විපක්‍ෂ නායකයාට එරෙහිව විනයානුකූල පරීක්‍ෂණයක්
අප රටේ උගතුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රශ්නයක මුලට යෑමට නොහැකි වීම ය. නිරවුල් ව සිතීමට නොහැකි වීම එහි දී බලපාන වැදගත් සාධකයක් වෙයි. උගතුන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රවල යම් දැනුමක් ඇත. එහෙත් කිසිම ප්‍රශ්නයක හරය තේරුම් ගැනීමට ඔවුන්ට නො හැකි ය. උදේ සවස බුදුදහම මෙනෙහි කරන රටක එසේ වී ඇත්තේ ඇයි ද යන්න ද ප්‍රශ්නයකි. බුදුන්වහන්සේ කිසි දිනෙක බටහිර අර්ථයකින් ඊනියා ප්‍රවාද ගොඩ නො නැගූහ. එනම් උන්වහන්සේ තියරි කාරයෙක් නො වූහ. බටහිර විද්‍යාවෙහි මෙන් නොව වියුක්ත ප්‍රවාද බුදුන්වහන්සේගේ දේශනාවල අඩංගු නො වී ය.
බුදුන්වහන්සේ දේශනා කර ඇතැයි අප අතර පවත්නා සූත්‍ර හා අනෙක් දැනුම් රාශියකි. එයින් බුදුන්වහන්සේගේ දේශනා, ඉගැන්වීම් ලෙස අප පිළිගන්නේ කවරක් ද යන්න පිළිබඳ ව උගත්තු සාකච්ඡා කරති. එහි දී උගතකු නොවන මා යොදාගන්නා නිර්ණායකයක් වෙයි. යම් සූත්‍රයක හෝ පිටකයක හෝ වියුක්ත ප්‍රවාදයක් හෝ වෙනත් වියුක්ත දැනුමක් හෝ ඇත්නම් එය බුදුන්වහන්සේ දේශනා එකක් නොවීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. එහෙත් එයින් කියන්නේ බුදුන්වහන්සේ යම් ප්‍රශ්නයක දී හේතු නොසෙයූ බව නො වේ. දුක දුකට හේතුව යනුවෙන් අපි චතුරාර්ය සත්‍යය පටන් ගනිමු. එහෙත් මෙහි දුක යනු කුමක් ද යන්න පිළිබඳ ව නොයෙක් අදහස් වෙයි. බටහිරයන් අනුකරණය කරන අපි තර්ක බුද්ධිය පමණක් යොදා ගෙන දුක කුමක් දැයි දැනගැනීමට උත්සාහ කරමු.
මට තේරෙන අයුරින් නම් දුක මෙන් ම දුකට හේතුවත් බුදුන් වහන්සේ දුටු දේ ය, පසක් කරගත් දේ ය. එය පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් නොවිය යුතු ය. එය පෘථග්ජන මනසෙන් අත්කරගත් දැනුමක් නොවිය යුතු ය. කෙටියෙන් කිවහොත් එය සළායතන සම්බන්ධ දැනුමක් නොවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් සම්බන්ධයෙන් පංචෙන්ද්‍රිය ගෝචර යන්න බුදුන්වහන්සේ විසින් බැහැර නොකෙරුණා පමණක් නො වේ. උන්වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ඊනියා ප්‍රවාදවලට වඩා විශ්වාස කටයුතු යැයි අපට කියා දුන්හ. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ එයයි. එසේ වුවත් පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ඊනියා සත්‍ය යැයි නො සිතිය යුතු ය. එය ද බොරු බව ද්වයතානුපස්සනා සූත්‍රයෙන් කියැවෙයි. එවිට වියුක්ත ප්‍රවාද ගැන කුමක් කිව යුතු ද? ඒ පට්ටපල් බොරු යැයි මම කියමි. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ එබැවිනි.
නිවන් අවබෝධ නොකළ අපි විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය අපට තේරෙන අන්දමට ප්‍රශ්නයේ මුලට ගොස් සාකච්ඡා කරමු. ජාතික ව්‍යාපාරයේ අවලංගු කාසියක් බවට පත් කෙරී ඇති මා කියන කරුණු ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘන් හා එය සමාජගත කළවුන් ලෙස තම තමන් හඳුනාගන්නවුන් විසින් පිළිගැනේ වි යැයි මම නො සිතමි. එක් ඇමතිවරයකු පවසා ඇත්තේ මා ලිවීම හැර වෙනත් දෙයක් කර නොමැති බව ය. ජාතික ව්‍යාපාරයේ වත්මන් නායක පඬියෝ යෝ ඒ බවවත් නො පිළිගනිති.
දැනට පිළිගැනෙන ආකාරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරියෙකි. ඔහු මෙරට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ද වෙයි. ඒ අතර ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැම් නිලධාරීහු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු වෙති. ශ්‍රී ල නි ප සභාපති රටේ ජනාධිපති වෙයි. මේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ය. එහි වියුක්ත බවක් නැත. ඉතිහාසය දන්නා අයකුට මෙවැනි තත්ත්වයක් තිබූ වෙනත් රටක් ගැන කිව හැකි ද? බටහිර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එසේ විය හැකි දැයි අපි නො දනිමු. බටහිරයෝ අඩුම තරමෙන් නිල වශයෙන් වෙන් කිරීමේ අති දක්‍ෂයෝ ය. බටහිර සම්ප්‍රදාය අනුගමනය කරන මෙරට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය යනුවෙන් වෙන් කිරීමක් සිදුවන්නේ නැද්ද?
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය යනු කුමක් ද? ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විපක්‍ෂ නායකකම ගැන නොව විපක්‍ෂයක් ගැනවත් නො කියැවෙයි. කැබිනට් මණ්ඩලය කැබිනට් නොවන ඇමතිවරුන් අගමැති ආදීන් ගැන මෙන් ම ඔවුන් පත්කෙරෙන්නේ කෙසේ ද යන්න ගැන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වුව ද විපක්‍ෂය ගැනවත් විපක්‍ෂ නායකකම ගැනවත් විපක්‍ෂ නායක පත්කෙරෙන්නේ කෙසේද යන්න ගැනවත් ව්‍යවස්ථාවෙහි සඳහන් නොවීම පාඩුවකි. 20 වැනි හෝ 21 වැනි හෝ ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ ගැන සැලකිල්ල යොමු වේවා යැයි අපි පතමු.
එතෙක් කළ හැක්කේ සම්ප්‍රදාය අනුගමනය කිරීම ය. එක්කෝ 1948න් පසු මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කළ යුතු ය. එසේත් නැත්නම් එංගලන්තයේ හෝ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක හෝ වෙනත් රටක හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙහි දී විපක්‍ෂ නායකවරයා තෝරාගැනීම සඳහා අනුගමනය කළ හැකි ය. ඒ සම්බන්ධයෙන් කරුණු දන්නා අයට තමන් දන්නා දෙය මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකාශ කළ හැකි ය. මේ අනුකාරකයන්ගේ යුගය ය.
එසේත් නැත්නම් කළ හැක්කේ කතානායකවරයාට විපක්‍ෂ නායකයා තෝරා ගැනීමේ වගකීම පැවරීම ය. අද කෙරෙන්නේ එය යැයි සිතමි. ඒ එසේ නම් කතානායකවරයාට පැවරෙන්නේ භාරදුර කාර්යයකි. ඒ කුමක් වුවත් පළමුව ඇත්තේ විපක්‍ෂය කුමක් ද ආණ්ඩු පක්‍ෂය කුමක් දැයි තෝරා ගැනීම ය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු විපක්‍ෂ නායක ධුරයට පත්කර ගැනීමට නො හැකි ය. එහෙත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය හඳුනා ගැනීමකින් තොරව අහවල් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්‍ෂයේ ද නැත්නම් විපක්‍ෂයේ ද යැයි තීරණය කළ නො හැකි ය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී තමා අගමැති මෙන් ම විපක්‍ෂ නායක වීමක් ගැන සඳහන් කළේ ය. එය විහිළුවක් වුවත් නැතත් ජනාධිපතිගේ පක්‍ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්‍ෂ නායක විය හැකි නම් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති හා විපක්‍ෂ නායක ධුර දෙක ම දැරීමට බාධාවක් තිබිය යුතු නැත.
යම් මන්ත්‍රීවරයකු ආණ්ඩු පක්‍ෂයට මෙන් ම, විපක්‍ෂයට ද අයත් විය හැකි ද? එය එසේ විය නො හැකි ය. එවිට ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර පැහැදිලි වෙන්කිරීමක් සිදු නො වේ. කෙටියෙන් කිවහොත් අංසභාග ආණ්ඩුවක් තිබිය නො හැකි ය. යම් පක්‍ෂයකින් කොටසක් ආණ්ඩු පක්‍ෂයේත් තවත් කොටසක් විපක්‍ෂයේත් වේ නම් එතැන ඇත්තේ ජාතික ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් හෝ නොව අංසභාග ආණ්ඩුවකි. වෙනත් වචනවලින් කිවහොත් අං සහිත සභාග ආණ්ඩුවකි.
අද ඇත්තේ අංසභාග ආණ්ඩුවක් යැයි කිව හැකි නමුත් එය ශ්‍රී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව විසින් ගන්නා ලද තීරණයකට පටහැණි වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් වූ අදාළ තීරණයට අනුව ශ්‍රී ල නි ප ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී ඇත. ජාතික ආණ්ඩුව යනු කුමක් දැයි දැනගෙන එවැනි තීරණයක් ගත් බවට සාක්‍ෂි නැතත් ඒ යෝජනාවෙන් අවම වශයෙන් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා ප හා වෙනත් පක්‍ෂ සමග සභාග ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ය. ඒ යෝජනාව කිසිසේත් ම අංසභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූවක් ලෙස අර්ථකථනය කළ හැකි නො වේ.
ශ්‍රී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ තීරණය අනුව ශ්‍රී ල නි පක්‍ෂය අද ඇත්තේ ආණ්ඩු පක්‍ෂයේ ය. පක්‍ෂයෙහි මන්ත්‍රීවරුන් සියළු දෙනාට ම ඇමති ධුර ලැබේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. එහෙත් ඇමති ධුර නොලැබූ අය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සැලකිය නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු සියල්ලෝ ම ඇමතිකම් ගත්තත් නැතත් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ තීරණය අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු වෙති. එසේ නම් ශ්‍රී ල නි පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට විපක්‍ෂ නායක විය හැකි ය.
එයින් කියැවෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්‍ෂ නායක ධුරය දැරිය නො හැකි බව ය. අද ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ සමස්ත ලංකා කාරක සභාවේ තීරණයට පිටින් ගොස් ක්‍රියා කිරීම පිළිබඳ ව විපක්‍ෂ නායක ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා මහතාටත් ඔහු ඒ තනතුරට පත්කළ අයකු හෝ අය හෝ ශ්‍රී ල නි පක්‍ෂයේ ඇත්නම් ඒ සියල්ලන්ට විරුද්ධව විනයානුකූල පියවර ගැනීම ය. ශ්‍රී ල නි පක්‍ෂය එවැනි පියවරක් ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු යැයි යමකු කීමට ඉඩ ඇත. එවැන්නකු ලිපියෙහි අග්ගිස්ස පමණක් කියවා ඇත. එහෙත් හරය තේරුම් ගෙන නැත.
නලින් ද සිල්වා
2015 මාර්තු 29