සාපේක්‍ෂතාව වස්තුව හා යථාර්ථය
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මාන) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් ඔහුට මනසින් තොර යථාර්ථයක් ඇති බව පෙන්විය නො හැකි ය. ඔහුට පමණක් නොව ලොව පෘථග්ජන කිසිම කෙනකුට ඒ බවක් පෙන්විය නො හැකිය.
එහෙත් ඒ මහතා එ බව තෙරුම් ගෙන නැති බව ඔහු ලියන දෙයින් පැහැදිලි වෙයි. තණ්හව ස්වාභාවික ව ඇතිවන දෙයක් බව ඔහු වරක් ප්‍රකාශ කෙළේ ය. එහෙත් ප්‍රශ්නය තණ්හාවක් ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. තණ්හාව නමින් අප යම්කිසි ප්‍රපංචයක් හෝ ක්‍රියාවක් හෝ වෙනත් යමක් හඳුනාගන්නේ මනසිනි. තණ්හාව යන සංකල්පය ඇති වන්නේ මනසට ය. මනස නොමැතිව අපට තණ්හාවක් නැත. තණ්හාව, තණ්හාවක් වන්නේ මනසට ය.
අමරතුංග මහතා කියනු ඇත්තේ මනස ඇතත් නැතත් තණ්හාව ඇති බවත් අප කරන්නේ එය එලෙස හඳුනාගැනීම බවත් ය. එහෙත් ඒ එසේ නො වේ. තණ්හාව, තණ්හාවක් වන්නේ අප වැනි පෘථගජනයන්ට ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කෙළේ ද අප වැනි පෘථග්ජනයන්ට ය. වෙනත් සත්ව කොට්ඨාශයකට ධර්මය දේශනා කෙළේ නම් උන්වහන්සේ කිනම් සංකල්ප යොදා ගනී දැයි අපට කිව නො හැකි ය. චතුරාර්ය සත්‍යය වුවත් අපට දේශනා කළ දහමකි. දුක යන්න එලෙස තේරුම් ගනු ලබන්නේ අප විසිනි. බුදුන් වහනසේ මිනිසුන්ට විෂය වන ආකාරයෙන්් ධර්මය දෙසූහ. එපමණක් නො වේ. උන්වහන්සේ ඒ ඒ ජනතාවගේ බසින් ම (ජනපද නිරුක්තියෙන්) ධර්මය දෙශනා කිරීමට භික්‍ෂූන් වහන්සේට උපදෙස් දුන්හ. සංසාරය වුවත් අපට විෂය වන සංකල්පයකි.
මෙහි තේරුම සංසාරය යනුවෙන් ප්‍රපංචයක් ඇති බවත් එය අප එනමින් හඳුන්වන බවත් වෙනත් සත්ව කොට්ඨාශයක් එකී ප්‍රපංචයට වෙනත් නමක් යොදන බවක් නො වේ. මෙහි එකී ප්‍රපංචය යන යෙදුමද නිවැරදි නො වේ. වෙනත් සත්ව කෙට්ඨාශයක් සංසාරය යන්නට අප එයින් අදහස් කරන දෙයට වඩා අඩු හෝ වැඩි හෝ යමක්් හඳුන්වන්නේ යැයි සිතිය හැකි ය. මෙය සිංහලෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමක් වැන්නක් නො වේ. පරිවර්තනය කිරීමේ දී වුවත් අපි එකම ප්‍රපංචයක් හඳුනා නො ගනිමු. උදාහරණ වශයෙන් කාව්‍ය පරිවර්තනය දැක්විය හැකි ය. මුල් කෘතිය එය ලියු බසින් කියවන විට ලැබෙන හැඟීම වෙනත් බසකින් ඒ ලියූ විට ලැබෙන හැඟීමෙන් වෙනස් වෙයි. අමාවතුර ඉංගිරිසියට පරිවර්තනය කළහොත් කිනම් රසයක් පරිවර්තනයෙන් ලැබේවි ද?
මා කිහිප වතාවක් ම පෙන්වා දී ඇති පරිදි අම්මා යන්න එහි සියළු අරථ රකිමින් ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි නො වේ. අම්මා යන්නෙන් නැගෙන ධ්වනිතාර්ථ ඉංගිරිසියට නගන්නේ කෙසේ ද? සිංහල සංස්කෘතියෙහි ජීවත්වන අම්මා කෙනකු තම දුව හෝ පුතා හෝ ළඟට ගෙන මගෙ අම්මට බඩගිනි දැයි අසයි. එය සිංහලෙන් දනවන සියළු හැඟීම් අපට දැනෙන ආකාරයෙන ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි ද?
මිනිස් ලොවේ පෘථග්ජනයන්ගේ භාෂා අතර වුව එවැනි වෙනස්කම් ඇත. පොදුවේ ගත්කල සිංහලයන්ගේ ලෝකය පොදුවේ ගත්කල ඉංගිරිසින්ගේ ලෝකයෙන් වෙනස් වෙයි. එහෙත් ඒ ඒ සිංහලයන් අතර ද එකම දෙයක් සන්නිවේදනය නො වේ. අප ජීවත් වන්නේ එකිනෙකාගේ් ලෝකවල ය. එකම ලෝකයක ජීවත්වන සත්ත්වයන් දෙදෙනකු නැත. එහෙත් එකම අවයව පද්ධතියක් ඇති මිනිස්සු තමන් සියළු දෙනා භෂා වෙනස්කම් මැද වුව ද එකම ලෝකයක ජීවත්වන්නේ යැයි විශ්වාස කරති. යථාර්ථය යනු මේ පොදු එකඟතාව නිසා මිනිසුන් නිර්මණය කරගන්නා තවත් සංකල්පයක් පමණකි.
අමරතුංග මහතා විදුසර සඟරාවේ පිටු නාස්තිකරමින් යථාර්ථයක් ඇති බව පෙන්වීම සඳහා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දැනුම් පාඨකයා හමුවට ගෙන එයි. මිනිසුන් නිර්මාණය කළ දැනුම එසේ ලිවීමෙන් යථාර්ථයක් ඇති බව සාධනය (ඔප්පු) නො වේ. බොහෝ දෙනා යථාර්ථයක් ඇති බව පෙන්වීමට අප ඉදිරිපිට ඇති කෝප්පය වැනි වස්තු නිදර්ශන වශයෙන් සලකති. එහෙත් කෝප්පය යථාර්ථයක් ද? කෝප්පය නොබිඳී දිර්ඝ කාලයක් පවතින්නේ යැයි සිතමු. අප පෘථග්ජනයන් ලෙස පළමුව කෝප්පය සමස්තයෙන් වෙන්කර ගන්නේ යැයි අද්වෛත වෛදිකයේ ඉගැන්වෙයි. ඔවුන්ට අනුව පෘථග්ජන යන්නෙහි තේරුම ද වෙන්කරන්නා යනන ය. අප අද්වෛත වෛදිකයේ සමස්තය ආදී සංකල්ප බැහැර කළ ද අපට කෝප්පය යන්න පීරිසියෙන් ද වෙන්කර ගත හැකි ය. එසේ කරන්නේ සළායතන මගින් මිස වෙනත් ක්‍රමයකින් නො වේ. එළෙස පීරිසියෙන් ද අනෙක් ද්‍රව්‍යවලින් ද වෙන්කර ගත් යම් හැඩයක වස්තුවලට අපි කෝප්ප යැයි කියමු.
කෝප්පය, කෝප්පයක් වන්නේ අපට ය. කිසි දිනෙක කෝප්ප දැක නොමැති සංස්කෘතියක වසන්නකු පළමු වරට කෝප්පයක් දුටු විට එයට කුමක් කියාවි ද? ඔහු මිනිසකු ලෙස කෝප්පය අනෙක් වස්තූන්ගෙන් වෙන්කර හඳුනා ගනු ඇත. එහෙත් ඔහුට කෝප්පය යන සංකල්පය නැත. ඔහුට එ පිළිබඳ වෙනත් සංකල්පයක් තිබෙනු නො අනුමාන ය. එහෙත් එය බීමට යොදා ගන්නා උපකරණයකි ආදී වශයෙන් අපට ඇති අදහස් ඔහුට නැත. ඔහුගේ “කෝප්පය” අපේ කෝප්පය නො වේ.
අපි එවැනි කෝප්ප නොදුටු සංස්කෘතියක මිනිසකු නොව කුහුඹුවකු ගැන සිතමු. කුහුඹුවාට අපේ කෝප්පය පිළිබඳ ඇති සංකල්පය කුමක් ද? කුමාරතුංග මුනිදාස මහතා ලියූ ශික්‍ෂා මාර්ගය පොත් පෙළෙහි එක් පොතක දොඩමක සිටින කුහුඹුවකුට ඒ් වටකුරු බව නොතේරෙයි යන තේරුම දෙන වැකියක්් වෙයි. කුහුඹුවාගේ “දොඩම” අපේ දොඩම නො වේ. කුහුඹුවෝ ද අප සමග සංසර ගමනෙහි යෙදෙන්නෝ යැයි සිතීම වරදක් නො වේ. අප ඊනියා යථාරථයක් ගැන කතා කරන්නේ ඒ සියළු සත්ත්වයන්ගෙන් මිනිසුන් පමණක් වෙන්කර ගෙන මිනිසුන්ට පොදු යැයි සැලකෙන සංකල්ප ටිකක් මුළු විශ්වයට ම සාධාරණය කිරීමෙනි. යථාාර්ථයක් නොමැතිවීම හා සපේක්‍ෂතාව යනු එකක් නො වේ.
අමරතුංග මහතා මිනිස් දැනුම උපුටා දක්වමින් යථාර්ථයක් ඇති බව පෙන්වීමට යත්න දරයි. එහෙත් එමගින සිදුවන්නේ මිනිසුන්ට එක් එක් ලෝක ඇති බව පෙන්වීම පමණකි. නියතිවාදීන්ගේ ලෝකය අනියතිවාදීන්ගේ ලෝකයෙන් වෙනස් වෙයි. ඒ ඒ ලෝක එකිනෙකින් වෙනස් වෙයි. අමරතුංග මහතාට ද ලෝකයක ඇත. ඒ මහතාගේ ලෝකයේ යථාර්ථයක් ඇත. මගේ ලෝකයෙහි යථාර්ථයක් නැත. එපමණක් නො වේ. මගේ ලෝකයෙහි යථාර්ථයක් ඇත් ද නැත් ද යන්න ද යථාර්ථයක් නො වෙයි.
දැන් අපි බුදුදහමෙහි යථාර්ථයක් ඇති බව පෙන්වීම සඳහා අමරතුංග මහතා ගෙනෙන තර්කයක් සලකා බලමු. ඒ මහතා තම සැප්තැම්බර් 16 වැනි දා ලිපියෙන් මෙසේ කියයි. “මධුපිණ්‌ඩික සුත්රබයෙහි බුදුන් පවසා ඇත්තේ වස්‌තුව සහ ඇස ගැටීම හේතු කොටගෙන චක්‌ඛු විඤ්ඤාණය ඇති වන බව ය. මින් පැහැදිලි වන්නේ විඤ්ඤාණය ඇති වන්නට පෙර වස්‌තුව පැවැති බව ය. විඤ්ඤාණය ඇති වන්නට පෙර වස්‌තුව පැවතුණේ නම් එය විඤ්ඤාණයෙන් ස්‌වායත්ත විය යුතු ය. චක්‌ඛු විඤ්ඤාණය විසින් දකින්නට සලස්‌වනු ලබන්නේ ස්‌වායත්ත ව පැවැති වස්‌තුවකි. චක්‌ඛු විඤ්ඤාණය හටගත්තත් නො ගත්තත් වස්‌තුව පවතී. මෙය හොඳින් වටහාගත යුතු ය. අඥානයන් කුමක් කීවත් බුදු දහමට අනුව යථාර්ථයක් හෝ මනසින් ස්‌වායත්ත වූ ලෝකයක් හෝ නැතැයි කිව නොහැකි ය. මෙය ෟජීවිතයේ අරුත සෙවීමේ දී ඉතා ම වැදගත් වන්නේ ය. අප දකින්නේ සත්ය නො වන්නට පුළුවන. අප ගේ අවිද්යාීව නිසා සත්යී දකින්නේ නැති වන්නට පුළුවන. එහෙත් එය වෙන ම ප්රැශ්නයකි. බුදු දහමේ යථාර්ථයක් නැතැයි කිව නොහැකි ය. මනසින් ස්‌වායත්ත වූ ද්ර ව්ය්මය ලෝකයක් ඇති බව බුදුන් ඉහත සඳහන් අන්දමට පෙන්වා දී ඇත. දකින දෙය නැත යෑයි පැවසීම සහ දකින්නේ වෙනත් දෙයකි යෑයි පැවසීම එකින් එකට වෙනස් වූ මත දෙකකි. දකින්නේ වෙනත් දෙයක් යෑයි පැවසීමෙන් යථාර්ථය නැතැයි අදහස් වන්නේ නැත. ඉන්ද්රිනය සංජානනය පිළිබඳව බුදුන් පවසා ඇති දෙයින් මනසින් ස්‌වායත්ත වූ ලෝකයක් ඇති බව ඔප්පු වේ. එවැනි ලෝකයක් නැති බව බුදුන් පවසා නැත.”
මෙහි ඇති අපහාස පැත්තකට දමමු. අමරතුංග මහතාගේ ඥානවන්තභාවය මට ප්‍රශ්නයක් නො වේ. මා අඥානයකු විය හැකි ය. එහෙත් මා අසන ප්‍රශ්නවලට අමරතුංග මහතාට පිළිතුරු නැත. සමහරවිට අඥානයන්ගේ ප්‍රශ්නවලට ඥානවන්තයනට පිළිතුරු නැතිවා විය හැකි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා මතුකරන්නේ එතරම් ගැඹුරු කරුණක් නො වේ. ඒ මහතා බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංජනනය පිළිබඳ ව දේශනා කර ඇති ඇතැම් කරුණු යථාර්ථයක් ඇති බව සනාථ කිරීම සඳහ ා යොද ගනියි. ඒහෙත් අමරතුංග මහතා බුදුන් වහන්සේ ලෝකයක් නැත යන්න මෙන් ම ඇත යන්න ද ප්‍රතික්‍ෂෙප කර ඇති බව ලිපි පෙළෙහි දිගින් දිගට ම අමතක කරයි.
බුදුන් වහනසේට ප්‍රශ්නයක් වෙයි. උන්වහන්සේගේ ධර්මය ජනපද නිරුක්තියෙන් දේශනා කිරීමට උන්වහන්සේ පියවර ගත්හ. එහෙත් ජනපද නිරුක්තියෙන් ඒ ධර්මය දේශනා කළ හැකි ද? උන්වහන්සේට ජනපද නිරුක්තියේ වචන භාවිතා කිරීමට සිදු විය. උන්වහන්සේ බොහෝ විට ආනන්දයනි මෙය මෙසේ දැනගත යුතු යැයි වදාළහ. එහෙත් ආනන්ද නමින් පුද්ගලයකු වස්තුවක් නැති බව බුදුන් වහන්සේ දැන සිටියහ. උන්වහන්සේ ඒ බව නොසළකා ආනන්ද යනුවෙන් ආනන්ද හාමුදුරුවන් ඇමතූහ. බුදුන් වහන්සේ වචන යොදා ගෙන ඇත්තේ යම් සන්දර්භයක ය. උන්වහනසේ ආනන්ද නමින් හැඳින්වෙන අනාත්ම වූ සංස්කාර (පද්ධතිය) යනුවෙන් ආනන්ද හිමියන් නො ඇමතූහ.
බුදුන් වහනසේ ආනන්ද ය යනුවෙන් ඇමතූ නිසාම උන්වහන්සේ ආත්මවාදය ප්‍රතික්‍ෂෙප නොකළ බව ඥානවන්තයන් පවසන්නේ දැයි මම නො දනිමි. කෙසේ වෙතත් වෙනත් සංදර්භයක තථාගතයන් වහන්සේ ඇත් ද යන ප්‍රශ්නයේ දී උන්වහන්සේ එයට චතුස්කෝටිකය ද ඉක්මවා යන පිළිතුරක් ලබා දුන්හ. බුදු දහම සන්දර්භය අනුව තේරුම් ගත යුත්තකි. ඉන්ද්‍රිය සංජානනය ගැන දේශන කරද්දී උන්වහන්සේට වස්තුවක් පෙනෙන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු දීමට සිදුවිය. එහි දී උන්වහන්සේ වස්තුවක් ඇතැයි යන තැනින් පටන් ගත්හ. එසේ නොමැතිව ලෝකය ශූන්‍ය ය, අප යම් යම් දේ ලෙස දකින දේ නොපවති යනුවෙන් පටන් ගැනීමෙන්් චක්ඛු විඤ්ඤාණය තේරුම් කර දිය නො හැකි ය. ප්‍රශ්නය වනුයේ වස්තුවක්, මලක්, පොතක් හෝ වෙනත් එවැන්නක් හෝ දකින්නේ කෙසේ ද යන්න නො වේ. වස්තුව, වස්තුවක් ලෙස පවතින බව උපකල්පනය කරමින් වස්තුව අපට පෙනෙන්නේ කෙසේ ද යන්නත් චිත්ත ඇතිවීමත් තේරුම් කිරීමට බුදුන් වහනසේ එලෙස වස්තු ගැන කථා කළහ. බුදුන්වහනසේ එයට එහා ගොස් පටිච්චසමුප්පදයෙහි සළායතන පචීචයා ඵස්ස යැයි දෙසු සේක. ඵස්ස ඇතිවන්නේ සළායතන නිසා මිස වස්තු ලෝකයේ පවතින නිසා නො වේ.අප කතාකරන්නේ දකින දෙය වෙනත් දෙයක් හෝ දකින දෙය නැතැයි යන පදනමේ සිට නො වේ. දකින දෙය නිර්මාණයකි, එය මනසේ නිර්මාණයකි යන පදනමෙනි.
නියතිවාදය ආදිය ගැන සැප්තැම්බර් 23 වැනි දා අමරතුංග මහතා මෙසේ කියයි. ”නියතිවාදය සත්ය නම් විශ්වය ක්රිියාකාර වන, පාලනය කරන යම්කිසි පොදු නීති පද්ධතියක් තිබිය යුතු ය. මෙය වඩාත් ම වැදගත් වන්නේ හේතුව සහ එලය අතර සම්බන්තධතාවක් තිබේ නම් ය. නියතිවාදී විද්යාතඥයෝ මේ නීති සොයාගැනීමට යුහුසුලු වූ හ.” මේ කිසිවකින් යථාර්ථයක් ඇති බව පෙන්වනු නො ලැබෙයි. ලෝකයක් ඇති බව උපකල්පනය කිරීමෙන් ලබාගන්නා නිගමනවලින් ලෝකයක් ඇති බව ඔප්පු වනනේ කෙසෙ ද? මේ තර්ක විරෝධී ය. එහෙත් ඥානවන්ත අමරතුංග මහතාට ඒ පිළිබඳ අවබෝයක් නැත.
නලින් ද සිල්වා
2015 ඔකතෝම්බර් 28