Main Logo

Monday 19 October 2015

හයිබ්‍රිඩ් යටත්විජිතවාදය (ඉරිදා රිවිර ලිපියකි )

හයිබ්‍රිඩ් යටත්විජිතවාදය

මේ ආණ්ඩුව ඇමරිකාව, එංගලන්තය හා ඉන්දියාව සමග එකතු වී  සිංහලයන්ට විරුද්ධව නඩු පැවරීමට යයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සභාවට මේ සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් වූයේ ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙනි. එයට එංගලන්තය ද හවුල් විය. මේ සියල්ල පිටුපස සිටින්නේ එංගලන්තය හා ඉන්දියාව ය. ඉන්දියාවේ නම සඳහන් නොවුණ ද ලංකාව සම්බන්ධ යෝජනා ඉන්දියාවේ අනුමැතියට යටත් ව ඉදිරිපත් කෙරෙයි. ඉන්දියාව ප්‍රසිද්ධියේ කිසිවක් නොකර සිටීමෙන් ම ඔවුන්ගේ හවුල්කාරී බව දැනගත හැකි ය. ලංකාව මේ යෝජනාවට අනුග්‍රහය දක්වා ඇත.


මේ ඊනියා අනුග්‍රහය ද ඉන්දියාවේ කීමට (අණ පරිදි) දක්වන ලද්දකැයි සිතිය හැකි ය. ලංකාව සම්බන්ධ යෝජනාවකට ලංකාව අනුග්‍රහය දක්වන විට එයට විරුද්ධ විය හැකි රට කුමක් ද? මේ උපක්‍රමයෙන් චීනය හා රුසියාව වැනි රටවල් යෝජනාවට විරුද්ධ වීම වැළකිණි. අප කටයුතු කරන්නේ අපට අවශ්‍ය ආකාරයට නොව එංගලන්තයේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව ය. අපි ජනවාරි 8 වැනි දා නැවතත් යටත්විජිතයක් වීම ආරම්භ කෙළෙමු. අගෝස්තු 17 වැනි දා  එය තවත් ඉදිර්යට ගෙන ගියෙමු. ජෙනීවා යෝජනා මගින් යටත්විජිතයක් වීමු. එහි මෙරට ආණ්ඩුව කළ යුත්තේ කුමක් දැයි පැහැදිලිව සඳහන් වෙයි. සුද්දන්ට සුපුරුදු වචන යොදා ගනිමින් අහවල් දේ කරන්නේ නම් මානව අයිතිවාසිකම් කොමිසම සතුටු වන බව සඳහන් කරයි. එයින් කියැවෙන්නේ අප ඒ දේ කළ යුතු බව ය. අප දැන් යටත්විජිතයකි. ඒ සාමාන්‍ය ක්‍රමයේ යටත්විජිතයක් නොව හයිබ්‍රිඩ් යටත්විජිතයකි. එංගලන්තයත් ඉන්දියාවත් හවුලේ සමගාමී ව අප පාලනය කරයි. සාමාන්‍යයෙන් යටත්විජිතයක් එක් ස්වාමියකු යටතේ පාලනය වෙයි. එහෙත් අපට දැන් ස්වාමිවරු දෙදෙනෙක් වෙති. ඒ අතර ඇමරිකාව ද ඇඟීලි ගසයි.  එවැනි යටත්විජිතයක් මින් පෙර තිබී ඇත්දැයි නො දනිමි. නිර්මාණශීලී දේශපාලන විද්‍යාඥයකුට හයිබ්‍රිඩ් යටත්විජිතවාදය නමින් අධ්‍යයනට සුදුසු මාතෘකාවක් ලැබී ඇත. 

1815 ගිවිසුමෙන් අපි රටේ පාලනය ඉංගිරිසින්ට පැවරුවෙමු. එහි අඩු තරමෙන්, පසුව සුද්දන් කැඩූ නමුත්, ලංකාව සිංහල නීතියට අනුව කරවන බවටත් බුද්ධාගම හා දේවාගම (සිංහල බෞද්ධ සංස්කෘතිය) රකින බවටත් වගන්ති විය. 2015 ජෙනීවා යෝජනා එක් අතකින් ගිවිසුමක් බවට ද පත්වන්නේ ලංකාව එයට අනුග්‍රහ දැක්වීම නිසා ය. හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් සමග ආණ්ඩුව ජෙනීවාහි දී ගිවිසුමක් මගින් රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව පාවා දී ඇත. 

හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් ඊනියා මානව අයිතිවාසිකම් කතාවක් ඇදගත්තේ අන් කිසිවකට නොව ඔවුන්ගේ ඒජන්තයන් වූ දෙමළ ජාතිවාදීන්ට, අනෙක් සුළු ජාතිකයන්ට, ඊනියා සිවිල් සමාජයට බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කර ගැනීමට නිදහස ලබා දීමට ය. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ බටහිරයන්ට හිස නොනමා දෙමළ ත්‍රස්තවාදය නොපරද්දන්නට ඊනියා මානවඅයිතිවාසිකම් කතා පැන නොනැගීමට තිබිණි. ජෙනීවා යෝජනාවල දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව පළාත්සභාවල ක්‍රියාකාරීත්වය, ඉඩම් අයිතිය ආදිය ගැන ද සඳහන් වෙයි. එමෙන් ම 2014 යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන ද සඳහන් වෙයි. 1815 ගිවිසුමෙන් සිංහල නීතිය අනුව රට කරවන බවට අඩු තරමෙන් පොරොන්දුවක් විය. එහෙත් 2015 ජෙනීවා යෝජනා (ගිවිසුම) මගින් කෙරෙන්නේ බටහිරයන්ගේ නියෝජිතයන් වූ ඊනියා සුළු ජාතිකයන්ට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීම ය. ජෙනීවා යෝජනා යනු ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව දෙමළ ජාතිවාදයට පක්‍ෂව සිංහලයන්ට විරුද්ධව කෙරෙන යුද්ධ ප්‍රකාශයකි. අප මතක තබාගත යුතු කරුණක් නම් යෝජනා අවසාන වශයෙන් විග්‍රහ කෙරෙන්නේ හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ට අවශ්‍ය ආකාරයට බව ය.

ඊනියා දේශීය යාන්ත්‍රණය යන්න පට්ටපල් බොරුවකි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා ම ලංකාවේ අධිකරණය ගැන සෑහීමකට පත්විය නොහැකි බව පවසා ඇත.  රාජපක්‍ෂ ආණ්ඩුවේ අධිකරණය සතුටුදායක නැත්නම් මෛත්‍රිපාල ආණ්ඩුවේ අධිකරණය යහපත් විය හැක්කේ කෙසේ ද? මොහාන් පීරිස් මහතා පන්නා දැමූ ආකාරය ඒ සඳහ ා කදිම උදාහරණයකි. මෙරට අධිකරණය ගැන සෑහීමකට පත්නොවන එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසම කිසිම අවස්ථාවක ඊනියා දේශීය යාන්ත්‍රණයකට ඉඩ නො දෙනු ඇත. 

ජෙනීවා යෝජනාවල සඳහන් වන්නේ අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවන බව ය. එහි දේශීය යාන්ත්‍රණයක් ගැන කියවෙන්නේ, අධිකරණමය යාන්ත්‍රණය එහි උපදේශකවරුන්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විදේශීය නීතිඥයන් විනිසුරුවන් ආදීන් ශ්‍රී ලාංකික නෛතික පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතු ය යනුවෙන් සඳහන් කිරීමෙන් පමණකි. එය කිසිසේත්ම දේ්ශීය යාන්ත්‍රණයක් නො වේ. නෛතික පද්ධතිය පමණක් ශ්‍රි ලාංකික ය. එහෙත් අධිකරණමය යාන්ත්‍රණයට විදේශික විනිසුරුවෝ ද වෙනත් අය ද සහභාගි වෙති. මේ බව යෝජනාවල හයවැනි වගන්තියෙහි පැහැදිලි ව සඳහන් වෙයි. දේශීය යාන්ත්‍රණයක් ගැන කියමින් ආණ්ඩුව ජනතාව නොමග යවයි. නීතිය අපේ ය. විනිසුරුවන් හා විනිශ්චය හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ගේ ය.  (හයවැනි වගන්තිය පහත උපුටා දැක්වෙයි) 

ආණ්ඩුව කියන්නේ තම දක්‍ෂතාව නිසා රාජපක්‍ෂලා දංගෙඩියෙන් බේරාගෙන පවත්වන්නට තිබූ ජාත්‍යන්තර පරීක්‍ෂණය වළක්වා ගත හැකි වූ බව ය. මෙහි බොරු දෙකක් ඇත. ජාත්‍යන්තර පරීක්‍ෂණය වැළකී නැත. දෙවනුව රාජපක්‍ෂලා දංගෙඩියෙන් බේරී නැත. සිදු වී ඇති එකම දෙය තනි තනි පුද්ගලයන්ට විරුද්ධව දැනට චෝදනා එල්ල නොකිරීම පමණකි. දැනට ඇත්තේ සාමූහික චෝදනාවකි. එහෙත් එය යථාකාලයේ දී පෞද්ගලික චෝදනා බවට පත්වනු ඇත. ආණ්ඩුවේ ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කරන්නේ එහි නිවටකම මිස දක්‍ෂකම නො වේ. හයිබ්‍රිඩ් යටත්විජිතවාදීහු තමන්ට එහෙයි කියන ආණ්ඩුව ලවා තමන්ට අවශ්‍ය දේ කරගනිති. මේ ආණ්ඩුව යනු හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ගේ රබර් මුද්‍රාවක් පමණකි.

ජෙනීවා යෝජනා යනු හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් සිංහලයන්ට එරෙහිව ගෙනෙන ලද යෝජනා ය.  මේ ආණ්ඩුවට තහවුරු වීමට ඉඩඳුනහොත් අපි දිර්ඝකාලීන ව යටත්ව්ිජිිතයක් වෙමු. කළ යුත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් ම ආණ්ඩුව පරාජය කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ගියහොත් හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට අප සෘජුව ම ආක්‍රමණය කරනු ඇත. සියළු උද්ඝෝෂණ, විරෝධතා, රැස්වීම් ආදිය අවසානයේ දී ආණ්ඩුව පරාජය කිරීම සඳහා ම විය යුතු ය. 

අද ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන සංවිධානය ඒකාබද්ධ විපක්‍ෂය ය. සියළු දේශප්‍රේමීන්, විශේෂයෙන් සිංහලයන් ඒකාබද්ධ විපක්‍ෂය වටා එකතුවෙමින් එය ශක්තිමත් කළ යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල විරෝධීන්ට ද ඒකාබද්ධ විපක්‍ෂය ක්‍ෂෙමභූමියක් වෙයි. ඒ අතර කිව යුත්තක් වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයෙන් ජාතිකත්වය පිළිබිඹු විය යුතු ය. මේ සටන පංති සටනක් හෝ මාක්ස්වාදී රාමුවක කරන තවත් සටනක් හෝ වෙනත්  එවැනි සටනක් හෝ නො වේ. විජාතික හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ට එරෙහිව අද දවසේ සංවිධානය විය හැක්කේ ජාතිකත්වයේ නාමයෙන් පමණකි. 

ජෙනීවා යෝජනාවලින් නඩු පැවරෙන්නේ සිංහලයන්ට හා මුස්ලිම් කිහිප දෙනකුට ය. පැමිණිලිකරු මෙන් ම විනිසුරුවෝ ද හයිබ්‍රිඩ් යටත්විජිතවාදීහු වෙති. ආණ්ඩුව හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ගේ සාක්‍ෂිකරුවකු බවට පත්වී ඇත. එමගින් රට, විශේෂයෙන් ම සිංහලයන් පාවා දී ඇත. ආණ්ඩුවට ස්වාධීන පැවැත්මක් නැත. හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් නොවන්නට මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවක් නැත. ජාතියේ නිදහස උදෙසා මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පරාජය කළ යුතු ය. 

නලින් ද සිල්වා

6. Welcomes the government’s recognition that accountability is essential to uphold the rule of law and build confidence in the people of all communities of Sri Lanka in the justice system, takes note with appreciation of the Government of Sri Lanka’s proposal to establish a Judicial Mechanism with a Special Counsel to investigate allegations of violations and abuses of human rights and violations of international humanitarian law, as applicable; and affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for integrity and impartiality; and further affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel’s office, of Commonwealth and other foreign judges, defence lawyers, and authorized prosecutors and investigators;