Main Logo

Friday 14 February 2020

පරිසරය හා නීතිය රැකීම

    සිංහල ලිත් ඉලක්කම්


පරිසරය හා නීතිය රැකීම 



වනජීවි නිලධාරිනී දේවානි ජයතිලක ගැන විවිධ කතා රටේ පැතිරෙනවා. ඇය පරිසරය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක් ලෙස කෙලින් කතා කරල තියෙනවා. රාජ්‍ය ඇමතිවරුන් ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය ඇය පෙන්නල දීල. ඒත් ඇය ගැන විවේචනත් තියෙනවා. විවේචන නැති අයකු ලෝකයේ නැහැ. ඇතැම් විවේචන හොඳ හිතින් කරන ඒවා. ඒත් බොහෝ විවේචන කෙරෙන්නේ දුෂ්ට චේතනාවෙන්. 


දේවානි කතා කළ දේ හා කතා කළ ආකාරය වෙන් කරන්න බැරි වෙන්න පුළුවන්. ඇය කතා කළ ආකාරය පිළිබඳ විවේචන තියෙනවා. එහෙත් ඒ කුමක් දැයි පැහැදිලි නැහැ. ඇමතිවරයාට කතා කළ ආකාරය ද ජනතාවට කතා කළ ආකාරය ද සැඩ පරුෂ වචන යොදා ගත්තේ ද ආදී වශයෙන් චෝදකයන් කිසිවක් කියන්නේ නැහැ. 

ඇය පරිසරය රැකීම වෙනුවෙන් කතා කළ බවත් දැනට බලපාන නීතිය මත පදනම් ව කතා කළ බවත් බොහෝ දෙනා කියනවා. මා ඇසූ හඬපටයේ කොටසින් මටත් හැඟී ගියේ එයයි. ඒ අතර ඇමතිවරයා කියා ඇත්තේ මේ රට කුඩා බවත් පරිසරය රැකීම හා ජනතා අවශ්‍යතා අතර ගැටුමක දී ජනතා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කළ බවත්. මෙය ලෝකයට ම බලපාන ප්‍රශ්නයක්. 

මිනිසුන් සංවර්ධනය වෙනවා කියන්නේ පරිසරයෙන් ලැබී ඇති දේ ප්‍රයෝජනයට ගෙන තමන්ගේ අවශ්‍යතා නිර්මාණය කිරීමයි, නිෂ්පාදනය කිරීමයි. මේ සංවර්ධනයත් සමග පරිසර විනාශයක් සිදු වෙනවා. මේ කරුණ පිළිබඳ ව බොහෝ කලකට පෙර ලියා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගතික සමතුලිතතාව යනුවෙන් සංකල්පයක් ද නිර්මාණය කෙරුණා. වඳුරකු අඹ ගෙඩියක් කෑ විටත් කරන්නේ පරිසරයෙන් ලැබුණු දෙයක් ප්‍රයෝජනයට ගැනීමයි. එහෙත් ඒ අඹ ඇටය නැවත එතැන ම නැතිවුණත් නැවත පැළ වෙන්න ඉඩ කඩ තියෙනවා. 

අපට නොයෙක් කටයුතු සඳහා ගස් කැපීමට සිදු වෙනවා. එහෙත් ගතික සමතුලිතතාව රැකීමට අපට පැල හිටවන්න පුළුවන්. කැපෙන ගස්වලට සරිලන පැල ප්‍රමාණයක් හිටවන්න අප කටයුතු කළ යුතුයි. ඔක්සිජන් ලැබෙන්නේ මහා වනාන්තරවලින් පමණක් නො වෙයි. පරිසරය රැකීම යනු ඔක්සිජන් ප්‍රමාණය එක් මට්ටමක පවත්වාගෙන යෑම පමණක් නො වෙයි. පොළොවේ උෂ්ණත්වය ආදිය ද සත්වයන්ට හිතකර මට්ටමක පවත්වාගෙන යෑමක්. මිනිසුන්ට තම පැවැත්ම සඳහාවත් තම අවශ්‍යතා සීමා කරන්න වෙනවා. බටහිර සමාජයේ එය කෙරෙන්නේ නැහැ. මෙහි යම් සමතුලිතතාවක් තියෙන්න ඕන. 

පරිසරය රැකීම යනු මේ ගතික සමතුලිතාව රැකීමයි. එය සුළු වශයෙන්වත් වෙනස් නොවිය යුතු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. ඒ වෙනස්වීම අපට (මිනිසුන්ට සතුන්ට ගහ කොළවලට) ඔරොත්තු දෙන ආකාරයකට සිදු විය යුතුයි. මේ සම්බන්ධයෙන් ලියා ඇති ලිපි කවදා කිනම් පත්තරවල තියෙනවා ද කියා මට මතක නැහැ. එහෙත් ඒ පිළිබඳ ලිපි රාශියක් ලියූ බව නම් මට මතකයි. 

දේවානි ඒ ලිපි කියවා නැතිව ඇති. සමහර විට ගතික සමතුලිතතාව ගැන ඇය අසාවත් නැතිව. ඒත් ඇයට පරිසරය රැකීම ගැන යම් අවබෝධයක්  තිබෙන බව පැහැදිලියි. ඒ අවබෝධය එතැන සිටි අනෙක් බොහෝ දෙනාට නැති බවත් පැහැදිලියි. ඇය පරිසරය රැකීම ගැන දැනුමක් ලබා ගත්තේ පාසලෙන් ද විශ්වවිිද්‍යාලයෙන් ද ජනමාධ්‍යයෙන් ද යන්න අදාළ නැහැ. ඇය යමක් ඉගෙන ගෙන තියෙනවා. 

එහෙත් ඇය නොකළ යුතුව තිබුණක් නම් මෙච්චර ඉගෙන ගත් තමන් එහි සිටි අයට ඉගෙන නොගැනීම ගැන යම් චෝදනා මුඛයකින් කතා කිරීම. ඇය කී දේ මා සම්පූර්ණයෙන් ම දන්නෙ නැහැ. ඇය තම උගත්කම ගැන කතා කිරීම වරදක්. එහෙත් ඇය මේ සමාජයෙන් බිහි වූ අයෙක්. මේ සමාජය පොත පතේ දැනුම ගැන ආඩම්බර වෙනවා. විවිධ පඬියන් ලියන දේ කියවන්න.  උගත්කම සහතිකවලට පොතපතේ දැනුමට සීමා කරනවා. එතැන රැස්වී සිටි අය අතර සමහර විට පරිසරය රැකීම ගැන ඇයට වඩා දැනුමක් තියෙන අයත් ඉන්න පුළුවන්. සමහර විට ඇතැමුන්ට ඇයට වඩා නිර්මාණාත්මක (අදහස් අතින්) හැකියාවක් ඇති අයත් ඉන්න ඇති. එහෙත් සමාජය අගය කරන්නේ සහතික දැනුමයි. ඇයත් ඒ දැනුම අගය කිරීම ඇගේ වරදකුත් නො වෙයි කියන්නත් පුළුවන්. ඇයට එය සමාජයෙන් හිමි වූවක්. 

පරිසරය රැකීම ගැන අපට ඇත්තේ බටහිරින් ලැබුණු අදහස් කිහිපයක්. එය සම්පූර්ණ යැයි හිතන්න එපා. අනෙක් අතට ඒ අදහස් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිර්මාණය කරගත් අදහස්. ඒ අදහස් සියල්ල අපට ගැලපෙනවා ද නැද්ද යන්නත් සොයා බලන්න ඕන. ඒ ගැලපෙන ආකාරයකට අප ලබා ගත්තට කමක් නැහැ. අනෙක් අතට අප අපේ ම අදහසුත් නිර්මාණය කර ගන්න ඕන. ඒ නිර්මාණය කර ගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙලා. මෙයින් කියන්නේ අප බටහිර අදහස් සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වෙයි. 

දේවානි අපට වැදගත් වන්නේ ඇගේ පරිසර අදහස් ලබා ගත්තේ කෙසේ ද යන්න (ආකෘතික/අනාකෘතික අධ්‍යාපනය) නිසා නො වෙයි. රාජ්‍ය නිලධාරිනියක් ලෙස ( මා හිතන විධියට එතරම් ජ්‍යෙෂ්ඨ නොවන) ඇය රාජ්‍ය ඇමතිවරයා නීතිය නවන්න උත්සාහ කළ අවස්ථාවක එයට විරුද්ධ ව කතා කිරීම වැදගත්. ඇමතිවරුන්ට බොහෝ විට වැදගත් වන්නේ ස්වාභාවික පරිසරය නොව දේශපාලන පරිසරයයි. දේශපාලනයේ දී ඡන්ද වැදගත්. 

ඡන්ද වැදගත් වන්නේ දේශපාලනඥයන්ට. රාජ්‍ය නිලධාරීන්ට ඡන්ද වැදගත් නැහැ. එහෙත් බොහෝ රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ කරුණාව නීතියට වඩා වැදගත්. නීතියත් මිනිසුන්ගේ නිර්මාණයක්. නීති වෙනස් කරන්න පුළුවන්. එහෙත් තිබෙන නීති රකින්න ඕන. පරිසරයත් රකින්න ඕන. දේවානි කියන්නේ එයයි. ආණ්ඩුව ඇය රකින්න ඉදිරිපත් වෙලා. එය හොඳ පණිවුඩයක්.