Main Logo

Thursday 12 March 2015

වගකිව යුත්තෝ කවරහු ද?

වගකිව යුත්තෝ කවරහු ද?

රනිල් සිරිසේන ආණ්ඩුව බලයට පත් කෙරුණේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් හෝ අතුරලියේ රතන හිමියන් විසින් හෝ නො වේ. උන්වහන්සේට එවැන්නක් කිරීමට තරම් ශක්තියක් නැත. උන්වහන්සේ එසේ කළ සේක යැයි ප්‍රකාශ කිරීම ම උන්වහන්සේට නැති ගෞරවයක් ලබා දීමකි. උන්වහන්සේ සහ තවත් අය ආණ්ඩුව බලයට පත්කිරීමේ ව්‍යාපෘතියෙහි ඉත්තෝ පමණක් වූහ. 


රනිල් සිරිසේන ආණ්ඩුව බලයට පත්කෙරුණේ බටහිර රටවල් විශේෂයෙන් ඇමරිකාව හා එංගලන්තය, හා ඉන්දියාව විසිනි. මේ රටවල් විශේෂයෙන් ම ඇමරිකාව හා ඉන්දියාව එහි දී තම ඔත්තු සේවා යොදා ගත්තේ ය. වඩාත්ම ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්දියන් රෝ ඔත්තු සේවය ය. මෙරට සාමාන්‍ය සිංහලයන්, විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේ සමග සම්බන්ධ විය හැක්කේ ඉන්දීයයන්ට ය. ඒ සංස්කෘතික සම්බන්ධතා හේතුකොටගෙන ය.  

ඉන්දියාවේ ඉගෙන ගත් සිංහලයන් ඔත්තු සේවයෙහි යෙදවීමට රෝ සංවිධානය වග බලා ගත්තේ ය. බටහිර අධ්‍යාපනය විසින් ඒ ඒ ප්‍රමාණයට අප බටහිර ගැත්තන් කරන පරිදි ඉන්දියානුවෝ ද ඉන්දියාවේ ඉගෙනුමට යන  සිංහලයන් තම නියෝජිතයන් කර ගැනීමට උත්සාහ කරති. සංගිතයෙහි පමණක් නොව වෙනත් ක්‍ෂෙත්‍රවල ද එය දැක ගත හැකි ය.

බටහිර රටවල් හා ඉන්දියාව එක් වී ක්‍රියාත්මක කළ සැලැස්ම සාර්ථක විය. අප ඒ බව පිළිගත යුතු ය. රනිල් සිරිසේන ආණ්ඩුව බලයට පත් කළේ ඒ රටවල් විසිනි. රාජපක්‍ෂ රෙජිමය පැරදවීම යන්න ම ඇමරිකානු සංකල්පයක් මිස රනිල්ගේ නිර්මාණයක් නො වේ. එහෙත් එහි තේරුම ඔවුන්ගේ මෙරට ඉත්තන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට වග නොකිවයුතු බව නො වේ. පඬියන්, ඊනියා රාජ්‍ය නොවන උගතුන් පමණක් නොව ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් ද එයට වගකිව යුතු ය.

අද ඔවුන්  රනිල් සිරිසේන ආණ්ඩුවේ දුර්වලකම් දැක ආණ්ඩුවෙන් දුරස්ථවීමට උත්සාහ කරන බව පෙනෙයි. මොවුන්ගෙන් ඇතමකු මීළඟ මැතිවරණය දෙස ඇස ගසා සිටින බව පැහැදිලි ය. ඔවුහු ඒ සඳහා නැවත වරක් ශ්‍රී ල නි ප නිවට නායකත්වය සමග සංධානගත වීමට උත්සාහ කරති. ඔවුන්ට ද නිවට නායකයන්ට ද අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පැමිණීම වැළැක්වීම ය. එය ඔවුන්ගේ අවශ්‍යතාව පමණක් නොව බටහිර රටවල හා ඉන්දියාවේ ද අවශ්‍යතාව ය.

බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදයට කප්පන් දී රට බෙදීම හා චීනය අපෙන් ඈත්කර තැබීම ය. ඊනියා යහපාලනය ඒ වසං කිරීමට යොදාගත් සටන්පාඨයක් පමණක් විය. සාධාරණ සමාජය හා පිවිතුරු හෙටක් යන්න ඊනියා යහපාලනයෙහි ප්‍රභේද දෙකක් පමණකි.   අද යහපාලනය යහදුෂණයක් හා යමපාලනයක් බවට පත්වී ඇත. එබැවින් ඉත්තෝ මීයන් මෙන් ගිලෙන නැවෙන් පැන යෑමට උත්සාහ කරති.

මේ මීයන්ට නැවෙන් පැන ඇවිත් නැවත වතාවක් බොරු කියමින් ජනතාව ඉදිරියට පැමිණීමට ඉඩ දිය යුතු නො වේ. රනිල් සිරිසේන ආණ්ඩුව බලයට පත්කිරීමට තරම් ශක්තියක් ඔවුන්ට නැති වුවත් ඔවුහු ඉත්තන් ලෙස වගකිව යුත්තෝ වෙති. අප කළ යුත්තේ මේ මීයන්ට ගිලෙන නැව සමග ම ගිලෙන්නට ආධාර කිරීම ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 12