Main Logo

Monday 10 February 2020

මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය

   සිංහල ලිත් ඉලක්කම්


මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය



මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්‍ෂට කියා තියෙනවා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය පැත්තකින් තියමු. සිංහල බහුතරයේ විරුද්ධතාව මැද දහතුන ක්‍රියාත්මක කරන්න කීම ගැන කියන්න තියෙන්නෙ මෝදි ලංකාවෙ පාලකයා නොවන බව පමණයි. 


දහතුන ඇතිවුණෙ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස. ඉන්දියාවට ප්‍රසන්න රණවීර එක්ක ගිය ගැන සමාජ ජාල කියන පඩංගුවල ඇතැමුන්ට රිදිලා. ඒ ප්‍රසන්න මිරිස් කුඩු ගහපු නිසාලු. ඔහු ඊනියා උගතකු නොවෙයිලු. මා නම් ඒ අධ්‍යාපනික සුදුසුකම් බලන්න ගියේ නැහැ. ඒත් ඔහු මිරිස් කුඩු ගැහුව නම් ඒ නුසුදුසුකම අනුව මනිනවා නම්  ඉන්දියාව සමග අප රාජ්‍යතන්ත්‍රික සම්බන්ධකම් පවත්වගෙන යෑමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 

ඉන්දියාව අපේ බලවත් අසල්වැසියා බව ඇත්ත. එහෙත් ඒ කියා ඉන්දියාවට අපට පරිප්පු දාලා ජේ ආර් බය කරල ගාමිණී දිසානායක යොදා ගෙන ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ගැන කිසි දවසක සමාව දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහන එක හරි කියල මා කියන්නෙ නැහැ. එහෙත් එයට වඩා සියදහස් වරක් බරපතළ කරුණක් එක් රටක් තවත් රටකට ගිහිල්ලා පරිප්පු ගහන එක.  ඉන්දු ලංකා ගිවිසුම පරාද වුණෙ එය අත්සන් කරපු දවසෙමයි. රජිව් ගාන්ධි තමාට එල්ල කළ පහරෙන් පස්සෙ එය දැන ගන්න ඇති. ඒ පහර දීම හරි ද වැරදි ද යන්න ගැන නොවෙයි මා කියන්නෙ. ඉන්දු ලංකා ගිවිසුමට රටෙන් ඇති වුණු විරුද්ධතාව ගැන. 

රජිව් ගාන්ධි කොපමණ උත්සාහ කළත් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරවන්න බැරි වුණා. අනෙක් අතට ඔය දහතුන්වැනි සංශෝධනය සම්මත කර ගත්තෙ නීති විරෝධීව. පාරින්ද රණසිංහ විනිසුරු තුමාගෙ තීන්දුවට පිටුපාලා. මේ ගැන මා කොතෙකුත් ලියා ඇති. ඒත් මා තර්ක කරන්න යන්නෙ නැහැ දහතුන දැන් නීත්‍යානුකූල නැහැ කියලා. නීති විරෝධීව සම්මත කර ගැනීම එකක්. නීත්‍යානුකූල වීම තවත් එකක්. දහනවය සම්මත කර ගත්තෙත් නීති විරෝධීව. ජේ ආර් කළ දේ ම රනිල් කළා. දහතුනට ශ්‍රී ල නි ප ඡන්දය දුන්නෙ නැහැ. එහෙත් දහනවයට ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන්න. ඒ කාගෙ අවශ්‍යතාවට ද කියල මා කියන්න යන්නෙ නැහැ. 

රජිව් ගාන්ධි ගාමිණී දිසානායක ප්‍රභාකරන් යන අයට හිමි වූයේ ස්වාභාවික මරණ නො වෙයි. අද වන තුරුත් ජේ ආර් ඇඳිරි නීති දාලා සම්මත කර ගත්තත් දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. සිංහල බහුතරයේ විරෝධය මැද දහතුන ක්‍රියත්මක කරන්න මෝදි හිතනවා නම් එය මෝඩ සිතිවිල්ලක්. පරිප්පු නොවෙයි මොනව දැම්මත් දහතුන ක්‍රියත්මක කරන්න බැහැ. මෝදි අපට බල පුළුවන්කාරකම් පෙන්නනවා ද? 

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ මේ රටේ විසඳන්න දෙමළ ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව කොටි පුහුණු කළ බව අද වන විට කවුරුත් පාහේ දන්නවා. එංගලන්තය හැරුණු විට සිංහලයන්ට විරුද්ධ වුණු ප්‍රධාන ම රට ඉන්දියාව. අද ඇතැම් සිංහල බෞද්ධයන් සිදුහත් කුමරු දඹදිව ඉපදුණේ නැති බවට තර්ක කරන විට ඔවුන්ගේ යම් ඉන්දියන් විරෝධයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.

අප මෝදිගෙන් අහනව (පඬියකු කියන්න පුළුවන් මෝදි සිංහල දන්නෙ නැහැ කියා. පඬියන්ට පුළුවන් එය ඉංගිරිසියට හරි හින්දියට හරි පරිවර්තනය කරන්න.) ඉන්දියාවෙ ප්‍රාන්ත ආණ්ඩුවලට වඩා බලතල මෙරට පළාත් සභාවලට දීල නැද්ද කියා. අපි ප්‍රශ්නය මෙහෙම අහමු. මෙරට දෙමළ ජන කොටසකට අයත් නැති වරප්‍රසාදයක් බලයක් ඉන්දියාවෙ තමිල්නාඩු ප්‍රාන්තයෙ හරි වෙන කොහෙ හරි දෙමළ ජනවර්ගයට අයත් වෙනවා ද? මෝදිට අවශ්‍ය මෙරට දෙමළ ජන කොටස්වලට බලය තව තවත් පැවරීම ද? සිංහලයන්ට ඇති අයිතිය නැති කරන්න ද?

මෝදි ගුජරාට වැසියෙක්. ගාන්ධිත් එහෙ. මෝදිට ගාන්ධිට වඩා ජාතිකත්වයක් තියෙනවා. මගේ ඒ ගැන මෝධිට යම් ගරුත්වයක් තියෙනවා. ඔහු උත්තර භාරතීය හින්දි හින්දු ජාතිකවාදියෙක්. මට එය ප්‍රශ්නයක් වන්නේ ඉන්දියාවේ බෞද්ධයන් සම්බන්ධයෙන්. එහෙත් මා ඉන්දියාවේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ. මෙරට කිසිම බෞද්ධයකු ඇඟිලි ගහන එකක් නැහැ. ඒක ඉන්දියාවෙ අභ්‍යන්තර වැඩක්.  

එහෙත් ඉන්දියාව හා මෝදි අපේ අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගහනවා. ඒ මෙරට දෙමළ ජනකොටස් වෙනුවෙන්. ඒ සියල්ලන් ම නැතත් (යාපනයේ වාසය කර පසුව දෙමළ සංස්කෘතියකට අවශෝෂණය වූ අය හැර) යම් පිරිසක් අවුරුදු තුන්සිය පනහකට මෙහා පැත්තෙ ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරනු ලැබූවන්ගෙන් පැවත එන්නන්. ඉන්දියාව තවමත් ඒ අය ලංකාවෙ රටවැසියන් ලෙස පිළිගන්නෙ නැද්ද? ඉන්දියාව හිතන්නෙ ඒ අය ඉන්දියාවෙ රටවැසියන් කියා ද?

එහෙත් මෝදි ඉන්දියාවෙ දෙමළ ජනයාට සලකන්නෙ කොහොමද? ඒ සලකන හැටි කොහොම වුණත් මෝදිට දකුණු ඉන්දියාවෙ ද්‍රවිඩ හින්දුන්ගෙන් නම් ඡන්ද ලැබෙන්නෙ නැහැ. ඒකට හේතුව හොයන්න පඬියකු ඉන්දියාවට යවමු ද? මෝදිගෙ හින්දු ජාතිකත්වය වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණට එන්නෙ නැද්ද? ලංකාවෙන් ගිය දෙමළ කතා කරන ජනයා දකුණු ඉන්දියාවෙ ජීවත් වෙනවාට වඩා ලංකාවෙ ජීවත් වෙන්න කැමති ද? වර්ධරාජා පෙරුමාල් මොකද කියන්නෙ? 

මෝදිගෙ ක්‍රියාවලින් සමහරවිට ඔප්පු වෙන එක කරුණක් තමයි සිංහලයන් ඉන්දියාවෙන් නොපැමිණි බව. එහෙම පැමිණියා නම් ඉන්දියාව මීට වඩා සිංහලයන්ට සලකන්න එපාය කියල හිතෙනවා. සමහර විට අප බෞද්ධ වීම නිසා නොසලකනවා ද දන්නෙ නැහැ. හින්දු ජාතිකත්වය බෞද්ධකමට විරුද්ධයි. සිංහල අපි සමහරු භාරතයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අයගෙන් පැවත එන්නන්.  

අපේ පරම්පරාවත් දඹදෙණි යුගයෙ  රාජස්ථානයෙන් පැමිණි ඨකුර නමැත්තකුගෙන් පැවත එන්නන්. එහෙත් අප සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා. මෝදිට  තියෙන ප්‍රශ්නය එසේ අවශෝෂණය වීම ද? අප දිගට ම වෛදික ආගම් අදහගෙන හිටිය නම් මෝදි අප ගැනත් කතා කරනවා ද? සිංහලයන් ලෙස අද ඉන්න කවුරුත් කොහෙන් ආවත් සිංහලයන් වූ අය. 

අද ඉන්දියාවෙ කොහෙවත් සිංහලයන් නැහැ. එදා හිටියෙත් නැහැ. ලංකාවට සිංහලයන් එන්න සිංහලයන් භාරතයෙ හිටියෙ නැහැ. එහෙත් දකුණු ඉන්දියාවෙ දෙමළ ජනයා ඉන්නවා. මෙරට දෙමළ කතා කරන ජනයා (ඊනියා අඩුකුල වැසියන් ලෙස දෙමළ හින්දු සංස්කෘතියකට අවශෝෂණය වූ සිංහලයන් හැර) ඉන්දියාවෙන් මෙහි ආනයනය කරනු ලැබූ අය. එහෙත් මෙරට දෙමළ කතා කරන ජනයා ඉන්දියාවට ගියොත් ඔවුන් වර්ධරාජ පෙරුමාල් මෙන් ආපසු ඒවි. 

මෝදි මෙරට වසන දෙමළ කතාකරන ජනයා ගැන පමණ ද සැලකිල්ලක් දක්වන්නෙ. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නම් මෙරට මුස්ලිම් ජනයා ගැනත් උනන්දු වෙනවා. මෙරට මුස්ලිම් ජනයා කේරළය ආසන්නයේ ප්‍රදේශයකින් පැමිණි දෙමළ කතා කරන අයගෙන් පැවත එන්නන්. ඉන්දියාවෙ සිංහලයන් නැතත් මුස්ලිමුන් ඉන්නවා. ඒත් මෝදිට මෙරට මුස්ලිමුන් ගැන කරුණාවක් පහළ වෙන්නෙ නැහැ. ඒ ඔවුන් හින්දු නොවීම නිසා ද? ඇතැම් විට මෝදිට අනුව ලංකාවෙ මුස්ලිමුන්ට ප්‍රශ්න නැතිව ඇති.

මෝදි පහුගිය දා රටවල් කිහිපයකින් ඉන්දියාවට සංක්‍රමණය වන මුස්ලිමුන්ට දේශපාලන රැකවරණ දෙන්නෙ නැහැ කියල කිවුව. මෙරට පඬියන් ඒ ගැන කිසිවක් කී බවක් මට මතක නැහැ. මා වැරදි වෙන්න ඇති. පඬියන්ට මොකුත් නොකියා ඉන්න බැහැ. ඒත් ඉන්දියාවෙ ඒ තීරණයට විරුද්ධව උද්ඝොෂණ තිබුණා. මෝදි ඒව ගණන් ගත්තෙ නැහැ. උද්ඝෝෂකන්ට මොකද වුණෙ කියල පඬියකුවත් කියනවා ද? 

ඒත් මෝදිගෙ තීරණයට මා එකඟයි. මුස්ලිමුන් ඉන්දියාවෙ සරණාගතයන් වීම ඉන්දියාවට අහිතකර නම් ඉන්දියාව ඔවුන්ට දේශපාලන රැකවරණ දෙන්න ඕන  නැහැ. පඬියන් මේ සම්බන්ධයෙන් ඉන්දියාවට විරුද්ධ ව මුහුණු පොතේ මොනව හරි ලිව්වොත් ඔවුන් තහනම් (බ්ලොක්) කරන්න. පඬියනුත් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිවුවත් තම විරුද්ධවාදීන් තහනම් කරනවා කියලයි ආරංචිය. 

බටහිරයන් නම් තම රටවල මුස්ලිම් විරෝධයක් පවත්වගෙන යන අතර ථෙරවාද බෞද්ධ රටවල මුස්ලිමුන්ට සහාය දෙනවා. මෝදි එහෙම ම කරන්නෙ නැහැ. ඔහු ලංකාවෙ මුස්ලිමුන්ට තම කරුණාව පතුරවන්නෙ නැහැ. ඒ මා කලින් කිවුව වගේ මෝදිට අනුව  මෙරට මුස්ලිමුන්ට ප්‍රශ්න නැති නිසා වෙන්නත් පුළුවන්. 

ඒ කොහොම වුණත් මෝදි ලංකාවෙ ඉන්න දෙමළ කතා කරන ජනයා මෙරට වැසියන් හැටියට සලකන්න ඕන. එහෙම බැරි නම්, ඒ අය ඉන්දියාවෙ රටවැසියන් ලෙස සලකනව නම් ඔවුන් ඉන්දියාවට ගෙන්න ගන්න. ඒත් මා එකක් දන්නවා. මෙරට දෙමළ කතා කරන ජනයා උත්තර භාරතීය හින්දි හින්දු ජාතිකත්වයක ඉන්නවාට වඩා සිංහල බෞද්ධ ජාතිකත්වයක ජීවත් වෙන්න කැමති වේවි.