Main Logo

Saturday 8 February 2020

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම

            සිංහල ලිත් ඉලක්කම්


ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම


එක් රාජ්‍ය සේවකයකු කියා තිබුණා දරුවන්ගේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් විය යුතු ය කියා. ඔහු රජයේ සේවයේ ඊනියා ඉහළ තනතුරක් දරන්නකු වන්න පුළුවන්. කෙසේ වෙතත් මට ප්‍රශ්නයක් තියෙනවා. එකී මහතා අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද නැත්නම් සිංහල මාධ්‍යයෙන් ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ඊනියා උසස් තනතුරකට පත් වූයේ ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවන්ගේ තත්වය දක්‍ෂතා අඩු බව දැන ගත්තේ තමා ම උදාහරණයකට ගනිමින් ද? නැත්නම් ඔහු ව්‍යතිරේඛයක් ද? 


අධ්‍යාපනය කලක් සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබූ අධ්‍යාපනයට මුදල් ගෙවන්න සිදු වුණා. සිංහලෙන් අධ්‍යාපනය ලැබණේ නොමිලේ. ඒ අධ්‍යාපනය ලැබූවන්ට ගුරු පත්වීමක් නොතාරිස් පදවියක් ආදිය තමයි ලැබුණු ඉහළ ම තනතුරු හා වරප්‍රසාද. වෘත්තීයකයන් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් ආදීන් වීමට හැකි වූයේ ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබූ අයටයි.

කන්නංගර මහතා කරුණු දෙකක් ඉටු කළා. එකක් අධ්‍යාපනය සියල්ලන්ට (රජයේ පාසල්වල) නොමිළේ ලබා දීම. එය ක්‍රමයෙන් විශ්වවිද්‍යාලය දක්වා ම විහිදුණා. දෙවැන්න අධ්‍යාපන ය සිංහලෙන් (හා දෙමළෙන්) ලබා දීම. 1961 සිට විශ්වවිද්‍යාලවල ද ශාස්ත්‍ර පීඨවල සිංහල මාධ්‍යයෙන් ලබා ගැනීමට හැකි වුණා. විද්‍යා පීඨවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන්නේ 1966 සිට.  එයට අවුරුද්දකට  කලින් විද්‍යා පීඨයේ පරීක්‍ෂණ සඳහා සිංහලෙන් පෙනී සිටීමට අවසර ලැබුණා. එහෙත් විද්‍යා පීඨවල විශේෂ උපාධි සඳහා අධ්‍යාපනය ලබා දුන්නේ ඉංගිරිසියෙන් පමණයි. 1967 සිට 2011 දක්වා මා වසර දොළහක් පමණ අනිවාර්ය නිවාඩු ලැබ ගෙදර සිටි කාලයේ හා විදේශවල හත කළ අවුරුදු අවුරුදු හතරහමාරක පමණ කාලය හැරුණු විට සිංහලෙන් ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව විවිධ විශ්වවිද්‍යාලවල  උගන්වා තිබෙනවා. 

අටවැනි පංතිය දක්වා මා අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන්. නවවැනි හා දහවැනි පංතිවල දී ගණිත හා විද්‍යා අධ්‍යාපනය ඉංගිරිසියෙනුත් ඉතිහාසය ප්‍රජාචාරය හා බුද්ධාගම සිංහල මාධ්‍යයෙනුත් ලැබුවා. ඉන් පසු ඉංගිරිසියෙන් පමණක් අධ්‍යාපනය ලැබුවා. ඒ කෙසේ වෙතත් තවමත් මා හිතන්නේ සිංහල භාෂාව ඇසුරෙන්. එය ගණිතයට මෙන් ම භෞතික විද්‍යාවටත් පොදුයි. මට අදහස් එන්නේ සිංහල භාෂාව ඇසුරෙන්. 

ඉංගිරිසියෙන් පොතක් කියවා අදහසක් ලබා ගැනීම හා අදහසක් නිර්මාණය කිරීම යනු දෙකක්. සිංහලයන්ට ඉංගිරිසියෙන් අදහස් නිර්මාණය කිරීමට, අදහස් ලබා ගැනීමට නොහැකි යැයි මා කියන්නේ නැහැ. එහෙත් එය සංස්කෘතිය හා සම්බන්ධ වූවක්. අප අදහස් නිර්මාණය කරන්නේ අපේ සංස්කෘතියේ. සිංහලයන්ට එය සිංහල භාෂාව ඇසුරෙන් සිදුවන්නක්. ඇතැම් විට කුඩා කල සිට ඉංගිරිසියෙන් ම කතා බහ කිරීමට පුරුදු වූ අය ඉන්න පුළුවන්. අතීතයේ එවැන්නන් දැනට වඩා සිටියා. එහෙත් ඔවුන් සිංහල බෞද්ධයන් විණි නම් ඔවුන්ට ඉංගිරිසි බස ඇසුරෙන් අදහස් ලැබුණත් ඒ ලැබුණේ සිංහල බෞද්ධ සංස්කෘතියක ය. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට බටහිර නව අදහස් නොලැබීමයි. සිංහල බෞද්ධ සංස්කෘතියක බටහිර සංස්කෘතියේ නව අදහස් සංකල්ප ලැබෙන්නේ නැහැ.  

රිච්මන්ඩ් විදුහල පිහිටුවන ලද කාලයේ සිට මෙරට ඉංගිරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දී ඇති නමුත් ඒ අධ්‍යාපනය ලැබූ අයගෙන් කී දෙනකු නව අදහස් සංකල්ප ප්‍රවාද නිර්මාණය කර තිබේ ද? මෙහි අදහස් යනුවෙන් සැලකෙන්නේ වියුක්ත අදහස් මිස කැප්ටන් කුක් ඕසේත්‍රේලියාවට ගොස් කරන කියන ලද දැ ගැන ඇති සංයුක්ත අදහස් නො වෙයි. 

පසු කාලීන ව සිංහලෙන් අධ්‍යාපනය ලැබූ අයට ද බටහිර සංස්කෘතියේ වියුක්ත අදහස් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. එයට එක් හේතුවක් වූයේ වියුක්ත ව සිතීම අපට තරමක් ආගන්තුක නිසා. අප අපේ සංස්කෘතියේ අදහස් නිර්මාණය කිරීමට ද ගියේ නැහැ. ඒ හේතු දෙකක් නිසා. එකක් අවුරුදු දහස් ගණනකින් අප එසේ කර නැති කම. අනෙක අපේ සංස්කෘතියේ නිර්මාණය වන අදහස් බටහිරයන් නොපිළිගැනීම. 

අධ්‍යාපනයෙන් සිදු වන්නේ ඊනියා දැනුම ලබා දීමක් පමණක් නො වෙයි. එය සංස්කෘතික මොළ සේදීමක්. ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දීම යනු සංස්කෘතික මොළ සේදීම වඩා තීව්‍ර කිරීමක්. අද ලබා දෙන අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම මෙන් බටහිර නිර්මාණය කරන ලද්දක්. එය ඉංගිරිසියෙන් ලබා දීමෙන් සිදුවන්නේ අප අපේ සංස්කෘතියෙන් ඈත් වූ නිර්මාණශීලිත්වයක් නැති පුස්සන් වීමයි. කලාවේ දී පවා එය සිද්ධ වෙනවා. මෙරට කලා විචාරය බටහිර අදහස් රැගත් පුස්සන් අත තිබීම නිසා පුහු කලා කෘති සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ නම් උසස් කළා කෘති ලෙස හැඳින්වෙනවා. 

අවුරුදු පනහකට හැටකට පමණ පෙර ලංකා සිවිල් සේවයට ඇතුළු වූයේ ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් පමණයි. ඔවුන්ගෙන් අති විශාල පිරිසක් ඉංගිරිසි අකුරට (නීතියේ අකුරට) සීමා වූ නිසා සාමාන්‍ය ජනයාට දුක් ගැහැට විඳීමට සිදු වුණ. හැත්තෑවේ දශකයේ මුල පරිපාලනයට දේශපාලනඥයන් ඇඟිලි ගැසීම ඇරඹුණේ මේ සාමාන්‍ය ජනයාට වූ හිරහැර නැති කිරමේ පියවරක් ලෙස. අද එය ඉහ වහා ගිහින්. සිවිල් සේවය වෙනුවට පරිපාලන සේවයක් ඇරඹීමට මුල් වූ එක් කරුණක් වූයේ මෙරට සංස්කෘතියට වඩා සමීප පිරිසක් පරිපාලනයට යෙදවීමට. එහෙත් එයින් සිදු වූයේ සිවිල් සේවය සිංහලෙන් පවත්වා ගෙන යෑම පමණයි.  සිංහලෙන් අධ්‍යාපනය ලැබුවත් ඔවුන්ට හිමි වූයේ සිවිල් සේවයේ ආකල්ප. 

අධ්‍යාපනය ඉංගිරිසියෙන් ලබා දීම නිසා ඊනියා සංහිඳියාවක් එකල තිබූ බව කීම පට්ටපල් බොරුවක්. එකල පහළ පංතිවල සිංහල හා දෙමළ මාධ්‍ය තිබූ පාසල්වල එළාර දුටුගැමුණු යුද්ධ නොතිබුණා නො වේ. එයටත් ඈත කාලයක ඉංගිරිසියෙන් ම පමණක් අධ්‍යාපනය ලැබූ පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරණාෂලම් ජී ජී පොන්නම්බලම් චෙල්වනායගම් ආදීන් තමයි ප්‍රභාකරනගේ සීයලා හා බාප්පලා. 

අප අප ම රවටා ගත යුතු නැහැ. පිරිසක් ඉංගිරිසියෙන් පමණක් අධ්‍යාපනය ලැබූ අතීතයේ තමයි මේ සියල්ල පටන් ගෙන ඇත්තේ. අප අනුකාරකයන් පමණක් වීමයි ඉන් සිදු වී ඇත්තේ. අද සිංහලෙන් ලබා දෙන්නෙත් බටහිර අධ්‍යාපනයක්. මෙරට සංස්කෘතියෙහි නිපද වූ දැනුම් සිංහලෙන් ලබා දීමත් බටහිර දැනුම් අපට අවශ්‍ය ආකාරයට අවශෝෂණය කර ඉගැන්වීමත් කළ යුතුයි. 

සංස්කෘතෙන් ධර්මය දේශනා කිරීමට විමසු භික්‍ෂූන් වහන්සේට බුදුහාමුදුරුවන් වදාළේ  ජනපද නිරුක්තියෙන් ධර්මය දේශනා කරන ලෙසයි. පස්වැනි සියවසට පෙර මෙරට අටුවා ටීකා තිබුණේ සිංහලෙන්. ඒ බොහෝ විට අප නිර්මාණය කළ දැනුම්. අපට අවශ්‍ය අපේ දැනුම් නිර්මාණය කළ හැකි කිහිප දෙනකු බිහිකිරීම මිස පුහු අනුකාරකයන් බිහි කිරීම නො වෙයි.