Main Logo

Thursday 27 February 2020

දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ

     සිංහල ලිත් ඉලක්කම්


දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ


සකර්බර්ග් වම ඇතුළු හුදු ස්වයං වින්දනය සඳහා කතා කරන ලියන වැදගැම්මකට ඇති වැඩක් නොකරන වමට ඇති ලොකුම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව හා යහපාලනය අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම. එක අතකින් එහෙම කියන එකත් වැරදියි. හඳුනා ඇතුළු ඇතැම් බොහෝ වම්මුන් මේ ආණ්ඩුව හා යහපාලනය අතර වෙනස හඳුනා ගෙන හිටියා. ඔවුන් 6% ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර මගින් යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්දා. කඩේ ගියා කියන එක ප්‍රමාණවත් නැහැ. අද ඔවුන් මේ ආණ්ඩුවේ හෙවනැල්ලේ ඇද හොයනවා.


මා අද අහගෙන හිටියා කෙකරගාමියකු කියනවා අදුරුදහන් අයගේ කාර්ය මණ්ඩලය අතුරුදහන් වෙලා හරි අතුරුදහන් වෙන්න යනවා කියලා හරි. ඒක අතුරුදහන් නොකර ඉන්න ඕන 1987-91 කාලයේ ජ වි පෙ විසිින් අතුරුදහන් කරනු ලැබූවන් ගැන හොයන්න ඕන නිසා වෙන්න ඇති. කෙකරගාමීන් ද ඇතුළු බොහෝ දෙනා එදා හිටියෙ ජ වි පෙරමුණේ. එදා ජ වි පෙ හිටපු අය අද විවිධ තැන්වල හිටියත් ඔවුන් තමන් අතුරුදහන් කළ අය ගැන පාපොච්චාරණයක් කරන්නෙ නැහැ. 

ඔවුන්ගෙන් සමහරු අද ජාතිකත්වය පැත්තට ඇවිල්ල. ඒත් තාමත් කකුලක් මාක්ස්වාදයේ. ජාතිකත්වය පැත්තෙ තියෙන්නෙ බොරු කකුලක් ද කියලත් හිතෙනවා. ඔවුන් පැත්තකට දාන්න. ඔය ඉහත සඳහන් අනෙක් වමට මේ ආණ්ඩුව යහපාලනයට වඩා නරකයි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි මේ ආණ්ඩුවේ ජනාධිපති හා ඇමතිවරු කිහිප දෙනකු හරි ජාතිකත්වයේ නිසා. 

ජාතිකත්ව මතධාරීන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. සංවර්ධනය කියන එක ගැන ම විවිධ මත තියෙන්න පුළුවන්. එහෙත් රටේ ස්වෛරිභාවය, රණවිරුවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඊනියා මානව හිමිකම් කවුන්සලය,  දෙමළ ජාතිවාදය ඉස්ලාම් ආගමිකවාදය හා අනුරුප ත්‍රස්තවාද ගැන බොහෝ දුරට සමාන මත තියෙන්නෙ. 

සකර්බර්ග් වම ඇතුළු පුස් කෑ කසිකබල් වමට තියෙන ප්‍රශ්නය ජාතිය ජාතිකත්වය හඳුනා ගැනීමට සංකල්ප ප්‍රවාද නැති වීම. ඔවුන් ජාතිකත්වය ගැන හිතන්නෙ ඊනියා සුළු ධනේශ්වර ප්‍රවණතාවක් ලෙස. ඒ නිසා එයට විරුද්ධ ව සටන් කිරීමට ඔවුන් (මහා) ධනේශ්වරයට සම්පූර්ණ සහයෝගය දෙනවා. සුළු ධනේශ්වයට විරුද්ධ ව සටන් කරන්න කම්කරු පංතියක් නැති වීම තමයි සකර්බර්ග් වම ඇතුළු වමට ඇති ප්‍රශ්නය. කම්කරු පංතියක් නැති නිසා සුළු ධනේශ්වරය නැති කිරීමට ධනපති පංතියට සහාය දෙනවා! ධනේශ්වරයේ ඉහළින් ම ඉන්න බටහිරයන් සමග අත්වැල් බැඳගෙන සිංහල බෞද්ධයනට පහර දෙනවා. 

අද වම්මුන්ගේ ප්‍රධාන සතුරා ධනේශ්වරය නොව සිංහල බෞද්ධ ජාතිකත්වයයි. වමත් ධනේශ්වරයත් එකතු වී සුළු ධනේශ්වර සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර දෙනවා. ඒත් සුළු ධනේශ්වරය ශක්තිමත් ව ඉන්නවා.  මාක්ස් ඔබ තවමත් හයිගේට් කනත්තේ ද? මෙරට වමට එහි ඉඩ තියෙනවා ද? 

අර ජාතිකත්වය සිංහලයන්ගෙ නම් තමයි පුස් කෑ වම විරුද්ධ වන්නෙ. එය දෙමළ ජන කොටස්වල ජාතිවාදයක් වුණා ම එය අසාධාරණයට එරෙහිව කරන සටනක් වෙනවා. එයට සහාය දෙනවා. එහෙත් දෙමළ කතා කරන ජනයාට ඊනියා දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් දී ගන්න බැරි වෙනවා. අනේ සකර්බර්ග්. 

මාක්ස් හා එංගල්ස්, මාක්ස්ට ම අනුව සුළු ධනේශ්වර කිව්වොත් සකර්බර්ග් මොනවා කියාවි ද? ලෙනින් සුළු ධනේශ්වර ද? ඔහු නැති කම්කරු පංතියට කම්කරු පංති විඥානය ගෙන ගිය සුළු ධනේශ්වර බුද්ධිමතා ද? පංතියක් නැති වුවත් පංති විඥානයක් තිබීම ගණිතමය යථාර්ථවාදයට එකඟ ද? ඊනියා තර්කයට එකඟ ද? තර්කය මිනිසුන්ගෙන් සුළු ධනේශ්වරයෙන් ස්වායත්ත ව පවතිනවා ද? අර සීනෝගේ රසල්ගේ විරුද්ධාභස ඇති වන්නේ කෙසේ ද?  

දිනේෂ් ගුණවර්ධන ඊයේ ජෙනීවා හි විශිෂ්ට කතාවක් කරලා තිබුණා. එය ලංකාව නියෝජනය කරන අයකු ඊනියා ජාත්‍යන්තර සමුළුවක දී බොහෝ කලකට පසු කරන ලද විශිෂ්ට ම කතාවක්. එය සකර්බර්ග් වමට අතුල් පහරක්. එයත් සමග කෙකරගාමින් අතුරුදහන් වූවන්ගේ කමිටුවට ගිහින්. 

දිනේෂ් ඊයේ ඊනියා මානව හිමිකම් සමුළුව ට ඉතා පැහැදිලිව කිවුවා ඔවුන් ලංකාවට එරෙහි ව සම්මත කර ගත් යෝජනා වැරදි බව. ඊනියා යහපාලනය මෙරට ස්වෛරීභාවයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, රණවිරුවන්ට එරෙහිව වම්මුන්ගේ ද ආශිර්වාදයත් සමග ගෙනෙන ලද 40/1 හා එයට පාදක වූ  යෝජනා ආදියට විරුද්ධ වෙමින් එකී යෝජනාවට දක්වන ලද සම අනුග්‍රහකත්වය අස්කර ගන්නා බව දිනේෂ් පැහැදිලි ව කියා සිටියා. ඔහු ඉතා පැහැදිලි ව කියා සිටියේ කළ යුතු දේ අප තීරණය කරන බවත් ඒ සියල්ල ස්වෛරිභාවය නැති කර නොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මෙරට නීතිවලට එකඟ ව කරන බවත්. 

සළු ධනේශ්වරය බටහිර නායකත්වයෙන් ඇති ධනේශ්වරයට එරෙහි ව එසේ කතා කිරීම සකර්බර්ග් වම්මුන්ට හා අනෙක් පුහු වම්මුන්ට ප්‍රශ්නයක් වේවි. ඔවුන් දිනේෂ්ගේ කතාවේ හරය ගැන නොව ඇලපිලි පාපිලි කොමා ආදිය ගැන කතා කරාවි. ඒ මොනවා වුණත් දිනේෂ්ගේ කතාව බටහිරයන්ට දුන් අතුල් පහරක්. දිනේෂ් පෙන්වා දුන්නේ ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවන බව. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද ඉන්නේ ඒ මතයේ. 

අප බටහිර ආධිපත්‍යයෙන් මිදෙන්න ඕන. බටහිර දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන් මිදීම එහි දී වැදගත්. අප ක්‍රියා කරන්නේ ඒ වෙනුවෙන්. බටහිර දැනුම එක ම දැනුමවත් බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එක ම පාලන ක්‍රමයවත් නොවන බව අප දන්නවා. අප බටහිර රටවල් හැරෙන්න අනෙක් රටවල් සමග අපේ සම්බන්ධතා වැඩි දියුණු කර ගත යුතු බව මා ඊයේ ලිපියේත්  කියා ඇති. රුසියාව, චීනය පමණක් නොව මියන්මාරය වැනි ථෙරවාද රටවල් සහ වෙනත් රටවල්, විශේෂයෙන් දකුණු ඇමරිකානු රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් එහි දී වැදගත් වෙනවා. ඒ රටවල් සමග ද්විපාර්ශික ගිවිසුම් ඇති කර ගන්න පුළුවන්. ඉදිරි වර්ෂය බටහිර නොවන ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ඉතා වැදගත් වර්ෂයක් වේවි. 

බටහිරයන් අපට ආර්ථික සම්බාධක පමුණුවාවි. එවිට එ ජා පක්‍ෂයත් පුස් කෑ වමත් ඔන්න රට ඉවරයි කියා අර ව්‍යාපාර මේ ව්‍යාපාර ආරම්භ කරාවි. ඒවාට බටහිරින් ආධාරත් ලැබේවි. මෙරට ජාතික බලවේග එවැනි ක්‍රියාවන්ට මුහුණ දීමට සූදානම්. 6% ව්‍යාපාරය 3% දක්වා අඩු වෙලා. එය 0% දක්වා කෙසේ වෙතත් 1%ක් දක්වා ජනබලයෙන් අඩු වේවි. පුහු වමට පාර්ලිමේන්තුවේ කිසිම නියෝජනයක් ලබා නොදීමට කටයුතු කරන්න ඕන. පුහු වම අවසාන වශයෙන් යැපෙන්නේ සකර්බර්ග් ඇතුළු බටහිරයන්ගෙන්.