අයත් එයට වග කියන්න ඕන. ඒ අයට කිසිම ජාතිකත්වයක් නැහැ. මෛත්‍රිපාලට යම් ජාතිකත්වයක් තියෙනවා. මෛත්‍රිපාල 2015 දි කළ වරද 2018 දි යම් පමණකට නිවැරදි කළා. ඔහු 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කළා. එහෙත් පොහොට්ටුවෙ අය මහින්ද රැක ගත්තෙ නැහැ. ඒ වෙනුවට මහින්දත් තවත් අයත් පොහොට්ටුවෙ සාමාජිකයන් කරල තව ටිකෙන්  ඔවුන්ගෙ මන්ත්‍රීකමුත් නැති කරනවා. මන්ත්‍රිකම් රැක ගත්තෙත් මෛත්‍රිපාලගෙ කීමට මහින්ද අමරවීර කතානායකට යැවූ ලිපියක් නිසා.

අද දයාසිරි ජයසේකර සහ තවත් අයට අවශ්‍යයි ශ්‍රී ල නි පක්‍ෂයට යළි පණ දෙන්න. එහෙත් පොහොට්ටුවෙ ඇතැමුන් එයට ඉඩක්  දෙන්නෙ නැහැ. ඔවුන් කටයුතු කරන්නෙ තමන් හැමදාම පොහොට්ටුවෙ හිටිය වගේ. එදා නුගේගොඩ රැස්වීමෙ වේදිකාවට නැග්ගෙ නැති අය හිටියෙ යහපාලනයෙ. ඔවුන් ආණ්ඩුවෙ හිටිය ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් යහපාලනයට ආවැඩුව. ඔවුන්ගෙ කෙරුවාව ගැන අවශ්‍ය නම් සාක්‍ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ පක්‍ෂ දේශපාලනයෙ ජඩකම. මේ පක්‍ෂ දේශපාලනයෙ ඉන්න බොහෝ දෙනකුට ජාතිකත්වයක් නැහැ. ඔවුන් කරන්නෙ රැකියාවක්. අවාසනාවකට ඔවුන් රැකියාවට තෝරා ගන්නෙ අපි. ඔවුන් තමන් වෙනුවෙන් මිස අප වෙනුවෙන් නොවෙයි. ඔවුන් රැකියාව වෙනුවෙන් බොරු කියනවා. සුදනන් ලෙස පෙනී සිටිනවා. අද එ ජා පක්‍ෂයේ මේ ජඩකම හොඳින් බලා ගන්න පුළුවන්. ඔවුන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. අද එ ජා පක්‍ෂයේ තරගය ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානිය හා බෝන් අගේන් අතර. කවුරු දිනුවත් රටට වැඩක් නැහැ.

එහෙත් අප ජාතිකත්ව බලවේග රැකගන්න ඕන. පොහොට්ටුව ජාතිකත්වයෙ පක්‍ෂයක් නොවුණත් එයට ජාතිකත්වය ගෙන යන්න ඕන. එය කරන්න පුළුවන් ශ්‍රී ල නි පක්‍ෂය මගින්. මෛත්‍රිපාල කියන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය නො වෙයි. මහසෙන් රජු මෙන් ඔහු හොඳ ද නරක ද කර තිබෙනවා. අප ඔහු නැති ශ්‍රී ල නි පක්‍ෂයක් ගැන හිතන්න ඕන. එහෙත් අප අමතක නොකළ යුතු කරුණ නම් 2018 මහින්ද අගමැති කෙරුණෙ මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමෙන් බව. පොහොට්ටුවෙ ඉන්නෙත් ගැමුණු ලා වලගම්බාලා විජයබාහුලා නොවෙයි.

අවසානයේ දී පක්‍ෂ දේශපාලනත්වයට අප තිත තියන්න ඕන. ක්‍රමයෙන් ජාතික දේශපාලනයකට යන්න ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට එයට නායකත්වය දෙන්න පුළුවන්. ඔහු කිසිම දේශපාලන පක්‍ෂයක, සංධානයක සාමාජිකයකු වීම අවශ්‍ය නැහැ. ඔහු දේශපාලන පක්‍ෂවලට උඩින් සිටිමින් රටට නායකත්වය දෙන්න ඕන. ඔහු පක්‍ෂයකට නොව රටට නායකත්වය දෙන තැනැත්තා. ඔහු ජාතික ජනාධිපති මිස පක්‍ෂයක ජනාධිපති නොවෙයි.

අප ජඩ පක්‍ෂ දේශපාලනයෙන් මිදෙන්න ඕන. එහෙත් දැනට මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිදු වන්නෙ නව සංධානයෙන්. ඒකෙ ලකුණ මොකක් ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මෙරට ජතිකත්වයක් ඇති පිරිස් ලකුණුවලින් දේශපාලනය කරන්නෙ නැහැ. අත, පුටුව, බුලත් කොළය, පොහොට්ටුව ඕන එකක්. වෙන එකක් වුණත් කමක් නැහැ. මිනිසුන්ට ලකුණක් පුරුදු කරන්න පුහුණුකරුවන් අවශ්‍ය නැහැ.

මෙවර මහා මැතිවරණයට නව සංධානයෙන් දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් නොවන යම් පිරිසක් ජනාධිපති ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරන්න ඕන. ඔවුන් වියත් මගේ ද ජාතික සංවිධානවල ද යන්න ප්‍රශ්නයක් නොවිය යුතුයි. දේශපාලනය කරන්නෙ මළ ගෙවල් මගුල් ගෙවල් කොටහළු ගෙවල්වල ගිහින් පමණක් නො වෙයි. පක්‍ෂ දේශපාලනය නම් කරන්නෙ ඒ විවිධ ගෙවල් හරහා බව ඇත්තයි.

නව සංධානයෙන්, එ කියන්නෙ පසුගිය ඔක්තෝම්බරයෙ පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයෙන් හැර වෙනත් ආකාරයකට ඉදිරිපත් වීම ඒ සංධානය සඳහා වූ ගිවිසුම්වලට අත්සන් කළ ගෝඨාභය රාජපක්‍ෂට පිටු පෑමක්. ඉන් සිදු වන්නේ ආණ්ඩුව දුර්වල කිරීමක් පමණයි. ඉන් පොහොට්ටුව ශක්තිමත් වන්නෙත් නැහැ.