Main Logo

Wednesday 26 February 2020

ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

  සිංහල ලිත් ඉලක්කම්




ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

බණ්ඩාරනායක මැතිණියගෙන් පසුව විදේශ සම්බන්ධතා ඇමති ලෙස කටයුතු කරන ජාතිකත්වයක් ඇති ඇමතිවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව ඇමතීමට නියමිතයි. මා දිනේෂ් ගුණවර්ධන අවුරුදු හතළිහක පමණ කාලයක් හඳුනනවා. මා ඉන්දික ගුණවර්ධන එයට වැඩි කාලයක් හඳුනාගෙන සිටි නමුත් ඉන්දිකගේ දේශපාලනය සමග මට එකඟත්වයක් තිබුණේ නැහැ. රටේ ඒකීයත්වය හා ජාතිකත්වය වෙනුවෙන් නොවැනී දිගු කලක් කටයුතු කරන දේශපාලනඥයා ලෙස දිනේෂ් හඳුන්වන්න පුළුවන්.


අද යුගයේ ඊනියා ප්‍රාඥයන්ට මතක නැති වුණත් ඔහු එක් කකුලක් ජාතිකත්වයේත් අනෙක් කකුල වෙනත් තැනකත් තබා ගෙන කටයුතු කරන  අයකු නො වෙයි. ප්‍රාඥයන්ට වීරයන් වී ඇති පුද්ගලයන්ට ඔය කියන ජාතිකත්වයක් නැහැ. මෙරට ජාතිකත්වයේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ කියන්නේ ජනවර්ග/ජනකොටස් ආදීන්ට මෙරට අහිමි බවක් නෙවෙයි. එහෙත් ඇතැමුන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හෙට්ටි ආදී වශයෙන් සංස්කෘතික සමානත්වයක් ගැන කියන කතා ව්‍යාජ ජාතිකත්වයක් ඇතිව පදනමක් නැති ව කරන ප්‍රකාශ පමණයි. 

දිනේෂ් ගුණවර්ධන වාචාල කතා නොකියන නිසා ම දෝ ජනමාධ්‍ය වීරයකු වී නැහැ. පහුගිය දින සියයේ විදේශ සම්බන්ධතා ඇමති ලෙස ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දී ඇති සහාය විශිෂ්ටයි. මා මේ කරුණු කියන්නේ ඔහු මට තානාපතිකමක් දුන් නිසා යැයි කිසිවකුට හිතෙන්න පුළුවන්. එය එසේ නොවෙයි. ඔහු මට කිසි දා කිසි තනතුරක් දී නැහැ. මා මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයකු ලෙස කිසි දා කටයුතු කරලත් නැහැ. මා තානාපති කෙනකු ලෙස පත් කරනු ලැබුයේ ජනාධිපතිතුමන් විසින් එතුමාගේ ම කැමැත්ත මත බව අවධාරණය කරන්න ඕන.

මෙවර එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයතිවාසිකම් සමුළුවේ සැසිවාරයේ දී ලංකාව කරන්නේ 30/1 යෝජනාව හා වෙනත් යෝජනා මත පදනම් වූ 40/1 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉල්ලා අස්වීම පමණයි. අප ඉවත්වන්නේ සම අනුග්‍රහකත්වයෙන්. මට පේන අන්දමට ඇතැම් දේශපාලන පක්‍ෂ හා ජනමාධ්‍ය මෙය දැන හෝ නොදැන හෝ වැරදියට අර්ථකථනය කරනවා. ඔවුන් කියන්න හදන්නේ ලංකාව අදාළ යෝජනාව ඉවත් කර ගන්න හදන බවත් එය කළ නොහැකි බවත්. මෙහි එවැන්නක් කෙරෙන්නේ නැහැ. අදාළ යෝජනාව ඉවත් කර ගන්න අපට බැහැ. ලංකාණ්ඩුව එවැනි උත්සාහයක් ගන්නේත් නැහැ.

දිනේෂ් ගුණවර්ධන ආපසු ලංකාවට පැමිණි විට අර දේශපාලනඥයන් හා ජනමාධ්‍ය කෝ යෝජනාව ඉවත් කර ගත්තා ද යනුවෙන් ප්‍රශ්න කරන්න ඉඩක් තියෙනවා. සම්මත වී ඇති යෝජනාවක් යෝජකටවත් ඉවත් කර ගන්න බැහැ. මේ යෝජනාව ගෙනෙන ලද්දේ එක්සත් රාජ්‍ය (ඇමරිකාව) විසිනුයි. අද ඒ රට ඊනියා මානව හිමිකම් සමුළුවේ නැහැ. එපමණකින් එරට විසින් ගෙනෙන ලද යෝජනා ඉවත් වන්නේ නැහැ. කිසියම් ආයතනයක සම්මත වූ යෝජනාවක් යෝජක හෝ ස්ථිරක හෝ අස් වූ පමණින් හෝ මියගිය පමණින් හෝ ඉවත් වන්නේ නැහැ.

ඊනියා යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා අදාළ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වා රටේ ස්වෛරිභාවය, රණ විරුවන්, අධිකරණය හා තවත් දෑ පාවා දුන්නා. එයින් සිදු වූයේ යෝජනාවට විරුද්ධ වූ රටවල් ද අමාරුවේ දැමීමයි. අපට විරුද්ධ ව අප ම යෝජනාවක් ගෙනෙන විට අනෙක් රටවල් යෝජනාවට විරුද්ධ වන්නේ කෙසේ ද? යෝජනාවට අපේ සම අනුග්‍රහකත්වය අස් කර ගැනීමෙන් පසු අපට පක්‍ෂපාත රුසියාව චීනය වැනි රටවලට යෝජනාවට විරුද්ධව කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. එහෙත් නැවතත් අවධාරණය කළ යුතුයි ඒ කිසිවකින් සම්මත වී ඇති යෝජනාව ඉවත් නොකෙරෙන බව. යෝජනාවට විරුද්ධ ව ප්‍රතියෝජනාවක් ගෙන ඒම මතු සැසිවාරයකට කල් දාන්න වෙනවා. එහෙත් ඔය සමුළුව ක්‍රියා කරන ආකාරය අනුව එවැනි ප්‍රතියෝජනාවක් සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාව චීනය වැනි රටවල් නිෂේධ බලය යොදා නොගන්නා අවස්ථාවල ක්‍රියා කරන්නේ බටහිර රටවල රබර් මුද්‍රාවක් මෙන්. ප්‍රතියෝජනාවක් ගෙනාවත් සම්මත කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වේවි. එසේ වුණත් අප උත්සාහය අත්හරින්න ඕන නැහැ. එය මතු සැසිවාරයකට කල් දමන්න සිදු වෙනවා. අප දැනට කරන්නේ අදාළ යෝජනාවට දැක් වූ සම අනුග්‍රහකත්වය අස් කර ගැනීම පමණයි.

එයින් ඇති ප්‍රයෝජනය මොකක් ද කියා විරුද්ධවාදීන් මෙන් ම පඬි ජනමාධ්‍යවේදීන් ද අහන්න පුළුවන්. ඊනියා යහපාලන ආණ්ඩුව යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීම නිසා බටහිර රටවලට රණවිරුවන් බිල්ලට ගැනීමට, අධිකරණය දෙමුහුන් කර බාල්දු කිරීමට, රටේ ස්වෛරිභාවය නැති කිරීමට මෙන් ම ඇතැමුන් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක් හමුවට පමුණවා විදුලි පුටුවට යැවීමටත් ඉඩක් ලැබුණ. අප විදුලි පුටු කතාව කීවේ ඇතැමුන් ඒ ගැන හිතන්නටත් පෙර.

මෙරට අරාබි වසන්තයක් ඇති කිරීමේ බටහිර වුවමනාව ගැන අප 2015 ජනාධිපතිවරණයට කලින් කිවුවා. 2015 මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට බටහිරයන් ද කටයුතු කළා. ඔවුන්ගේ ද වුවමනාවෙන් ඊනියා යහපාලන ආණ්ඩුවක් ඇති කර ගත් නමුත් එවකට විපක්‍ෂය හා  ජාතික බලවේග ක්‍රියාත්මක වූ ආකාරය නිසා විදුලි පුටුවලට විදුලිය විසන්ධි කෙරුණ. විදුලි පුටු නැති කෙරුණේ යහපාලන ආණ්ඩුවෙන් නො වෙයි. යහපාලනයට අවශ්‍ය වූයේ කිහිප දෙනකු හරි විදුලි පුටුවට යැවීමට. එය වළක්වනු ලැබුයේ එවකට දිනේෂ් ගුනවර්ධනගේ නායකත්වයෙන් ක්‍රියා කල ඒකාබද්ධ විපක්‍ෂය හා ජාතික බලවේග විසින්.

අදාළ යෝජනාවට සම අනුග්‍රහකත්වය අස් කර ගැනීම නිසා බටහිරයන්ට මේ රටට ඇඟිලි ගැසීමට බැරි වෙනවා. අපට විරුද්ධව යෝජනාවක් සම්මත වී ඇති නමුත් අප එයට දායක වී නැති නිසාත් රුසියව චීනය වැනි රටවල් විරුද්ධ නිසත් බටහිරයන්ට තම මනාපය අනුව කටයුතු කරන්න බැහැ. එසේ වුවත් බටහිරයන් පළිගැනීමක් ලෙස ආර්ථික සම්බාධක ඇති කරන්න ඉඩ තියෙනවා.

අප ඒවාට දැන් තියා සූදානම් විය යුතුයි. අපට ආහාර අතින් ස්වයංපෝෂණය වන්න පුළුවන්. මෙහි දී බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ ක්‍රියාත්මක වූ වගා සංග්‍රාමය ආදර්ශයට ගන්න පුළුවන්. මා කියන්නේ නැවත පාන් පෝලිම් ඇති කරන්න නො වෙයි. අනෙක් අතට අප කර්මාන්ත ද ඇති කර ගන්න කටයුතු කරන්න ඕන. විශේෂයෙන් ම ගෘහස්ථ කර්මාන්ත ගැන අපට විධිමත් වැඩ පිළිවෙළක් තියෙන්න ඕන. සුළු පර්මාණ කර්මාන්ත ඇති කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නේ නැහැ. මහා පර්මාණ කර්මාන්ත හැකි විටත් සුළු පරිමාණ කර්මාන්ත මහා පරිමාණයෙනුත් ඇති කරන්න පුළුවන්.

මේ අතර අප ලෝකයේ අනෙක් රටවල් සමග සම්බන්ධතා වැඩි කර ගන්න ඕන. ලෝකය කියන්නේ බටහිර රටවල් පමණක් නො වෙයි. ථෙරවාද රටවල් තියෙනවා. ආසියාන් කලාපයේ රටවල් තියෙනවා. අප්‍රිකාවේ දකුණු අමෙරකාවේ රටවල් තියෙනවා. නැගෙනහිර යුරෝපයේ රටවල් තියෙනවා. මේ රටවල්වලටත් අපට මෙන් ම ප්‍රශ්න තියෙනවා. ඒ රටවල් සමග සාමූහික මෙන් ම ද්විපාර්ෂික සම්බන්ධතා ද ඇති කර ගන්න ඕන. අපට අවශ්‍ය අප නිෂ්පාදනය නොකරන දේ මේ රටවලින් ආනයනය කරන්නත් ඔවුන්ට අවශ්‍ය අප නිෂ්පාදනය කරන දේ අපනයනය කරන්නත් අප වැඩ පිළිවෙළක් සංවිධානය කරන්න ඕන. දිනේෂ් ගුණවර්ධන හා ගෝඨාභය රාජපක්‍ෂ එකතුවෙන් අපට මේ කටයුතුවලට දැන්ම ම මුල පුරන්න පුළුවන්.